ලංකාව දැහැගැනිමට ඉන්දියාව සහ චීනය අතර පවතින ශීතල යුද්ධය

තමන්ගේ බලය රැකගැනීමට ගොරකා දඩමස් කරන වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකාවේ තිරේ පිටුපස පාලන බලය දෙන්නේ ඉංදියාවට ද නැත්නම් චීනයටද යන්න සම්බන්ධයෙන් මේවන විට දේශපාලන කේෂත්‍රයේ පුලුල් සංවාදයක් ඇතිව තිබෙි.
2024 සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කල අනුර කුමාර දිසානායක ගේ ප්‍රථම විදෙස් නිළ සංචාරය වූයේ ඉංදියාවේ ය.එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක ද්විපාර්ශවිකව ගිවිසුම් කීපයකට අත්සන් තැබුවේය. අද වනතුරුත් එම ගිවිසුම් වල අඩංගු කරුණු රහස්‍ ය.
ගිවිසුම් ගැන ප්‍රශ්න කරන විට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස කියන්නේ ඒවා ස්ථිර ගිවිසුම් නොව අවබෝධතා ගිවිසුම් බවය. ඒත් වෙනත් ආණ්ඩුවක් එලෙස ගිවිසුම් හෝ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර රටට හෝ පාර්ලිමේන්තුවට හෙලිදරව් නොකරේ නම් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය තාමත් රට පුරා රැළි සහ සම්මන්ත්‍රණ පවත්වයි.
ජනාධිපති අනුර කුමාර වෙත පලමු නිළවිදේශ සංචාරය සදහා ඇරයුම කරනු ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති වරයා විසින් ය. ඒ 2024 සැප්තැම්බර් මස 30 වෙනිදාය. රුසියානු නිළ සංචාරය අතරතුර බ්‍රික්ස් ( BRICS ) සංවිධානයේ සමුළුවට සහභාගී වන ලෙසය. බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා නොමැතිව එම මහ සමුළුවට සහභාගී වීමට ආරාධනා ලැබූ එකම රාජ්‍ය නායකයා ජනාධිපති අනුර කුමාර දිසානායක වුවද ශ්‍රීලංකාවේ ඇතිවන සියළුම රෝග වලට එකම විසදුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( IMF ) කියා සිතන සමාජවාදී ලේබලය අලවාගෙන සිටින ලිබරල්වාදී අනුර කුමාර දිසානායක රුසියානු ආරාධනය අළුයම ලූ ලෙක පිඩක් සේ බැහැර කළේය. ඒ සදහා ලංකාවේ ඇමරිකාණු තානාපතිනිය වූ ජුලී චෑන්ගේ ඉල්ලීමද බලපෑවාය.
අනුර කුමාර දිසානායක ජනාධිපති වී ගතවු මාස 15 ක කාළය තුල ඉන්දියාව, චීනය, ජර්මනිය ,ඇමරිකාව, ජපානය සහ මැද පෙරදිග රටවල නිළ සංචාර යන්හි යෙදුනද අද දක්වා රුසියාව දෙස හැරී බැලුවේවත් නැත. රුසියාවේ ඒ ගැන ඇති කලකිරීම පිළිබදව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා ප්‍රසිද්ධියේම කීපවිටක් අදහස් පලකර තිබුණි. අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව රුසියාවට රිදවූයේ යූක්රේන් රුසියානු යුද්ධයේ යූක්රේනයට පක්ෂ පාර්ශ්වයක් විසින් මෙරට ස්‍ථාන ගනනාවකදී පැවැත්වූ ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීම සදහා රජයේ ඇමතිවරයෙකු හෝ නියෝජ්‍ය ඇමතිවරයකු සහභාගී වී රුසියාවට එරෙහිව පෙනී සිටීම ජවිපෙ අනුමත කිරීම කොතරම් අශෝභන ද.
