නීතිය, පරිසරය සහ මහජන ජීවිතය සූක්ෂම ලෙස ගිලගනිමින් සිටින මහා පරිමාණ ඛේදවාචකයක් මේ දිනවල කටුනායක, ලියනගේමුල්ල ප්‍රදේශයේ නිර්මාණය වෙමින් පවතී.
ඒ ආනන්දරාජා පිල්ලෙයි සභාපතිත්වය දරන මෙල්වා (Melwa) සමාගම විසින් අලුතින් ඉදි කරමින් පවතින දැවැන්ත සිමෙන්ති නිෂ්පාදන සහ ඇසුරුම් කර්මාන්තශාලාවයි.
මෙය හුදෙක් කර්මාන්තශාලාවක් පමණක් නොවන අතර, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ 60% ක ආයෝජන සහ හිමිකාරීත්වයක් පවතින බවට තහවුරු වන, දේශපාලන බලය, දුර්වල රාජ්‍ය නියාමනය සහ මහා පරිමාණ ප්‍රාග්ධනය එකට මුසු වූ මර උගුලකි.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන්නේම නීතිය සහ පරිපාලන ක්‍රමවේදයන් සූක්ෂම ලෙස අවභාවිත කරමින් සිදු කරන ලද බරපතල වංචාවකිනි.
ඒ 2025 මැයි 09 වන දින, ආයෝජකයින් විසින් නාගරික සංවර්ධන අධිකාරියෙන් (UDA) අනුමැතිය ලබාගන්නේ වර්ග මීටර් 3,857 කින් යුත්, පරිසරයට අවම හානියක් සිදුකරන තනි මහල් සංචාරක හෝටල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමටය.
එහෙත් අදෘශ්‍යමාන දේශපාලන හස්තයක බලපෑම මත මාස 6ක් වැනි කෙටි කාලයක් තුළදී පරිපාලනමය සිදුරු භාවිත කරමින්, මෙම අනුමැතිය මහල් පහකින් (G+4) යුත්, අක්කර 6කට අධික භූමියක් පුරා විහිදෙන මහා පරිමාණ බැර කර්මාන්තශාලාවක් බවට නීතිවිරෝධී ලෙස පරිවර්තනය කරගැනීමට ඔවුහු කටයුතු කළහ.
මෙය රාජ්‍ය ආයතනද නොමග යවමින් සිදුකළ පැහැදිලි තක්කඩි වැඩකි.
මධ්‍යම පරිසර අධිකාරියද (CEA) විධිමත් පාරිසරික බලපෑම් තක්සේරුවකින් (EIA) තොරව, හුදෙක් අභ්‍යන්තර ප්‍රශ්නාවලියක් පමණක් පදනම් කරගෙන මීට අනුමැතිය ලබා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මහජන භාරකාරත්ව මූලධර්මය මුළුමනින්ම බිලිදෙමිනි.
මෙම කූට ව්‍යාපෘතිය හරහා කලාපයට සිදුවන පාරිසරික සහ සෞඛ්‍යමය හානිය අතිමහත්ය.
ජාත්‍යන්තර රම්සාර් ප්‍රමිතීන්ට අනුව ආරක්ෂිත කලාපයක් වන මුතුරාජවෙල තෙත්බිම් පද්ධතියට සහ ලියනගේමුල්ල කඩොලාන පද්ධතියට සෘජුවම මායිම්ව ඉදිවන මෙම කම්හල, අනිවාර්ය මීටර් 10 බෆර් කලාපය පවා මුළුමනින්ම උල්ලංඝනය කර ඇත.
මේ වන විටත් මීගමු කලපු රක්ෂිතයෙන් හෙක්ටයාර් 0.1956 ක ප්‍රමාණයක් අනවසරයෙන් ආක්‍රමණය කර ඇති අතර, මේ හේතුවෙන් මීගමු කලපුවේ මත්ස්‍ය නිෂ්පාදනයට සහ ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට දැඩි මරු පහරක් එල්ල වී තිබේ.
ඊටත් වඩා බරපතල කරුණ වන්නේ, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) ප්‍රමිතීන් පවා නොතකා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට අතිශය ආසන්නව මෙවැනි ඝන දූවිලි පිටකරන කම්හලක් පවත්වාගෙන යාමට ඉඩදීමයි.
සිමෙන්ති දූවිලි අංශු ගුවන් යානාවල ජෙට් එන්ජින් තුළට උරාගැනීමෙන් සිදුවිය හැකි යාන්ත්‍රික දෝෂ හේතුවෙන් ඕනෑම මොහොතක ජාත්‍යන්තර මට්ටමේ ගුවන් අනතුරක් සිදුවිය හැකි බවට ගුවන් සේවා ඉංජිනේරුවෝ අනතුරු අඟවති.
මීට අමතරව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින්, පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් දහස් ගණනක් දැඩි ශ්වසන රෝග අවදානමකටද ලක්විමට හැකිය.
මෙම මහා පරිමාණ පාරිසරික සහ සමාජීය විනාශයට එරෙහිව මේ වන විට කලාපයේ දැවැන්ත ජනතා විරෝධයක් ගොඩනැගී ඇත.
විශේෂයෙන්ම ‘පුංචි රෝමය’ ලෙස සැලකෙන මීගමුව ප්‍රදේශයේ අතිබහුතරයක් වූ කතෝලික ජනතාව සහ පියතුමන්ලා මෙම ව්‍යාපෘතියට එරෙහිව දැඩි ස්ථාවරයක සිටිති.
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සෘජුවම මීට මැදිහත් වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට රිට් පෙත්සම් ගොනු කර තිබේ. කතෝලික ජනතාව 90,000ක් පමණ වෙසෙන මීගමුවේ ග්‍රාම නිලධාරී වසම් 15ක ජනතාව මෙම ක්‍රියාවලිය හරහා අවතැන් වීමේ සහ පීඩාවට පත්වීමේ අවදානමක් පවතින බව උන්වහන්සේ සිය පෙත්සම් මගින් පෙන්වා දී ඇත.
ජාත්‍යන්තර වැදගත්කමක් ඇති මුතුරාජවෙල තෙත්බිම් කලාපය වනසමින්, කතෝලික ජන ජීවිතය සහ ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවනෝපායන් බිලිගනිමින් ඉදිවන මෙම තක්කඩි ව්‍යාපෘතියට එරෙහිව සමස්ත ප්‍රදේශයම මේ වන විට පෙළගැසෙමින් සිටින බව පැහැදිලිය.
මෙවැනි දැවැන්ත විනාශයක් සිදු කරමින් සිටින පසුබිමක, මෙම සමූහ ව්‍යාපාරයේ මූල්‍ය හැසිරීම් සහ ඊට ලැබෙන ජාත්‍යන්තර අනුග්‍රහයද විමතිය දනවයි. එක් පසෙකින් පරිසර පද්ධති වනසන කර්මාන්තයක් පවත්වාගෙන යන අතරතුරම, මෙල්වා හෝටල් ව්‍යාපෘති සඳහා ලෝක බැංකු සමූහයට අයත් IFC ආයතනයෙන් ඩොලර් මිලියන ගණනක අරමුදල් ලබාගැනීමට තරම් මෙම ජාලය සූක්ෂම වී ඇත.
දූෂිත මූල්‍ය අනුග්‍රහයන් සහ දේශපාලන බලය භාවිත කරමින් ඔවුන් මේ වන විට රාජ්‍ය දේපළද අතිශය අඩු මිලට ගිලගනිමින් සිටී. ඩොලර් මිලියන 124 කට තක්සේරු කර තිබූ කොළඹ හිල්ටන් හෝටලය හුදෙක් ඩොලර් මිලියන 41.5 කට තනි ලංසුකරුවෙකු ලෙස මිලදී ගැනීමට කටයුතු කිරීම මෙන්ම, කොළඹ වරාය නගරයේ ඉහළම වටිනාකමක් ඇති මරීනා කලාපයේ ඉඩම් අත්පත් කරගැනීම පිටුපස ඇත්තේද ඉදිරි මැතිවරණ සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ඉහළ පෙළේ දේශපාලන ගනුදෙනුවකි.
අවසාන වශයෙන් මෙල්වා කටුනායක සිමෙන්ති ව්‍යාපෘතිය යනු හුදෙක් පරිසරය වනසන තවත් එක් කම්හලක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, නීතිය සහ රාජ්‍ය පාලන ව්‍යුහය දේශපාලන සහ ප්‍රාග්ධන බලය විසින් ගිලගනිමින් පවතින බව පෙන්වන සජීවී සාක්ෂියකි.

සීදුව ගිනිගනිද්දී වීනා වයන කන්නා
ආනන්දන් ක්‍රියාවෙන් සීදූවට බරපතල හානියක් කරමින් සිටියදී, බොරු වපුරමින් පාදිලි උන්නාන්සේලා හා ප්‍රදේශවාසීන්ට බොරු වපුරමින් තමාගේ තනතුර රැක ගැනීමට මෙල්වා සමූහ ව්‍යාපාරයේ අලෙවි සහ සන්නාම ප්‍රධානී, මලිත් කන්නන්ගර දැඩි වෙහෙසක සිටින බවද වාර්තා වේ.
මොහු පසුගියදා ජා-ඇල ,ඒකල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවා කැඳවා තිබූ අතර අදාළ මාධ්‍ය හමුවට එම ව්‍යාපෘතියට විපක්ෂ කිසිදු මාධ්‍යවේදියකු සම්බන්ධකරෙගන නොතිබිණි.
ඇත්තෙන්ම එය වන් සයිඩ් මාධ්‍ය හමුවකි. ප්‍රශ්න ඇසුවේද ඒවාට පිළිතුරු දුන්නේද මෙල්වා ප්‍රජෙක්ට් එකට පක්ෂ අයම බව මේවන විට ප්‍රසිද්ධ රහසකි.

