පසුගිය දිනයක අන්තර්ජාලයේ තිබූ වීඩියෝ පටයකින් පොලීසිය සමග ආරවුලක් ඇති කරගන්නා කාන්තාවක පිළිබඳව අනාවරණය කෙරිණි.රථ වාහන වරදක් සම්බන්ධයෙන් එම කාන්තාව පැදවූ වාහනය පොලීසිය විසින් නතර කළ විට ඇය ඉතා ආවේග ශීලී ප්‍රතිචාරයක් දැක්වෙන ආකාරය එහි දකින්නට තිබුනි.පොලිස් නිළධාරීන්ට ඒ කාන්තාව අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොතිබූ නිසාම ඇය දිගින් දිගටම පොලීසියට අවනත නොවන ආකාරයට හැසිරුනාය.මෙහිදී ඇය තමන් මෙරට ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකුගේ සහෝදරියක බව ප්‍රකාශ කරමින් එහි රාජකාරි කළ පොලිස් නිළධාරීන් බිය වැද්දීමටද උත්සාහ කෙරුවාය.
කෙසේ වෙතත් මේ කාන්තාව පසුව අත් අඩංගුවට ගෙන පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව වාර්තා විය.
මෙරට රථවාහන වැරදි කරන්නන් බොහෝ දෙනෙකු රථවාහන පොලිස් නිළධාරීන්ගේ දඬුවමෙන් ගැලවීමට තමන් හා ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් සමග පවතින සම්බන්ධතාවන් හෙළිදරව් කිරීම බොහෝ විට අසන්නට ලැබේ.එහෙත් බොහෝ පොලිස් නිළධාරීන් එවැනි අනියම් බිය වැද්දීම් ගණන් නොගනී.
පොදු ස්ථානයක වරදක් කරන පුද්ගලයකු අත්ඩංගුවට ගැනීමට පොලීසිය පැමිණෙන තුරු බලා සිටීම අවශ්‍ය නොවන බව බොහෝ දෙනා නොදනී.කිසියම් තැනැත්තකු වැරැද්දක් කරන බව දකින විට වැඩි දෙනා කරන්නේ 119 දුරකථන අංකයට ඇමතුමක් ගෙන ඒ ගැන පැමිණිලි කිරීමය.
එහෙත් යම් වරදක් කරන තැනැත්තකු අත් අඩංගුවට ගැනීමට මෙරට ඕනෑම පුරවැසියෙකුට නීතිමය බලයක් හිමිව පවතී.අපරාධ නඩු විධාන සංග්‍රහයේ 35 වගන්තියේ සඳහන්ව ඇත්තේ එම විධානයන්ය.ඒ මෙසේය.
යම් පෞද්ගලික තැනැත්තකු විසින් තමන් ඉදිරිපිටදී සංඥය වරදක් කරන හෝ වරදකරුවකු ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ සිටින හෝ පැන දුවන්නා වූ ද සංඥය වරදක් කළ තැනැත්‍තෙකැයි සාධාරණව තමා සැක කරන්‍නාවූ ද යම් තැනැත්තකු සිර භාරයට ගත හැකිය.ඔහු විසින් සිර භාරයට ගනු ලැබූ තැනැත්තා අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ආසන්නතම සාම නිළධාරියා වෙත භාර දිය යුතුය.සාම නිළධාරියකු නොමැති නම් ඒ තැනැත්තා ආසන්නතම පොලිස් ස්ථානයට ගෙන යා යුතුය.එවැනි තැනැත්තකු 32 වන වගන්තියේ විධිවිධාන යටතට පත් වන්නකු බව විශ්‍වාස කිරීමට හේතු තිබේ නම් සාම නිළධාරියකු විසින් ඔහු නැවත සිර භාරයට ගත යුතුය.
මෙහි දැක්වෙන 32 වන වගන්තියේ දැක්වෙන්නේ වරෙන්තුවක් නොමැතිව සාම නිළධරයන් විසින් සිර භාරයට ගත හැකි අවස්ථාවන්ය.
32(1 )මහේස්ත්‍රාත්වරයකු ගේ ආඥාවක් නොමැතිව සහ වරෙන්තුවක් නොමැතිව යම් සාම නිළධාරියකු විසින්,
(අ) තමන් ඉදිරිපිට සාමය කඩ කිරීමක යෙදෙන යම් තැනැත්තකු,
(ආ) යම් සංඥය වරදකට සම්බන්ධ වූ තැනැත්තකු හෝ එසේ සම්බන්ධ වූ බවට යම් තැනැත්තකුට විරුද්ධව සාධාරණ පැමිණිල්ලක් තිබේද නැතහොත් ඒ බවට යම් තැනැත්තකුට විරුද්ධව විශ්වාස කටයුතු තොරතුරු ලැබී තිබේද නැතහොත් ඒ බවට යම් තැනැත්තකු සම්‍බන්ධයෙන් සාධාරණ සැකයක් පවතීද එවැනි යම් තැනැත්තකු,
(ඇ)නිත්‍යනුකූල හේතුවක් නොමැතිව(හේතුවක් තිබේ නම් ඒ හේතුව ඔප්පු කිරීමේ කාර්ය භාරය ඒ තැනැත්තා වෙත පැවරී ඇත) ගෙවල් බිඳින උපකරණයක් තම සන්තකයේ තබා ගෙන සිටින යම් තැනැත්තකු,
(ඈ) වරද කරන්නකු ලෙස ප්‍රකාශයට පත් කොට ඇත්තකු ඇත්තා වූ යම් තැනැත්තකු,
(ඉ) සොරකම් කරන ලදැයි හෝ වංචනික ලෙස ලබා ගන්නා ලදැයි සාධාරණව සැක කළ හැකි යම් දෙයක් තම සන්තකයෙහි තබා ගෙන සිට අසු වූද ඒ දෙය සම්බන්ධයෙන් වරදක් කළේ යැයි සාධාරණව සැක කරනු ලබන්නා වූද යම් තැනැත්තකු,
(ඊ) ස්‍වකීය රාජකාරයේ යෙදී සිටින සාම නිළධාරියෙකුට බාධා කරන හෝ නිත්‍යනුකූල අත්ඩංගුවෙන් පැන ගිය හෝ පැන යාමට තැත් කරන යම් තැනැත්තකු ,
(උ) ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නාවුක හමුදාවෙන් හෝ ගුවන් හමුදාවෙන් පළා යන්නකු යයි සාධාරණව සැක කරනු ලබන යම් තැනැත්තකු,
(ඌ)සංඥය වරදක් කිරීමේ අදහසින් තමා සිටින බව සැඟවීමට පූර්වෝපාය යොදමින් සිටි යයි විශ්වාස කිරීමට හේතු ඇති කරවන අවස්ථා යටතේ පූර්වෝපාය යොදමින් සිට අසුවූ යම් තැනැත්තකු,
(එ)ශ්‍රී ලංකාවේදී කරනු ලැබී නම් වරදක් වශයෙන් ගෙන දඬුවම් කළ හැකි වූද උදර්පනය හෝ පලායිත තැනැත්තන් හෝ පිළිබඳ තත් කාලයේ වලංගුව පවත්නා යම් නීතියක් යටතේ නැතහොත් වෙනත් ආකාරයකින් ශ්‍රී ලංකාවේදී අල්ලා ගනු ලැබීමට හෝ අත් අඩංඟුවේ රඳවා තැබීමට යටත් වූද වරදක් වන ක්‍රියාවක් ශ්‍රී ලංකාවෙන් පිටත යම් ස්ථානයකදී කිරීමට සම්බන්ධ වූ තැනැත්තකු හෝ එසේ සම්බන්ධ වූ බවට යම් තැනැත්තකුට විරුද්ධව සහේතුක පැමිණිල්ලක් කරනු ලැබ ඇත්තේද නැතහොත් යම් තැනැත්තකු එසේ සම්බන්ධ බවට විශ්වාස කටයුතු තොරතුරක් ලැබී ඇත්තේද නැතහොත් යම් තැනැත්තෙකුට විරුද්ධව සාධාරණ සැකයක් ඇතිවී ඇත්තේද එවැනි යම් තැනැත්තකු සිර භාරයට ගත හැකිය.
මින් අවධාරණය කෙරෙන වැරදි කරන්නන් ඕනෑම පුරවැසියෙකුටද අත් අඩංගුවට ගත හැකි බව සියළුම පුරවැසියන් දැනුවත්ව සිටීම වටීයි.
(විද්‍යුත් තෑපෑලට යොමු කළ ලිපියකි.)

