උඩවත්තගේ ගල උඩ බඩු – හතරලියද්ද ඇඟේ ගා ගනියි – AO සහයට ඩැනී වෙයි

උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාමර තුනකට (03) අවිධිමත් ලෙස මුද්‍රා තබා එම කාමර වල තිබූ භාණ්ඩ වල තොග ලැයිස්තු හා යතුරු පැහැර ගෙනයාමට  අනන්‍යතාව හෙළි නොවන පිරිසකට නියෝග ලබා දී අපරාධ වරදක් සිදු කර “ගලේ පැහැරූ බළලාට” අත් වූ ඉරණම බඳු අසීරුතාවයකට මහනුවර දිස්ත්‍රික් ලේකම් “ඉන්දික උඩවත්ත” පත්ව සිටින බව අප මීට පෙර Voice of Sri Lanka තුලින් හෙළිදරව් කළෙමු.

මෙම අපරාධ වරද සම්බන්ධයෙන් හිටපු උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න විසින් කළ පැමිණිල්ල සැලකිල්ලට ගනිමින් පොලිසිය මේ වනවිට බී-වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඊට අමතරව ප්‍රාදේශීය ලේකම්වරිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන්ද, අදාල අනීතික සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටියා.

ලේකම්වරයා විසින් එම පරීක්ෂණය පවත්වනවා වෙනුවට, රාජ්‍ය සේවා කොමිෂන් සභා සාමාජිකයන්ගේ නිල කාලය අවසන් වීමට පැය විසි හතරක් තිබියදී, එම කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව ප්‍රාදේශීය ලේකම්වරියව රාජ්‍ය පරිපාලන සේවා සංචිතය වෙත ස්ථාන මාරු කළා.ඒ ඉකුත් අට වෙනිදා සිට බල පැවැත්වෙන පරිදිය.

අනුප්‍රාප්තිකයා ලෙස උඩ පළාත ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ ආවරණය කිරීමට පත් කරන්නේ, හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කීර්ති වීරසිංහවයි. රාජ්‍ය  සේවයේ පිළිගත් හා නීත්‍යානුකූල ක්‍රමවේදය වන AR (ආයතන රෙගුලාසි) හා FR (මූල්‍ය රෙගුලාසි) අනුගමනය කරනවා වෙනුවට කීර්ති වීරසිංහ ක්‍රියාවේ යොදවන්නේ, ගැටබේ විහාරස්ථානයට කටු කම්බි ගැසූ “JR ක්‍රමය” බඳු එකකුයි.

එනම් රාජකාරී ආවරණය භාර ගෙන පැය විසි හතරක් යන්නටත් පෙර එනම් සිකුරාදා, කීර්ති වීරසිංහ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාමර තුනකට අවිධිමත් ලෙස මුද්‍රා තබා, එහි තොග භාණ්ඩ ලැයිස්තුව හා යතුරු පැහැරගෙන ගිය පිරිස, අදාල ලැයිස්තු හා යතුරු සමග උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත කැඳවා, ඒවා බලහත්කාරයෙන් උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත වනිතා සංවර්ධන නිලධාරීවරියකට භාර කිරීමට කටයුතු කිරිමයි.

එම නිලධාරීවරිය අදාළ කාමර තුන හෝ එහි ඇති භාණ්ඩ හෝ තොග ලේඛන සම්බන්ධයෙන් කලින් වගකීම පැවරුණ අයෙකු නොවේ.

එනම් කීර්ති වීරසිංහ විසින් අදාල යතුරු පැහැර ගැනීම සිදු කළ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත පිරිස කැඳවා උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරීවරයාද (AO) සහභාගි කර ගනිමින් දින විස්සක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසතුව පවතින ප්‍රශ්නගත කාමර තුනෙහි වූ භාණ්ඩ වල, තොග ගණනයක් සිදු කර තිබෙනවා.

එය රටේ අපරාධ නීතිය හා රාජ්‍ය පරිපාලන නීති රෙගුලාසි පමණක් නොව, පරිපාලන සාරධර්ම අමු අමුවෙි කෙලෙසූ මජර සිදුවීමකි.

ඉන්දික උඩවත්ත මේ වන විට නිරුවත්ව සිටින්නේ උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරියට කාලයක් තිස්සේ බාධා හා හිරිහැර කර එහි උච්චතම කුමන්ත්‍රණය ක්‍රියාවට නංවා වැඩ වැරදුණු බැවිනි.

උඩවත්ත තරම් කාලය කා නොදමා කීර්ති වීරසිංහ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ AO ද සමගින් නිරුවත්වී, ප්‍රකට කොට සිටින්නේ තමා නමට පමණක් “කීර්ති” බවයි.

රාජ්‍ය පරිපාලනයේ “ආලෝකය” වසා ගෙන තම අණසක පතුරවා ගෙන සිටින, රාජපක්ෂ සමයේද ඉහළ තනතුරු දැරූ දිස්ත්‍රික් ලේකම්ලා කීපදෙනෙකුගේ රැකවරණය උඩවත්තට මෙන්ම කීර්තිට ලැබී තිබෙනවා.

දූෂණයට එරෙහිව ප්‍රබල ‘ජනතා වරමක්” ලැබී ඇති ආණ්ඩුවක් පවතින අවස්ථාවක, ඉන්දික උඩවත්ත දිස්ත්‍රික් ලේකම්වරයාගේ අමු දූෂිත ක්‍රියාකාරකම් යට ගසා, ප්‍රාදේශීය ලේකම්වරිය පමණක් අහේතුකව “දඬු කඳේ ගැසිම” පිළිකුල් සහගත මෙන්ම, මේ ආණ්ඩුවට තරම් නොවන බාල වැඩකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *