ජයෙකාඩි ලබන මාසේ නැවැත ඇමැතිකමට – ගල් අඟුරු නැව් 2ක් ආගිය අතක් නෑ

ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලියේදී වංචා දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධ චෝදනා හේතුවෙන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි කළ ඉල්ලීමකට අනුව බලශක්ති අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ පුණ්‍යා ශ්‍රී කුමාර ජයකොඩි ව ලබන මාසයේ නැවතත් එම ධූරයට පත් කිරීමට සැලැසුම් කර ඇති බවට තොරතුරු වාර්ථාවෙි.
මේ අතර, ගල් අඟුරු සංචිත අවම වීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදනය සීමා කර ඇති බව බලශක්ති අමාත්‍යාංශයම පිළිගෙන ඇත.
එහෙත්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසන්නේ, ජල විදුලි උත්පාදනය ප්‍රමාණවත් බැවින් විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.
ඉදිරියේදී ගල් අඟුරු නෞකා දෙකක් (සැප්තැම්බර් 04 සහ 12 දිනවල) දිවයිනට ළඟා වීමට නියමිත බව ද ඇමති කියයි.
කෙසේ වෙතත්, අමාත්‍යාංශයේ මෙම නිල ප්‍රකාශයට යටින් දැවැන්ත මූල්‍ය වංචාවක් සහ දේශපාලනික අක්‍රමිකතා ජාලයක් ක්‍රියාත්මක වන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සහ සමාජ මාධ්‍ය වාර්තා ඔස්සේ මේ වන විට හෙළිදරව් වී ඇත.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) මේ සම්බන්ධයෙන් වෙනස් අදහසක් දැක්වූවද, සැබෑ තත්ත්වය නම් ගල් අඟුරු නැව් දෙකක් මේ වන විට අහිමි වී (අතුරුදන් වී) ඇති බව අපට වාර්තා වේ.
ටොන් 60,000ක් රැගත් එක් නෞකාවකින් සැපයිය හැක්කේ දින 05ක ගල් අඟුරු අවශ්‍යතාවය පමණක් වන අතර, මෙම නෞකා දෙක අහිමි වීමෙන් අද දින සිට ඉදිරි දින 10ක කාලය සඳහා අවශ්‍ය ගල් අඟුරු හිඟයක් නිර්මාණය වී තිබේ.
ටොන් එකක මිල ඩොලර් 120ක් ලෙස ගණනය කළ විට, මෙයින් සිදුව ඇති සමස්ත මූල්‍ය පාඩුව රුපියල් බිලියන 48කට ආසන්න වේ.
මෙම අර්බුදය පිටුපස බරපතළ දේශපාලන මැදිහත්වීමක් සහ තොරතුරු කාන්දු වීමක් පවතින බවට ද තහවුරු වී ඇත. අමාත්‍යාංශයේ අභ්‍යන්තර රැස්වීම්වල තොරතුරු, සාකච්ඡා අවසන් වූ වහාම හිටපු ඇමැති ජයකොඩි වෙත රහසිගතව වාර්තා වන බව මේවන විට අමාත්‍යංශයේ ප්‍රසිද්ධ රහසකි.
මෑතකදී සපුගස්කන්දේ පැවති වටමේස සාකච්ඡාවක මූලාසන අමාත්‍යවරයාට අමතරව හිටපු අමාත්‍ය ජයකොඩි විසින් හොබවා ඇත.
මෙම වංචාව සම්බන්ධ විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති පසුබිමක, ලබන මාසයේදී ජයකොඩි යළිත් පැමිණීමට සූදානම් වීම සැකසහිතය.මෙම ප්‍රසම්පාදන අක්‍රමිකතා සහ ගල් අඟුරු හිඟයේ සෘජු ප්‍රතිඵලය වන්නේ විදුලි උත්පාදන පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යාමයි.
අඩුම පිරිවැයක් සහිත නොරොච්චෝලේ බලාගාරයේ මෙහෙයුම් අඩාල වන විට, ඒ වෙනුවට අධික පිරිවැයක් සහිත ඩීසල් සහ දැවිතෙල් බලාගාර මත යැපීමට සිදුවේ.
මේ හරහා නිර්මාණය වන අතිරේක පිරිවැය, විදුලි ගාස්තු ඉහළ දැමීමක් හරහා ජනතාව මත පැටවීමට ආණ්ඩුවේ සූදානමක්ද මේවන විට හෙළිව තිබේ.
ඉන්ධන සහනාධාරය පසුගිය මාසයේ සිට අවසන් වීම සහ උද්ධමනය 8% ක සීමාවේ පැවතීම හමුවේ, විදුලි බිල යළිත් ඉහළ දැමීම ජනතාවට දැරිය නොහැකි බව පවසමින් සැප්තැම්බර් 02 දින පුබුදු ජයගොඩ විසින් PUCSL වෙත ලිපියක් ද භාරදී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *