පිටු 75 කින් සමන්විත රාජ්‍ය විගණන විමසුමකට පිළිතුරු නොදී, බොරැල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පති “තුෂාරි ද සිල්වා” හට ඇගේ නෑණා වන බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ “දර්ශනී ඉද්දමල්ගොඩගේ” රැකවරණය ලබමින් සිට මාස 08 ක් පමණ කට්ටි පනිමින් සිටිමින් ඕස්ට්‍රේලියාවට පැන ගොස් ඇති බව වාර්ථාවෙි.
එහි සිටින තම එකම දියණිය බැලීමට යැයි පවසමින් ඇය නිවාඩු අනුමත කරවා ගෙන ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර “හනීප් යූසුෆ්” ගෙනි.
එම අනුමැතිය ලබා ගැනීම, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු විය යුතු වුවද, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සිය නෑණාව ඍජුවම ආණ්ඩුකාරවරයා වෙත යොමු කරවා ඇත්තේ විගණන විමසුම් සම්බන්ධයෙන් කරුණු වසන් කරමිනී.
පසුගිය වසරේ මාර්තු මාසයේදී ජාතික විගණන කාර්යාලය විසින් සංඝමිත්තා බාලිකා විද්‍යාලය සම්බන්ධයෙන් විගණනයක් ආරම්භ කලේ මාපියන්, ගුරු භවතුන් හා ගුරු සංගම් දිගින් දිගටම කල ඉල්ලීම් මතය.
විගණනයට දැඩි ලෙස බාධා කල විදුහල්පතිවරිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත ස්ථාන මාරු කිරීමට ගත් තිරණයට එරෙහිව, ඇය විසින් වාරණ නියෝගයක් ලබා ගන්නේ රටේ ප්‍රමුඛතම ජනාධිපති නීතිඥවරයකු හරහා පෙත්සමක් ගොනු කරමිනි.
වාරණ නියෝගය මාසයක් තිස්සේ ක්‍රියාත්මක වූ හෙයින් විගණන කාර්යද ප්‍රමාද විණි. විගණන විමසුම නිකුත් වූ පසු විදුහල්පතිවරියව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කිරීමට සිදු විය.
එම විගණනයේදී ප්‍රකාශ ලබා දුන් මාපියන් හා ගුරු භවතුන් හට විදුහල්පතිවරියගෙන් බලපෑම් එල්ල වන්නට වූ බැවින්,
ඇය බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කෙරුණද, කිසි දිනෙක එහි රාජකාරි සඳහා වාර්තා නොකළ තුෂාරී ද සිල්වා හට නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිධුරයේ රාජකාරි ආරම්භ කිරීමට මග පාදා දෙන්නේද ඇඟේ නෑණා වන වත්මන් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ දර්ශනි ඉද්දමල්ගොඩ විසිනි.
ඇය ලවා විගණන විමසූම් සඳහා පිළිතුරු ඉදිරිපත් කරලීමේ වගකීම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වෙත පැවැරී තිබුණද, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විගණන කලමණාකරන කමිටු රැස්වීම් පවා මග හැර නෑණාට නිදැල්ලේ සිටීමට අවකාශ සලසා දි ඇත.
දියණියගේ සුව දුක් බැලීමට යැයි පවසා නිවාඩු අනුමත කර ගෙන ඇති තුෂාරී ද සිල්වා, ඕස්ට්‍රේලියාව බලා පසුගිය ජුනි මස 11 වනදා පිටත්ව ගොස් ඇත්තේ, තමන් විසූ නිවස වසර 03 ක කාළයක් සඳහා බදු දිමෙන් අනතුරුවය.
ගුරු සංගම් අවධාරණය කරන්නේ ඇයට විදේශ නිවාඩු අනුමත කිරීම සේම, බරපතල විගණන විමසුම් 05 කට පිළිතුරු ලබා නොදුන් “මහරගම ජනාධිපති විද්‍යාලයේ” විදුහල්පති ධුරයේ කටයුතු කළ වසන්ත කුමාර වඩුගේ යන අය ජාතික පාසලක් වන “මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය” වෙත මුදා හැරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ගත් තිරණය “ආයතන සංග්‍රහයට” හා “පළාත් විනය රීති සංග්‍රහය” අමු අමුවෙි උල්ලංඝනය කිරීමක් බවයි.
රාජ්‍ය සේවා කොමිසම නොමග යවා, වසන්ත කුමාර වඩුගේ මුදා හැරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට එම කොමිසම වෙත පසු ගිය සිකුරාදා ද (17) ඇතුළුව අවස්ථා 04 කදි ශ්‍රේණිධාරී විදුහල්පති සංගමයේ සභාපතිවරයා උත්සාහ දැරුවද, රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන කමිටුවේ ඉහළ තනතුරක් දරණ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරියකු ඊට හරස් කපා තිබෙනවා.
ගුරු විදුහල්පති සංගම් චෝදනා කරන්නේ පළාත් ආණ්ඩුකාරවරුන්ගේ නොදැනුවත්කම හා රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන කමිටුවට රිංගා ගෙන සිටින ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ දූෂිත විශ්‍රාමික නිලධාරීන් හේතුවෙන් රටේ අධ්‍යාපනය කඩා වැටෙන තරමට පද්ධතිය තුළ විනය පිරිහී දූෂණය රජ වී ඇති බවයි.

