පාසල් පෙළ පොතට සමලිංගික වෙබ් අඩවි පැමිණීම අපට කියන්නේ කුමක්ද ?

ආණ්ඩුවේ අමන තීරණයන්ගේ බර රජයේ සේවකයන්ට කර ගසන්නට වන බව හය ශ්‍රේණියේ ඉංග්‍රීසි පාඩම් මාලාවට සමලිංගිකයන්ගේ වෙබ් අඩවියක තොරතුරු ඇතුලත් කිරීමේ සිදුවීමෙන්ද පැහැදිලි වී තිබේ.නිල වශයෙන් ප්‍රකාශයට පත් වී නැතත් මෙම සිදුවීම සම්බන්දයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියට සිදුව තිබෙන බව ලිපිය ලියන මොහොත වන විට වාර්තා වී තිබිණ.මෙම තීරණය ඇය ස්වේච්ඡාවෙන් ගත් තීරණයක් නොවන අතර මතුව තිබෙන මහජන විරෝධය සමනය කිරීම සඳහා ආණ්ඩුවේ ඉල්ලීමට ගත් එකක් බව පැහැදිලිය.

ප්‍රශ්නය සම්බන්දයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියද වග කිව යුතු බවට සැකයක් නැතත් වගකිව යුතු එකම පුද්ගලයා ඇය පමණක් නොවේ.සිදුව තිබෙන වරද සම්බන්දයෙන් ඉල්ලා අස්වීමෙන් වන්දි ගෙවිය හැකි නම් පළමුව ඉල්ලා අස්විය යුත්තේ අධ්‍යාපන ඇමතිනියයි.

තමන්ගේ නොදනුවත් කමට හෝ සිතා මතාම කරන වරදක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කරන කුප්‍රකට විත්ති වාචකයක් වී ඇත්තේ එය කුමන්ත්‍රණයක් නිසා සිදුව තිබෙන බවය.ඒ අනුව මෙම ප්‍රශ්නයද මතුව ඇත්තේ කුමන්ත්‍රණයක් නිසා යැයි රටට

ඒත්තු ගැන්වීමේ බලවත් ප්‍රයත්නයක් දියත් වී තිබේ. අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරමින් ඉඟි කොට තිබෙන්නේද කුමන්ත්‍රණයක් පිලිබඳ සැකයකි.ඇත්තෙන්ම මෙහිදී කුමන්ත්‍රණයක් සිදුව තිබේනම් ලේකම්වරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දුව නොගොස්

අභ්‍යන්තර පරීක්ෂණයක් මගින් ඉතා පහසුවෙන් එය සොයා ගත හැකිය.කිසියම් ආයතනයක ප්‍රශ්නයක් ඇතිවූ විටෙක පළමු පියවර වන්නේ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමය.අමාත්‍යංශයේ විනය බලධාරියා වන්නේද ලේකම්වරයාය.පළපුරුදු රාජ්‍ය

පරිපාලන නිලධාරියෙකු වන අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ඒ බව නොදන්නවායයි අප සිතන්නේ නැත.එහෙත් ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරමින් මෝඩයෙකු සහ විකටයෙකු බවට පත්වන්නට සිදුව ඇත්තේ ආණ්ඩුව සහ අධ්‍යාපනය ඇමතිනිය ලෙස අගමැතිනිය බේරා ගන්නට සිදුව තිබීම නිසාය.ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල හැම දෙනාම පාහේ හඳුන්වන්නේ අධ්‍යාපන ඇමතිනි හරිනිගේ වැඩපිළිවෙලක් ලෙසය.ආරම්භයේ සිටම ඒ සම්බන්දයෙන් දැඩි මහජන විරෝධයක් මතුවීම නිසා ආණ්ඩුවේ ජවිපෙ පාර්ශවයද එම සමාජ මතය තහවුරු වන්නට ඉඩ දී තිබෙන බවක් පෙනෙන්නට තිබේ.ජවිපෙ කණ්ඩායම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට එරෙහි මහජන මතයට එරෙහිව ප්‍රබල මැදිහත්වීමක් කරණ බවක් දැකගන්නට නැත.සමලිංගික ප්‍රශ්නය මතු වීමත් සමග අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

හරින්ගේ වැඩක් යන අදහස වඩා තීව්‍ර වී තිබේ.එහෙත් මෙම ප්‍රතිසංස්කරණ හරිනි අමරසූරියගේ තනි මතයට සිදුවන්නක් ලෙස හැඳින්වීමට අපනම් සූදානම් නැත.ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ අධ්‍යාපන ඇමති ලෙස හරිනිට

වුවත් එහි අයිතිකරුවන් වන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවය.මේ ඉදිරිපත්ව තිබෙන්නේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තියයි.එනිසා ඊට එල්ලවෙන මල් සහ ගල් දෙකම සමස්ත ආණ්ඩුව භාර ගත යුතුය.

ආණ්ඩුවේ ඇතැමුන් සහ ආණ්ඩු හිතවාදීන් කියන ආකාරයට හය ශ්‍රේණියේ ඉංග්‍රීසි පාඩම් මාලාවට සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන තොරතුරු ඇතුලත් වී ඇත්තේඅත්වැරදීමකින් නම් යෝජිත ප්‍රතිසංස්කරණ සම්බන්දයෙන් අප තවත් බියට පත්විය

යුතුය.මෙම ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ මෙතරම් බරපතල කාරණයක් පිලිබඳ හෝ සැලකිල්ලක් නොමැති කණ්ඩායමක් බැවිනි.අති සංවේදී ,රටේ නීතියට අනුව වරදක් වන , අවුරුදු 18 ටත් අඩු කුඩා දරුවන්ගේ සිත් ව්‍යාකූල කරන සමලිංගිකත්වය වැනි කාරණයක් සම්බන්දයෙන් මෙම පිරිස මෙතරම් නොසැලකිලිමත් වූයේ නම් සමස්ත ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල කෙසේ වනු ඇත්ද ? යෝජිත වැඩ පිළිවෙල කිසිදු පාර්ශවයක සාකච්ඡාවකට භාජනය වී නොමැති තත්ත්වය තුල එවැනි සැකයක් ඇති

වීම ඉතාමත් සාධාරණය.

කෙසේ වෙතත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල ආරම්භ වූ ආකාරය සහ එයඉදිරියට යමින් තිබෙන ආකාරය අනුව අපට කියන්නට ඇත්තේ සමලිංගිකතත්වය

ප්‍රවර්ධනය කරන තොරතුරු ඊට ඇතුලත් වී ඇත්තේ ආණ්ඩුව කියන ආකාරයටකුමන්ත්‍රනයක් නිසා හෝ අත්වැරදීමකින් නොව ඉතා හොඳින් දැනුවත්ව සහ සැලසුම්සහගතව බවය.මෙම සිදු වීම කුමන්ත්‍රණයක් නම් කුමන්ත්‍රණකරුවන් සිටිය යුත්තේ අදාළ

පාඩම් මාලාවේ සංස්කාරක මණ්ඩලය තුළය.නැතහොත් ජාතික අධ්‍යාපන ආයතනයේ ඉහල පුටුවකය.කුමන්ත්‍රණකරුවන් කවුරුන් වුවත් ඔවුන් සොයා ගැනීම ඉතා පහසුවෙන් කළ හැකිය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යා යුතු නැත.ආණ්ඩුව අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවට යන්නේම කුමන්ත්‍රණකරුවන් සෙවීමට නොව ජනතාව නොමග යැවීමටය.

ලෝකයම දන්නා GOOGLE වැනි වෙබ් අඩවියක හැර සමලිංගිකත්වය ප්‍රවර්ධනය කෙරෙන වෙබ් අඩවියක වේවා ,වෙනත් වෙබ් අඩවියක වේවා නම තම ලේඛනයකට ඇතුලත් කරන කිසිවෙකු එකී වෙබ් අඩවියට ඇතුල් වී පරීක්ෂා කිරීමකින් තොරව එසේ කරන්නේ නැත.එසේ නොකරන්නේ නම් එවැනි අය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි භාරධූර කාරයකට තබා අධ්‍යාපන ආයතනයක අසලකටවත් වැද්ද නොගත් යුතු ඔලමොට්ටලයන්ය.අනෙක් අතට අප කිසියම් නිදර්ශයක් උපුටා ගන්නෙම අප ඒ ගැන හොඳින්ම දන්නා නිසාය.ඉතින් , මේ සමලිංගික වෙබ් අඩවිය නම් කොට තිබෙන්නේ ඒ ගැන හොඳින්ම දන්නා සහ පාඩමෙන් අවධාරණය කරන්නට උත්සාහ කරන කාරණය පහසු කිරීම සඳහා නොවන්නේ යැයි කිව හැකිද ? එනිසා මෙම වෙබ් අඩවියේ නම සඳහන් කිරීම කිසිසේත්ම අත් වැරදීමක් යැයි කිව නොහැකිය. මේ වන විට ආණ්ඩුව ප්‍රශ්න ගත ඉංග්‍රීසි පාඩම් මාලාව තාවකාලිකව අත්හිටුවා තිබේ.එසේම ප්‍රතිසංස්කරණ මගින් යෝජිතව තිබූ පාසල් කාල වේලාව දීර්ඝ කිරීමේ

තීරණයද අත්හිටුවා ඇත.දිත්වා ආපදාව නිසා පාසල් කාල වේලාව වෙනස් නොකිරීමට තීරණය කළ බව කියන නමුත් සත්‍යය හේතුව වන්නේ ඉංග්‍රීසි පාඩම මාලාවේ සමලිංගික කාරණය නිසා මතු වූ මහජන විරෝධතාවයයි. එහෙත් යෝජිත

ප්‍රතිසංස්කරණයන්ගේ නැවත හැරීමක් නැත.ආරම්භයේ සිටම සමාජයෙන් ඉදිරිපත් වූ ඉල්ලීමට අනුව ප්‍රතිසංස්කරණ සම්බන්දයෙන් අදාළ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කොට ඉදිරියට යන්නට ආණ්ඩුව සූදානම් බවක් දකින්නට නැත.සමලිංගික චෝදනාව ආණ්ඩුවට ඒ සඳහා ආශීර්වාදයක්ව ඇති සෙයකි. සියලු දෙනාගේ අවධානය සමලිංගික කාරණය වෙත යොමුව තිබෙන අතරේ , සීරු මාරුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කල හැකි බැවිනි.ඇතැම් ගුරු සංගම්

ප්‍රතිසංස්කරණ පිලිබඳ විරෝධය පාසල් පවත්වන වෙලාව දීර්ඝ කිරීමේ තීරණයට විරෝධය දැක්වීමට ලඝු කිරීමද ආණ්ඩුවට වාසියක් වී තිබේ.ආණ්ඩුව දිත්වා ආපදාවට මුවාවෙමින් පාසල් කාලය දීර්ඝ කිරීමේ තීරණයද පස්සට ගැනීමෙන් ගුරු සංගම්වලට

සටන් පාඨයක් නොමැති වීමෙන් ප්‍රතිසංස්කරණ නිදහසේ කරගෙන යෑමට ආණ්ඩුවට ඉඩ ලැබෙන බැවිනි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු මුලුමනිම ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් නොවේ.එනිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවත් විය යුතුයැයි කිසිවෙකුට කිව නොහැකිය.එහෙත් සිදු කරන්නේ කුමන ආකාරයක ප්‍රතිසංස්කරණයක් ද යන්න රට දැනගත යුතුය.අවම වශයෙන් අධ්‍යාපනය හා සම්බන්ධ ගුරු දෙමාපියන් ඇතුළු පාර්ශවකරුවන් දැනගත යුතුය.ප්‍රතිසංස්කරණ තුල ඔවුන්ගේ මෙන්ම දරුවන්ගේ අභිලාශයන්ද නියෝජනය විය යුතුය.එම ප්‍රතිසංස්කරණ ප්‍රායෝගිකද විය යුතුය.නමුත් ආණ්ඩුව තව දුරටත් කටයුතු කරමින් සිටින්නේ අධිකාරීවාදී ප්‍රතිපත්තියක පිහිටමින් බලහත්කාරයෙන් අධ්‍යාපන

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ස්ථාවරයකය. එනිසා එක් විෂයක සමලිංගික අදහස් ප්‍රවර්ධනය කිරීමට හෝ පාසල් කාලය දීර්ඝ කිරීම වැනි කාරණාවන්ට ලඝු නොවී ආණ්ඩුවේ එකී ස්ථාවරය වෙනස් කර ගැනීම ඉලක්ක කර ගැනීම දක්වා අධ්‍යාපන

ප්‍රතිසංස්කරණ සම්බන්දයෙන් වන විරෝධතා පළල් සහ වඩා සංවිධානාත්මක විය යුතුය.ප්‍රශ්නගත සමලිංගික වෙබ් අඩවිය සම්බන්ධ සිදුවීම මගින් එම අවශ්‍යතාව අවධාරණය වී තිබේ.එය අනාගත පරපුරක් වෙනුවෙන් ඉටු කරන වගකීමක් සහ

යුතුකමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *