පෝර්ට් සිටි ලොක්කාගේ ආදරණීය රාධිකාට සුදුසුකම් නැතිවම ලොකුපුටු දෙකක්ම දීලා

කොළඹ වරාය නගරය (Port City) ශ්‍රී ලංකාවේ අනාගතය වෙනස් කරන ජාත්‍යන්තර මට්ටමේ ආර්ථික කේන්ද්‍ර ස්ථානයක් වන තෙක් හුදී ජනයා අපේක්ෂා දල්වාගෙන බලා සිටියදී කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ (CPCEC) ලොක්කා දෙස් විදෙස් නීති කඩකරමින් හිතුමතේ කටුයුතු කරමින් සිටීන බවට වාර්ථවේ.
මෙම අත්තනෝමතික පාලනයේ අලුත්ම සහ බරපතළම හෙළිදරව්ව වාර්තා වන්නේ කොමිසමේ ඉහළම පුටු දෙකක් සම්බන්ධයෙනි.
එකවර කැඳවූ තනතුරු දෙකින් එකක් හිතාමතාම හැංගුවේ ඇයි?
කොමිසමේ ‘වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂ’ සහ ‘නීති අධ්‍යක්ෂ’ යන ප්‍රධාන තනතුරු දෙකම එකවර පුරප්පාඩු වූ අතර, ඒ සඳහා කොමිසම විසින් එකවර අයදුම්පත් ද කැඳවන ලදී.
එහෙත් පුදුමයකට මෙන් ඉන් පුරවනු ලැබුවේ වාණිජ අධ්‍යක්ෂ තනතුර පමණි.
වසර දෙකකට ආසන්න කාලයක් අතිශය තීරණාත්මක නීති අධ්‍යක්ෂ තනතුර පුරප්පාඩුව තබා ගනිමින්, එම දැවැන්ත රාජකාරිය ද ‘වාණිජ අධ්‍යක්ෂවරිය’ ලෙස අලුතින් පත්ව ආ නිලධාරිනියගේ කරමත පැටවීමට බලධාරීන් කටයුතු කර ඇත.මේ විහිළුවේ සුලමුල සොයා යන විට හමුවන සත්‍යය ඉතා කටුකය.
සුදුසුකම් නැති රාධිකාට ලොතරැයියක් ඇදුණේ කොහොමද?
වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂවරිය ලෙස පත්කර ඇති රදිකා ඔබේසේකර යනු, කොමිසම විසින්ම එම තනතුර සඳහා ඉල්ලා සිටි මූලික සුදුසුකම් හෝ සපුරා නැති තැනැත්තියකි. අදාළ තනතුර සඳහා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MBA) හෝ ඊට සමාන සුදුසුකම් සමග වාණිජ අංශයේ ඉහළ කළමනාකාරීත්ව පළපුරුද්දක් අනිවාර්ය කර තිබුණි.
එහෙත් ඇය සතුව ඇත්තේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීතිවේදී (LLB) උපාධියක් සහ අලෙවිකරණය පිළිබඳ (CIM) ඩිප්ලෝමාවක් පමණි. වෙළෙඳපොළ ඉලක්ක කරගත් දැවැන්ත වාණිජ මෙහෙයුම් පිළිබඳ කිසිදු ප්‍රායෝගික පළපුරුද්දක් නැති ඇයව මේ තනතුරට රිංගවා ගත්තේ කෙසේද යන්න පළමු ප්‍රහේලිකාවයි.
හොරාගේ අම්මාගෙන් පේන ඇසීම
අනෙක් අතට, ඇය මේ වන විට කිසිදු නීත්‍යානුකූල පදනමකින් තොරව ආවරණය කරමින් සිටින ‘නීති අධ්‍යක්ෂ’ කාර්යභාරය දෙස බැලූ විට තත්ත්වය ඊටත් වඩා ඛේදජනකය.
නීති අධ්‍යක්ෂවරයාට වාණිජ නීතිය, දේපළ නීතිය, බේරුම්කරණය වැනි අංශවල දශකයකට වැඩි ජ්‍යෙෂ්ඨ නීතිමය පළපුරුද්දක් තිබිය යුතු බව කොමිසමම නියම කර ඇත.
රාධිකා ඔබේසේකර නීතිඥවරියක වුවද, ඇගේ වෘත්තීය ජීවිතය ගෙවී ඇත්තේ පරිපාලන සහ විධායක නිලධාරිනියක ලෙස මිස නීති උපදේශනය හෝ නීති කෙටුම්පත් සම්පාදනය කිරීමේ බරපතළ කාර්යයන් තුළ නොවේ.
මෙම තනතුරේ මීට පෙර කටයුතු කළ වින්ද්‍යා වීරසේකර මහත්මිය වසර 26ක අඛණ්ඩ නීති පළපුරුද්දක් සහ ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහිත වූ අතිදක්ෂ තැනැත්තියකි.
එතරම් සුදුසුකම් සහිත නිලධාරිනියක් ඉවත්ව ගිය පසු, අදාළ සුදුසුකම් කිසිවක් නොමැති, වාණිජ අංශය භාරව සිටින නිලධාරිනියකටම නීති අංශයේ බලතල ද පැවරීමෙන් ගම්‍ය වන්නේ කුමක්ද? වරාය නගරයේ ගිවිසුම්, දේපළ පවරාදීම් ගැන ස්වාධීන නීතිමය අධීක්ෂණයක් කළ යුත්තේ නීති අධ්‍යක්ෂවරයාය.
එම නීතිමය අධීක්ෂණය, අදාළ වාණිජ කටයුතු මෙහෙයවන නිලධාරිනියටම පැවරීම හරියට “හොරාගේ අම්මාගෙන් පේන අහනවා” වැනි තක්කඩි වැඩකි.
සභාපති හර්ෂගේ ‘විශේෂ’ වුවමනාව
සුදුසුකම් සපුරා නැති අයෙකුට මෙලෙස ආයතනයේ ප්‍රබලම තනතුරු දෙකක්ම එකවර පිරිනැමීමේ සැඟවුණු රහස කුමක්ද? වරාය නගරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඉතා පැහැදිලිව තහවුරු කරන්නේ, මේ සියල්ලම වත්මන් සභාපතිවරයාගේ (හර්ෂ අබේසුන්දර) ‘විශේෂ සැලකිල්ල’ සහ ‘පුද්ගලික වුවමනාව’ මත සිදුවන්නක් බවයි.
රාධිකාට මෙම තනතුරු ප්‍රධානය ලැබී ඇත්තේ එම සුවිශේෂී සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස බව කොමිසම ඇතුළේ ප්‍රසිද්ධ රහසකි.
සභාපතිවරයාගේ පුද්ගලික සබඳතා කුමක් වුවත් අපට එයින් කම්නැත. එහෙත් අදාළ පුරප්පාඩුවට නිසි සුදුසුකම් සහිතව ඉල්ලුම් කළ බොහෝ දක්ෂයින් එළියේ රස්තියාදු වෙද්දී, ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය දේපළ සහ තනතුරු තමන්ගේ පුද්ගලික “ත්‍යාග” ලෙස ප්‍රධානය කිරීමට මොවුන්ට ඇති අයිතිය කුමක්ද? දූෂණයට සහ අක්‍රමිකතාවලට එරෙහිව දැඩිව ක්‍රියා කරන බව කියන වත්මන් රජයෙන් අප අසන්නේ මෙයයි.
හර්ෂට රාධිකාව කොතරම් අවශ්‍ය වුවත්, රටට අවශ්‍ය වන්නේ වරාය නගරය තුළ විනිවිදභාවයෙන් යුතු නිසි පරිපාලන ක්‍රමවේදයකි. අතයට ගනුදෙනු සහ යහපාලනය එකට ගමන් කරන්නේ නැත.
අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නිහැඬියාව
මේ බරපතළ අක්‍රමිකතා සහ පත්වීම් පිළිබඳව විමසීම සඳහා වරාය නගරයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වන රෙවාන් වික්‍රමසූරිය මහතාව සම්බන්ධ කර ගැනීමට අප දැරූ සියලු උත්සාහයන් මේ වන විට අසාර්ථක වී ඇත.
ඔහු හිතාමතාම මේ පිළිබඳව පිළිතුරු දීම මඟහරිමින් සිටින බව පැහැදිලිය. කෙසේ වුවද, මේ දූෂිත පත්වීම් ජාලය සම්බන්ධයෙන් ඔහු කුමන හෝ මොහොතක තම නිල මතය ප්‍රකාශ කරනු ඇද්දැයි ජාතියම විමසිල්ලෙන් බලා සිටී.
වරාය නගරය යනු තනි පුද්ගලයින්ගේ ආදර අන්දර වලට තෑගි බෝග බෙදන පෞද්ගලික බූදලයක් නොවන බව බලධාරීන් වටහා ගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *