සාමාන්‍ය ජනවහරේ කියනවා “අප්ප කළ දේ නොකලොත් ඌ නොට්ටිගෙ පුතාය” කියල. ලංකාවේ දේශපාලනයට සහ ආර්ථිකයට මෙය අදටත් කදිමට ගැලපෙන කියමනකි.
ඇඟලුම් කම්හල් කියන සංකල්පය ලංකාවේ පැල කලේ වෙනින් කවුරුවත් නෙවෙයි .සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමාගේ තාත්තා වන හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසයන් විසිනි. ඇත්තටම එදා ග්‍රාමීය මට්ටමින් ඇරඹූ එම ව්‍යාපෘතිය මෙරට පැවති උග්‍ර විරැකියා ප්‍රශ්නයට යන්තමින් හරි සැනසුමක් වූ බව අප පිළිගත යුතුය.
දශක ගණනාවක් පුරා ඇඟලුම් කර්මාන්තය රාජ්‍ය මැදිහත්වීම්ද සහිතව මේ රටේ විශාල වැඩකොටසක් සිදුකළා වගේම ඒ හරහා රටට ලැබුණු විනිමය ආදායම සුළුපටු නැත. ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායමෙන් සියයට 40කට වඩා වැඩි ප්‍රමාණයක්, එනම් සාමාන්‍යයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5කට ආසන්න දැවැන්ත විදේශ විනිමයක් රටට ගෙන ඒමට මෙම කර්මාන්තය සමත් විය.
එවැනි දැවැන්ත ඉතිහාසයක් ඇති කර්මාන්තයක දැවැන්තයෙකු වන ‘මාස්’ (MAS) සමාගම අද සිය කර්මාන්තශාලා අකුලාගෙන ඉන්දියාවට යන්නට සැරසෙයි. අපට ඇති ප්‍රශ්නය එය නොවේ. මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස තම පියාගේ ‘පුතාණෝ’ හැටියට කිසිවක් නොකියා මුනිවත රකින්නේ ඇයිද යන්නයි.
බොහෝ දෙනෙකු ඊට හේතුව ලෙස පෙන්වා දෙන්නේ සජිත්ගේ කට වසා දමා ඇත්තේ විගණන වාර්තාවක් මගින් බවයි. අපි ඒ ගැන පහුගිය සතියේද යම් ඉඟියක් කරමින් ලියා තැබුවෙමු.
නමුත් අද අපි හෙළිකරන්නට යන්නේ සහ ප්‍රශ්න කරන්නට යන්නේ ඊට වඩා වෙනස් මානයක් ගැනය.
පසුගිය දවසක නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ව (Correspondents) රැස්කරගත් මාස් ආයතනය ඔවුනට සහනාධාර බෙදූ බවට විශ්වාසවන්ත කටකතාවක් දැන් පැතිර යමින් තිබේ. මේ ගැන ඒ පළාතේ සිටින අපේ මිත්‍රයින්ගෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ, අදාළ සමාගම ඔවුන්ට එන්නට කියා ෆැක්ටරි දෙකකටද කැඳවාගෙන ගොස් ඒවා පෙන්වා ඇති බවයි. ඉන් නොනැවතී, හොඳින් කන්න බොන්න දී, අතට ‘ප්‍රවාහන මුදලක්ද’ මිට මොලවා සමාගම වෙනුවෙන් කතාකරන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත.
මොනවා වුණත් ලාභ ශ්‍රමය සොයාගෙන යන අමලින්ලා (Amaleans) අවසානයේ ඉන්දියාවට රැවටෙනවා යැයි කියා අපට දැන්මම කිව හැකිය. ඊට හේතුව සොබාදහමේ නීතියයි. අද ඔවුන් මේ ඉන්දියාවට ගෙන යන්නට හදන ප්‍රාග්ධනයත්, ඔවුන්ගේ සාක්කු පුරවාගත් ධනයත් නිර්මාණය කර දුන්නේ මේ රටේ අසරණ තරුණ කොල්ලො කෙල්ලො තමන්ගේ යෞවනය මහන මැෂිමක දිය කරමින් බව නැවතත් කියන්නම ඕනෑය.
ගමේ කොරස්පොන්ඩන්ට්ලාට කන්න බොන්න දී, අතට කීයක් හෝ දී ඔවුන් හරහා වහන්නට යන තොරතුරු හෝ මාධ්‍ය වාර්තා ගැන හිතන ගමන්ම, තමන්ගේ මේ ධන කුවේර ඉතිහාසය හැදුණේ කාගේ කඳුළින්ද යන්න ගැන අතීතය ආවර්ජනය කර බැලුවොත් අමලින්ලාට හොඳය. මොකද ආයිබෝං, අනුන්ගේ ශ්‍රමය සූරාකා ගොඩනැගූ අධිරාජ්‍යයන් අවසානයේ කඩාවැටෙන්නේ කිසිවෙකුටත් නොසිතූ අයුරිනි.
2026-09-21

