SLT ආයතනයේ හදිසි මිලදී ගැනිම්වලට මුවා වෙමින් සිදු කරන වංචාවන්

ශ්‍රි ලංකා ටෙලිකොම්  ආයතනයේම සේවකයින්ගේ දායකත්වය මත සේවාවන් සපයන පරිසරයක් තුල යම් පිරිසක් පමණක් කෙසේ හෝ තමන්ට පමණක් අනුමැතියක් ලබාගෙන පුද්ගලිකව තම තමන්ට ලබා ගෙන ඇති ඉන්සෙන්ටිව් දීමනා ගැන විගණනයක් කිරීම කෙසේ වෙතත් එහි ඇති සදාචාරාත්මකභාවයම අපුලකි.

එසේ අවිචාරවත් ලෙස හෝ තම තමන් පුද්ගලිකව ලබාගත් දීමනා  තමන්ගේ පුද්ගලික ගිණුමට බැර කරගෙන ඇති බැවින්, ඒවා පැත්තකින් තැබූ කල, කණ්ඩායම් සඳහා යයි කියමින් ලබාගෙන ඇති රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න  ඉන්සෙන්ටිව් දීමනා   වියදම් කර ඇති  ආකාරය අනිවාර්යයෙන් විගණනය කලයුතුය.

සමහර නිලධාරීන් තම හිතවතුන්ට පුද්ගලික සම්භාෂණ පවත්වා පසුව කණ්ඩායම්  දීමනා  යටතේ වියදම් පියවාගෙන ඇති බවට වාර්තා වේ. සමහර නිලධාරීන්  දහවල් කෑම පවා තරු පහේ හෝටල් වලින් ගෙන්වාගෙන මේ කණ්ඩායම් දිරි දීමනා යටතේ පියවාගෙන ඇති බව වාර්තා වෙයි. මෙලෙස කිසිම මුල්‍ය විනයක් නොමැතිව, කිසිම රේගුලාසියකට යටත් නොවී සිතු මතේ වියදම් කිරීමට මුදල් අනුමත කර ඇත්තේ කෙසේදැයි ඉතා ඉක්මනින් විගණනය කල යුතුය.

 විශේෂයෙන් 2023 වසරේ පාඩු ලබුවායයි කියමින් වසර අග බෝනස් පවා නොගෙවූ පරිසරයක් තුල එක් පිරිසකට පමණක් කිසිදු මුල්‍ය විනයකට යටත් නොවී කිසිදු වගකීමකින් තොරව මුදල් වියදම් කිරීමට අනුමැතිය දීම අනිවාර්යයෙන් විගණනය කල යුතුය.

අප පහලින් දැනුවත් කිරීමට යනුයේ SLT ආයතනයේ තවමත් සිදුවෙමින් පවතින එවැනි තවත් අක්‍රමිකතාවයක් ගැනය. මෙහිදී සිදුවන්නේ SLT ආයතනයේ, සියලු අනුමත ක්‍රමවේද මග හරිමින්, කිසිදු ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකර, තරගකාරී මිල ගණන් කැඳවීමකින්ද  තොරව, කෙලින්ම ප්‍රධාන විධායක නිලධාරිගේ අනුමැතිය ඇතිව තනි සැපයුම් කරුවකුගෙන් , රුපියල් කොටි ගණන් වටිනාකම් ඇති භාණ්ඩ මිලදී ගැනීම්  කරගෙන යාමය.

SLT ආයතනයේ, යම් කිසි ඉහල බිල්පත් ගෙවීමක්  කරන පරිභෝගිකයකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් කිරීමට අවශ්‍ය හදිසි මිලදී ගැනීමක් වෙනුවෙන් සැකසී ඇති වැඩ පිළිවෙලක් තිබේ. මෙම වැඩ පිළිවෙල හඳුන්වා දී ඇත්තේ එවැනි පරිභෝගිකයෙකුගේ හදිසි මිලදී ගැනීමකට මිස මහා පරිමාණයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හෝ තොග ගණන් උපකරණ ලබාගැනීමට නොවේ.  නමුත් සිදුවෙමින් පවතින්නේ කිසිම ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකර, තරගකාරී මිල ගණන් කැඳවීමකින් තොරව, තනි සැපයුම් කරුවකුගෙන් මහා පරිමාණයෙන්  තොග ගණනින් උපකරණ මිලදී  ගැනීමය.

මෙවැනි එක උදාහරණයක් වනුයේ, SDWAN සේවාව සඳහා පාරභෝගික ගෘහස්ත උපකරණ නැතහොත් CPE යනුවෙන් හඳුන්වන උපකරණ මිලදී ගැනීමය. CPE උපකරණ මිලදීගැනීමට අදාළ දැනුම සහ අත්දැකීම්  ඇති තාක්ෂණ කමිටුවක්ද, ඒ සඳහා අවශ්‍ය මුල්‍යමය තීරණ ගැනීමට හැකි මුල්‍ය කමිටුවක්ද ආයතනයේ ඇතත්, මෙම කමිටු මග හරිමින් කෙලින්ම රුපියල් කෝටි ගණන් වටිනා උපකරණ දිගින් දිගට, හදිසි මිලදී ගැනීම් ලෙස මිලදී ගැනීම සිදු කරගෙන යයි.

ටෙලිකොම් ආයතනයේ ක්‍රමවේද ගැන බොහෝ විවේචන කරන, නමුත් දැනට අවුරුදු හයකට වඩා කාලයක් ආයතනේ වැඩ කරන, ප්‍රධාන මුල්‍ය නිලධාරිටවත්  මෙම මිලදී ගැනීම් වලට අදාළ මුදල් මුදා හැරීමෙදීවත්, එහි ඇති ගැටලුකාරී බව නොපෙනීමත් එක්තරා ගැටලුවකි. මීට පෙර ෆයිබර් ව්‍යාපෘතියට අදාළ CPE උපකරණ මිලදී ගැනීමේදී වූ ගැටළුවක් සම්භන්ධයෙන් ප්‍රධාන නිලධාරියෙකු සහ සාමන්‍යධිකරිවරයෙකු වැඩ තහනමකටද ලක් වුහ. නමුත් මෙම සියලු සම්මත තාක්ෂණ කමිටු/මුල්‍ය කමිටු මග හරිමින්, එක සැපයුම් කරුවෙකුගෙන් පමණක් හිතු මතේට කෝටි ගණනින් CPE මිලදී ගැනීම් කිරීම, ප්‍රධාන මුල්‍ය නිලධාරියටවත්, තවත් මහා ඉහලින් ඔවැනි දේ ගැන කතාකරන පණ්ඩිතයන්ටවත් ප්‍රශ්නයක් නොවීමත්  ප්‍රශ්නයකි.  දැනට ලැබී තිබෙන ආරංචි අනුව රුපියල් කෝටි විශාල ගණනක මිලදී ගැනීම් කර ඇත. Ekinops ආයතනයේ, ONE 421, ONE 521,  යන උපකරණ මේ යටතේ මිලදී ගැනීම කරගෙන යනු ලබයි.

මෙම CPE  මිලදී   ගැනීමට අමතරව තවත් බොහෝ මිලදී ගැනීම්ද , මෙම හදිසි මිලදී ගැනීමේ ක්‍රම වේදයට මුවා  වී කර ඇත. තවත් උදාහරණ කිහිපයක් ලෙස, DELL පරිගණක උපකරණ, LENOVA පරිගණක උපකරණ ආදී ආයතනයේ unitrate ක්‍රමය යටතේ සිදු කලයුතු මිලදී ගැනීම්ද , මෙම හදිසි මිලදී ගැනීමට මුවා වී කිසිම ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකර, තරගකාරී මිල ගණන් කැඳවීමකින් තොරව, තනි සැපයුම් කරුවකුගෙන්, මිලදී  ගෙන ඇත. මෙම හදිසි මිලදී ගැනීම් ක්‍රමවේදය යටතේ මහා පරිමාණ ව්‍යාපෘතිද කර ඇත.

මෙහිදී මෙම ප්‍රෝඩාවට සම්බන්ධ පුද්ගලයින් කරන ක්‍රම වේදය වනුයේ, සම්මත ක්‍රමය අනුගමනය කළහොත් බොහෝ පරක්කු වීම් සිදු විය හැකි බවත්, එවිට අදාළ පාරිභෝගිකයා ආයතනයෙන් ගැලවීමට ඉඩ ඇති බවටත් වාර්තා ඉදිරිපත් කරමින්, හදිසි මිලදීගැනීම සාධාරනීකරණය කිරීමය. තවද, මෙම මිලදී ගැනීම් සාධාරණීකරණය කිරීමට, මෙම ක්‍රියාවට සම්භන්ධ ඉහල නිලධාරීන් විසින්, ඔවුන් යම් දෙයක් කියූ විට බැහැ නොකියන, හැම දේටම හා කියන   නිලධාරීන් කිහිප දෙනෙකු, මෙහෙයුම්, සැලසුම්, මුල්‍ය යන කොට්ටාශ වලින් තෝරාගෙන, කමිටුවක් සාදා, මෙම මිලදීගැනීම් වලට මෙහෙයුම්, සැලසුම්, සහ මුල්‍ය යන කොට්ටාශ වල අනුමැතියද  ලබාගෙන ඇති බවට වාර්තා ඉදිරිපත් කරයි.  මෙවැනි  හදිසි මිලදී ගැනීමක් කිරීමට ඕනෑ වූ විටදී ඔවුන් කරන මුලික කටයුත්තක් වනුයේ, මෙවැනි තමන්ගේ සම්පුර්ණ පාලනයට යටත් කරගත හැකි  කණ්ඩයක් මෙහෙයුම්, සැලසුම්, සහ මුල්‍ය යන කොට්ටාශ ආවරණය වන සේ පත් කර ගැනීමය.

දැන් අප හට ඇති ප්‍රධානම ප්‍රශ්නයක් වනුයේ  මෙසේ නොයෙකුත් අක්‍රමිකතා ගැන සියලු දැනුවත් වීම් සිදුව තිබියදීත් ඒ සඳහා අදාළ විගණනයන් ආරම්භ නොකිරීමය.

(ටෙලිකොම් සේවක පිරිසක් යොමු කළ ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *