උඩදුම්බර ප්‍රදේශයේ නායයාමට ලක්වූ උඩවෙල ගම්මානයේ අවතැන් ජනතාවට බෙදා දීමට ලබාදී ඇති වියළි ආහාර ද්‍රව්‍ය ඇතුලු සහනාධාර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිණිය විසින් අවිධිමත් ලෙස තම ඥිතී හිතවතුන්ට බෙදා දීමේ සිද්ධියකට විරෝධය පලකල ගම්වාසීන් මෙම සිද්ධිය මාළිමාවේ පර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායකට සහ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් වරියටද පැමිණිළි කර තිබේ.
මෙම සිද්ධියෙන් පසු උඩදුම්බර ප්‍රාදේශීය ලේකම්වරිය විසින් සහනාධාර බඩු බෙදාදීම සංවර්ධන නිලධාරියාට පවරා ඇත.
නායයාමෙන් අවතැන් වූ අසරණ ජනතාවට ලැබිය යුතු සහනාධාර නිසි පරිදි ලබාදෙන්නේද යන්න සොයා බැලීම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරියට පැවරී ඇති රාජකාරිය වන නමුත් ,ඇය නිසි පරිදි කටයුතු නොකරන බවට ගම්වාසීහු චෝදනා කරති.
පසුගිය සෙනසුරාදා උඩදුම්බර අවතැන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතාටද මෙම අවනඩුව ගම්වාසීන් දැනුම් දුන් බව ඔවුන් පැවසිය.
උඩදුම්බර චූලාභය විදුහල් කාමරයක අවතැන් ජනතාවට බෙදා දීමට ලබාදී ඇති සහනාධාර ගබඩා කර තිබෙන බවද ගම්වාසීන් පැවසූහ.මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අසාධාරණ සිදුවීම් සොයා බැලිය යුතු බව උඩදුම්බර අවතැන් වූ ජනතාව පවසති.
2025-12-15