දිත්වා ව්‍යවසනයට පසුව ලංකාවට මුලින්ම ආධාර රැගෙන ආවේ ඉන්දියාවයි. ඒ සමගම පකිස්තානය ,බංගලිදේශය, මාලදිවයින භූතානය සහ නේපාලය පමණක් නොව ඇෆ්ගනිස්ථානයද ආධාර ලබා දීමට ඉදිරිපත් විය. ඒ සියළුම රටවල් ආවේ දකුණු ආසියා කලාපීය සංගමයට අයත් රටවල ඇති සාමූහික උපකාර කිරීම යටතේය. ඇමරිකාව ඕස්ට්‍රේලියාව ප්‍රංශය කැනඩාව සහ එංගලන්ත ප්‍රමුක බටහිර රටවල් තම පැවැත්ම පවත්වාගෙන යාම සදහා ලංකාවට උපකාර කිරීමට ඉදිරිපත් විය. ඒත් එම රටවල් මුදලින් ලබාදුන් අධාර ප්‍රමාණය ඇමරිකාණු ඩොලර් මිලියන 30 කට අඩුවිය.
තම රටට වත්මන් ආණ්ඩුව කුමන මට්ටමේ කෙනහිලිකම් කරත් රටේ ජනතාව වෙනුවෙන් විශේෂ ගුවන් යානයක් මගින් ජංගම විදුලි බලාගාරයක් ඇතුළු ඩොලර් මිලියන ගානක අත්‍යාවශ්‍ය භාන්ඩ එවනඑවිමට රුසියාව කටයුතු කළේය.
සිදුවූ සියල්ල හොඳින් අධ්‍යයනය කල චීනය ආධාර වලට අමතරව ඔවුන්ගේ රටේ දේශපාලන ධූරාවලියේ තුන් වන්නා වූ චීන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති වෑන් ඩොංග්මින් මහතාවද ලංකාවට එව්වේ අවශ්‍ය වන්නේ කුමන ආකාරයක උදව් උපකාරයක් ද යන්න සොයා බැලීමටය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන නියෝජිතයා අතර පැවති හමුවේදී ජනාධිපති වරයා චීන සමූහාණ්ඩුවේ උපසභාපති වරයාගෙන් ඉල්ලා සිටියේ විපතට පත් ප්‍රදේශ යන්හි හානියට පත් දුම්රිය මාර්ග අළුත්වැඩියා කිරීම චීන තාක්ෂණය සහ ආධාර ලබාදෙන ලෙසයි. ජනාධිපතිවරයා එසේ ඉල්ලීමට විශේෂ කරුණක් බලපාන බව ඉන්දියාව හොදින් දනී. ඒ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ඉහල පෙල මෙන්ම පහල පෙලද මෙම ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා විශේෂ වූ පුහුණු පාඨමාලාවක් චීන සමූහාණ්ඩුව විසින් එරට වියදමින් ආරම්භ කර තිබීමයි. එහි මුල් කණ්ඩායම ලෙස ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු කණ්ඩායමක් සහභාගී වූ අතර දෙවන කන්ඩායම ලෙස ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක ඇතුළු පිරිසක් සහභාගී වීය .
චීන සමූහාණ්ඩුවේ උප සභාපති වරයා ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක කල ඉල්ලීම මාධ්‍ය හරහා ප්‍රචාරය වූ විගස කළබල වූයේ සහ කිපුනේ ඉන්දියාවයි. ඒ විගසම ඉන්දීය දේශපාලන ධූරාවලියේ අගමැති ආරක්ෂක ඇමති දෙදෙනාට පසුව සිටින ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයසංකර් ලංකාවට එවීය. ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් අසා ඇත්තේ මීටපෙර ලංකාවේ දුම්රිය මාර්ග සෑදුවේ කවුද? යන්නයි. එම හමුවේදී ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයසංකර් කොතරම් පීඩනයක් ලංකාවට දුන්නාද කිව හොත් ඔහු රටිං නික්මීමට පෙර සාම්පූර් සූර්ය බලශක්ති පද්ධතිය සදහා ටෙන්ඩර් කැදවීය.
චීනයද අත් හැරියේ නැත වත්මන් ආණ්ඩුවට පැවැත්ම සදහා උදව්ක රමින් සිටින චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික ෂිෂෑන්ග් ස්ව්‍යං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ජුන්සෙන්ග් ඇතුළු කණ්ඩායකන් හැරෙන තැපෑලෙන් ලංකාවට පැමිණියේය. ඒ චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇති සම්මුතිය ප්‍රකාරවය.
ඔය අතර තුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදිසි ප්‍රධානයක් ලෙස ඩොලර් මිලියන 206 ක් ලංකාවට ලබාදීමට යෝජනා සම්මත කළේය. ඒ සියල්ල දෙස බලාසිටි ඉන්දියාව ලංකාව නැවත ගොඩනැගීම සදහා ආධාර පැකේජයක් යෝජනා කළේය . ඒ ඩොලර් මිලියන 450 කි. ඉන් ඩොලර් මිලියන 350 ක් නැවත ගෙවිය යුතුය. ඉතිරි ඩොලර් මිලියන 100 සදහා ලැබෙන්නේ ද්‍රව්‍යමය ප්‍රධානයන්‍ ය. ඉන්දියාව රුසියාව සමග බොහෝ ද්විපාර්ශවික ගිවිසුම් තිබුනද වත්මන් ඉන්දීය පාලකයන් ඇමරිකන් ගැති භාවයකින් යුතු පිරිසක් බව ලොව ප්‍රසිද්ධ රහසකි. ඇමරිකාව ලංකාව තුල ඔවුන්ගේ මතය ඍජුවම කියනවා වෙනුවට ඉන්දියාව හරහා පැටවීම තවත් භයානකය. ඇමරිකාව පකිස්තානය සමග තිබූ දේශපාලන දීගය බිඳී ගිය පසු ඒ අඩුව පුරවා ගත්තේ ඉන්දියාවෙනි.
ලංකාවේ චීනයේ හෝ ඉන්දියාවේ සුරතලකු හෝ යටත් වැසියකු වීම වැලක්වීමට හොඳම අවස්ථාවක් ලෙස පෙනෙන්නේ ලංකාව එම රටවල් දෙකම සම සාමාජිකත්වය දරන බ්‍රික්ස් සංගමයේ සාමාජිකත්වය ගැනීමය. එසේ කිරීමට ලංකාවේ දේශපාලන කොන්ද ශ්‍රී ලංකාවේ ඇමරිකාණු තානාපතිනිය වන ජුලී චෑන්ග් විසින් මුළුමනින්ම බිඳ දමා ඇත. දැන් ඇත්තේ ඇමරිකාවට ඕනෑ ලෙසට නටවන ගැරඬි කසේරුවක් සහිත පිරිසක් වීම රටේ අවාසනාවකි.
චීනය සහ ඉන්දියාව වෙනත් ආණ්ඩුවක් ලංකාවේ පැවති මොහොතක මෙසේ රැඟුවා නම් අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ වත්මන් ව්‍යවසනය අස්සේ රටේ සෑම තාප්පයක් වැසෙන සේ පෝස්ටර් අලවලාය. දැන් ජවිපෙට කන්න ඕනේ වෙලාවට කඹරයා තලගොයාවී ඇත. දෛවයේ සරදම කියන්නේ එයයි.
මේ කරුණු සාවධානව විශ්ලේෂණාත්මකව පරිශීලනය කල හොත් ලංකාවේ දේශපාලන තිරේ පිටුපස සිට මෙහෙය වීමේ බලය ලබා ගැනීමට ඉන්දියාව සහ චීනය අතර පවතින ශීතල යුද්ධය දැක ගත හැකිවනු ඇත. මින් කවුරු ජය ගත්තද ලංකාව දේශිය වශයෙන් පාලනය කිරීමට පත් වන්නේ පිට කොදු පිරිසකටය.
( ගාල්ලේ ප්‍රසන්න පෙරේරා විසින් විද්‍යුත් තෑපෑලට යොමු කළ ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *