ඊශ්‍රායල් රැකියා සිහිනය බිලිගන්නා තානාපති කාර්යාලයේ “අල්ලස් ජාවාරම”:හා අසරණ තරුණ පරපුර සුරාකන “නිල්මිණී” සහ සහචර ජාලයේ සැබෑ රූපය

ශ්‍රී ලංකාව අභියෝගාත්මක ආර්ථික අර්බුදයකට මුහුණ පෑමත් සමඟ රටේ තරුණ තරුණියන්ගේ ප්‍රධානතම බලාපොරොත්තුව බවට පත් වූයේ විදේශ රැකියාවකට යොමු වීමයි. විශාල වැටුපක් සහ සුරක්ෂිත අනාගතයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන්ම තෝරාගන්නේ ඊශ්‍රායලය සහ දකුණු කොරියාව වැනි රටවල්ය. විශේෂයෙන්ම ඊශ්‍රායල් රැකියා සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යන්නේ ඉහළ ආදායම් මාර්ගයක් කෙරෙහි තැබූ විශ්වාසය නිසාය.

​නමුත්, ඒ අසරණ තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු  සහ අනාගත සිහිනවලින් “හිඟාකන” දූෂිත නිලධාරීන් පිරිසක් ගැන කනගාටුදායක පුවතක් දැන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් වාර්තා වේ.(රැකියා කෝටා කොල්ලකන “නිල්මිණීගේ” ජාවාරම)

​ශ්‍රී ලංකාවේ විදේශ රැකියා නියෝජිතයන් (Foreign Employment Agencies) දැඩි කැපවීමක් සහ උත්සාහයක් දරා ඊශ්‍රායලයෙන් රැකියා අවස්ථා (Employment Quotas) සොයාගෙන ලංකාවට පැමිණෙති. එලෙස සොයාගන්නා රැකියා කෝටා නිල වශයෙන් අනුමත කර ගැනීමට නම්, ඊශ්‍රායල් ජාතික සේවා යෝජකයා ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යා යුතුය.

​අපගේ ගවේෂණයට අනුව, මෙම දූෂිත ජාවාරමේ ආරම්භය සිදුවන්නේ එතැනිනි.

​තානාපති කාර්යාලයේ සේවය කරන “නිල්මිණී” නැමැති නිලධාරිනිය හමුවට අදාළ ඊශ්‍රායල් සේවා යෝජකයා පැමිණි පසු, ඇය කරන්නේ අදාළ රැකියා කෝටාව සොයාගත් ලාංකික නියෝජිතයා පිළිබඳව අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු විදේශිකයාට පැවසීමයි. ඉන්පසුව, එම කෝටාව තමාට හිතවත් සහ තමන්ගෙන් යැපෙන වෙනත් විදේශ රැකියා නියෝජිත ආයතන වෙත හරවා යැවීමට ඇය කටයුතු කරයි.

ලක්ෂ 25ක අල්ලස සහ ලක්ෂ 50 දක්වා ඉහළට

​මෙලෙස රැකියා කෝටා බලහත්කාරයෙන් හරවා යවන සහස්‍රා, දහම් ලංකා, ඉන්වල්ඩ්, මිරකල්, සහ ආර් එන් ආර් (RNR) වැනි හිතවත් නියෝජිත ආයතනවලින් ඇය එක් කෝටාවක් සඳහා රුපියල් ලක්ෂ 25 ක මුදලක් අල්ලස් ලෙස ලබාගන්නේ කිසිදු බියකින් හෝ හිරිකිතයකින් තොරවය.

​මෙම අල්ලස් ජාවාරම නිසා අවසානයේ බැටකන්නේ ඊශ්‍රායල් යෑමට සිහින මවන ලංකාවේ අසරණ තරුණ තරුණියන්ය. තානාපති කාර්යාල නිලධාරිනියට ලබා දිය යුතු අල්ලස් මුදල ඉහළ යන විට, නියෝජිත ආයතන එම මුදල අයකර ගන්නේ රැකියා අපේක්ෂකයාගෙනි. ප්‍රතිඵලයක් ලෙස, ඊශ්‍රායලයේ රැකියාවකට යාම සඳහා ලාංකිකයකුට දැරීමට සිදුවන පිරිවැය රුපියල් ලක්ෂ 50 ඉක්මවා යාම වැළැක්විය නොහැකි වී ඇත.​(විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සහය සහ පලිගැනීමේ බිය)

​මෙවැනි මහා පරිමාණ දූෂණයක් තානාපති කාර්යාලයක් තුළ දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන යාමට ශ්‍රී ලංකා විදේශ රක්ෂා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ඇතැම් ඉහළ නිලධාරීන්ගේ ද සහය ලැබීම දැඩි සැකයකට කරුණකි.

​අසාධාරණයට ලක්වන අනෙකුත් රැකියා නියෝජිතයන් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ කටහැරීමට බිය වන්නේ මෙම දූෂිත ජාලය විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තුළ ද පැතිර ඇති බැවින්, තමන්ගෙන් පලිගනු ඇතැයි යන බිය නිසාය. මනුෂ නානායක්කාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන මෙම දූෂණ සහ වංචා, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නව පාලනය යටතේ ද අඩුවකින් තොරව ක්‍රියාත්මක වීම මගින් පෙනී යන්නේ පද්ධතියේ ඇති බරපතල කඩා වැටීමයි.

​තැරැව්කාර ජාලය සහ ඉදිරි හෙළිදරව්ව

​තවද, ඊශ්‍රායලයේ ලංකා තානාපති කාර්යාලය වටා තැරැව්කරුවන් පිරිසක් යොදවා මෙම අයථා ගනුදෙනු මෙහෙයවීමට නිල්මිණී කටයුතු කරන්නේ තානාපතිවරයාගේ ද දැනුවත්භාවය ඇතිවද යන්න පිළිබඳව ද බරපතල සැකයක් පවතී.

​නිල්මිණී නැමැති නිලධාරිනිය උපයා ඇති අයථා වත්කම් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වුවහොත් මෙම මහා පරිමාණ අල්ලස් ජාවාරමේ සත්‍ය තොරතුරු සමස්ත රටටම අනාවරණය කරගත හැක.

​තානාපති කාර්යාලය වටා ඇති තැරැව්කාර ජාලයේ කාර්යභාරය සහ තානාපතිවරයාගේ මැදිහත්වීම පිළිබඳ විශේෂ අනාවරණය ඊළඟ දිගහැරුමෙන් බලා පොරොත්තු වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *