මේ දිනවල ලංකාවේ දැඩි කතාබහට ලක්වන්නේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධ ළමා අපයෝජන චෝදනාව වුවද, ඊටත් වඩා දරුණු ගණයේ අපරාධයක් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා වෙමින් පවතී. සති කිහිපයකට පෙර පමුණුගම පොලිස් වසමෙන් පහළොස් හැවිරිදි පිරිමි දරුවෙකු පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් බරපතල ලෙස අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමක් වාර්තා විය.
මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පමුණුගම පොලිසිය විසින්, වින්දිත දරුවාව රාගම අධිකරණ වෛද්‍ය නිලධාරී රමේෂ් අලගියවන්න වෙත යොමු කරන ලදී. එහිදී තමාට අපයෝජනය කළ පුද්ගලයන් සිව්දෙනෙකුගේ නම් දරුවා විසින් ප්‍රකාශ කර තිබුණි. එහෙත් පමුණුගම පොලිසිය විසින් මුලින් අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුවන් තිදෙනෙකු පමණි. ඊට හේතුව වූයේ අනෙක් සැකකරු රාගම වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍යවරයෙකු වීමයි. පසුව මෙම සිදුවීම සමාජගත වීමත් සමඟ ඇති වූ බලපෑම මත, පමුණුගම පොලිසියට එම වෛද්‍යවරයාව ද අත්අඩංගුවට ගැනීමට සිදු විය.
තිරය පිටුපස කුමන්ත්‍රණය
මෙම සිදුවීම පිටුපස තවත් රහස් රැසක් පවතී. චෝදනා ලත් වෛද්‍යවරයාව බේරා ගැනීම සඳහා රාගම අධිකරණ වෛද්‍යවරයා විසින් දරුවාව කොළඹ වෛද්‍ය පීඨයේ වෝහාරික වෛද්‍ය අංශයේ මහාචාර්ය අසේල මෙන්ඩිස් වෙත යොමු කර තිබේ. සාමාන්‍ය ක්‍රමවේදය අනුව මෙවැනි අවස්ථාවකදී වින්දිතයාව යොමු කළ යුත්තේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත වුවද, එසේ නොකර වෙනත් පාර්ශවයකට යොමු කර ඇත්තේ වෛද්‍යවරයා බේරා ගැනීම සඳහා කූට ලේඛන සකස් කිරීමේ පරමාර්ථයෙන් බවට චෝදනා එල්ල වෙයි.මෙම සැකකාර වෛද්‍යවරයාගේ සමීප හිතවතියන් දෙදෙනෙකු වන රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය අනුරුද්දී එදිරිසිංහ සහ මහාචාර්ය ඉන්දිරා කිතුල්වත්ත යන දෙපල මෙම සිදුවීම යටගැසීමට මූලිකත්වය ගෙන පිඹුරු පත් සැකසූ බව ළමාරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.
මහාචාර්ය අනුරුද්දී එදිරිසිංහ යනු රනිල් වික්‍රමසිංහ රජය සමයේ ළමා අපයෝජන වැළැක්වීම වෙනුවෙන් හඬ නැගීමට ප්‍රබල තනතුරක් දැරූ, එමෙන්ම කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ළමා හා කාන්තා හිංසනය පිළිබඳ දේශන පවත්වන අයෙකි. සියලුම පොලිස් ලොක්කෝ ඇය කියන පදයට නැටීමටද සූදානම්ය.රට හැදීමට දේශන පවත්වන ඇය, දරුවකුට සිදු වූ මෙම අපයෝජනය වසන් කිරීමට කටයුතු කිරීම පිළිබඳව පොලිසිය දෙවරක් සිතා බලා ඇයගෙන් ප්‍රශ්න කළ යුතුව ඇත.
සැකකරු බේරා ගැනීමට මහාචාර්ය ඉන්දිරා කිතුල්වත්ත දරන උත්සාහය ද පිළිකුල් සහගතය. අපයෝජනයට ලක් වූ දරුවා සම්බන්ධයෙන් කූට ලේඛන ඉදිරිපත් කිරීම සඳහා ඇයගේ සැමියා වන ළමා රෝග විශේෂඥ කිතුල්වත්තගේ සහය ලබා ගැනීම ද අද ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත. දරුවන් සිටින මෙම අඹුසැමි යුවළ, දරුවෙකු අපයෝජනයට ලක්වීම සාමාන්‍ය සිදුවීමක් බවට පත් කිරීමට උත්සාහ කිරීම සමස්ත වෛද්‍ය වෘත්තියටම කරන නින්දාවකි.
එතෙකින් නොනැවතුණු මහාචාර්ය ඉන්දිරා කිතුල්වත්ත, අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරුණු වෛද්‍යවරයාට සිය අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙස පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ (PGIM) අධ්‍යක්ෂකවරිය වෙත විද්‍යුත් තැපෑල (Email) මඟින් තර්ජනය කර තිබේ. මෙය කිසිසේත් අනුමත කළ නොහැකි බරපතල වරදකි.
මෙම සිදුවීම පිළිබඳව සැලවීමෙන් පසු ළමා රක්ෂණ අධිකාරියේ උපසභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා ඊට දැඩි ලෙස විරෝධය දැක්වීම අගය කළ යුතුය.
සැකකාර වෛද්‍යවරයා කෙතරම් මානසික විකෘතිතාවයකින් පෙළෙන්නෙක්ද යන්න පැහැදිලි කරමින් පොලිස් නිලධාරියෙකු අනාවරණය කළේ, ඔහු තමාගේ බිරිඳගේ ගවුමක් දරුවාට අන්දවා මෙම අපයෝජනය සිදුකර ඇති බවයි. මෙවැනි විකෘති මනසක් ඇති වෛද්‍යවරුන් සහ මහාචාර්යවරුන් දරුවන්ට කරන මෙම අපචාර සහ ඒවා වසන් කිරීම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ගැටලුසහගතය.
මේවාට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අධිකරණ අමාත්‍යාංශයේ ඉහළ පුටුවල සිටින පිරිස්, චෝදනාවට ලක්වන කණ්ඩායමේ සමීප මිතුරන් වන බැවිනි.
2026-07-06

