විදේශ රැකියා කාර්යාංශයේ විමර්ශන අංශය දූෂිතයන්ගේ පාරාදීසයක් වෙලා?

​සාක්ෂි වසන් කරමින් පැමිණිලිකරුවන් හූරන් කන ‘තුන් කට්ටුවක්’ සහ ලොක්කන්ගේ නිහඬවත!

​විදේශ රැකියාවක නිරත වී තමන්ගේත්, දරු මුනුබුරන්ගේත් අනාගතය සරිකර ගැනීමට සිහින මවමින්, වංචනික ඒජන්සි සහ තැරැව්කරුවන්ට හසු වී ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගත් අහිංසක ලාංකිකයන් පිරිස අතිමහත්ය. එවැනි අගතියට පත් ජනතාවට පිහිට විය යුතු එකම රාජ්‍ය ආයතනය වන්නේ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයයි. එහෙත්, වර්තමානය වන විට එම කාර්යාංශයේ විමර්ශන අංශයට පැමිණිලි කිරීමට යන ජනතාවට සිදුව ඇත්තේ ‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් වැනි’ අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ පෑමටය.
​කාර්යාංශය තුළ ක්‍රියාත්මක වන ප්‍රබල දූෂිත නිලධාරීන් කණ්ඩායමක් පිළිබඳව අප මීට පෙර ලිපියකින් අනාවරණය කළ අතර, අද අප හෙළි කරන්නේ එහි ක්‍රියාත්මක වන තවත් දූෂිත වළල්ලක තොරතුරුය.
පැමිණිල්ලෙන් ‘කුට්ටියක්’ කඩාගන්නා විමර්ශන නිලධාරිනියන්
​අප කළ දීර්ඝ සෝදිසියේදී අනාවරණය වූයේ විමර්ශන අංශයේ සිටින ඇතැම් කාන්තා නිලධාරිනියන්, පැමිණිලිකරුවන්ගෙන් සහ විත්තිකරුවන්ගෙන් ඉතා සූක්ෂ්ම ලෙස ‘ගතමනාවන්’ (අල්ලස්) ලබාගන්නා බවයි. මෙහි ප්‍රධානතම චරිතයක් වන්නේ ‘මොහොට්ටාල’ නැමැති කාන්තාවකි. ඇයගේ ක්‍රමවේදය වී ඇත්තේ පැමිණිල්ලේ වටිනාකම ලක්ෂ දහයක් නම්, ඉන් ලක්ෂ තුනක් තමන්ට ලබාගත යුතු බවයි.
​මීට මාස තුනකට පෙර, ඇය තවත් අයෙකු සමඟ කුරුණෑගල ප්‍රදේශයේ වංචනික ආයතනයක් වැටලීමට ගොස් හිස් අතින් පැමිණීම පිටුපස ඇති සැබෑ රහස කුරුණෑගල විදේශ රැකියා කාර්යාංශයේ නිලධාරීන්ගෙන් විමසන ඕනෑම අයෙකුට දැනගත හැකිය. එහිදී සිදුව ඇත්තේ විත්තිකරු සහ පැමිණිලිකරු බැහැර ස්ථානයකදී මුණගස්වා, මුදලට සාමදාන කර, දෙපාර්ශ්වයෙන්ම විශාල මුදලක් (කුට්ටියක්) කඩාගෙන, රජයේ මුදලින් හොඳ හැටි කා බී පැමිණීමයි.
උසස් නිලධාරීන් වසඟයට ගත් ‘තුන් කට්ටුව
​මෙම දූෂිත මොහොට්ටාල නමැති කාන්තාවගේ ප්‍රධාන සගයන් දෙදෙනෙකු වන්නේ නදී කුඩාමද්දුමගේ සහ ගයේෂා නැමැති නිලධාරිනියන්ය. මේ වන විට මෙම ‘තුන් කට්ටුව’ කාර්යාංශයේ උසස් නිලධාරීන් සිය වසඟයට ගෙන ඇති බව ප්‍රසිද්ධ රහසකි. මොවුන් සිදුකර ඇති විමර්ශන සංඛ්‍යාව සහ ඒවායේ වත්මන් තත්ත්වය සොයා බැලීමේදී මොවුන්ගේ සැබෑ දූෂිත ස්වරූපය ඕනෑම අයෙකුට තේරුම් ගත හැකිය.
​කණගාටුවට කරුණ නම්, මොවුන්ගේ මෙම දූෂිත කටයුතුවලට බාධාවක් වූ ‘ඉඳුනිල්’ නැමැති අවංක නිලධාරියා, ඉහළ නිලධාරීන් සමඟ ඇති සම්බන්ධකම් උපයෝගී කරගනිමින් පැත්තකට කර දැමීමට ද මොවුන් සමත් වී තිබීමයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාත් තුරුලේ?
​විමර්ශන ඒකකය භාරව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියසිංහ ද මේ වන විට මෙම දූෂිත නිලධාරිනියන්ගේ බහට අවනතව කටයුතු කරන බැවින්, අගතියට පත් පැමිණිලිකරුවන් දැඩි අසරණභාවයට පත්ව සිටිති. අප මේ බව පවසන්නේ පැහැදිලි සාක්ෂි සහිතවය.
​සති කිහිපයකට පෙර, මෙහි ක්‍රියාත්මක වන ප්‍රබලතම ජාවාරමක් වන ‘ඊශ්‍රායල් රැකියා’ සඳහා තේරී පත් වූ පිරිස් බියගන්වා මුදල් ගැනීමේ ජාවාරමකට හසු වූ පුද්ගලයෙකු විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියසිංහ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. එහෙත්, නදී කුඩාමද්දුමගේ, මොහොට්ටාල සහ ගයේෂා යන තිදෙනාගේ බලපෑම හා හුරතලය හමුවේ එම පැමිණිල්ල ද අතුරුදන් කිරීමට මේ වන විට සැලසුම් කර ඇත.
​මෙම ජාවාරමේ මුදල් ඉතා සූක්ෂ්ම ලෙස ගිණුම්ගත කරගෙන ඇත්තේ කාර්යාංශයේ පැය 24 පුරා සේවයේ නිරත ‘බුද්ධික’ නැමැති පුද්ගලයාය. මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් කිරීමට අවශ්‍ය ඕනෑම අයෙකුට අදාළ ලිපිගොනුව තවමත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සතුව ඇති බව අප වගකීමෙන් ප්‍රකාශ කරමු.
​මෙම දූෂිතයන්ගේ ඊළඟ උපාය වී ඇත්තේ වත්මන් ස්ථානාධිපතිවරයා කිසියම් චෝදනාවකට පටලවා එළවා දමා, තමන්ට හිතවත් ‘තට්ට කපිල’ නැමැත්තා එම පුටුවේ වාඩි කරවීමයි. කාර්යාංශයේ වත්මන් සභාපතිවරයා මේ සියලු දූෂණ පිළිබඳව දැනුවත්ව සිටිමින්ද, නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම බරපතල ගැටලුවකි.
​මෙම ජාවාරම්වලට හසුවූ අහිංසක ජනතාව නිහඬව සිටින්නේ මෙම නිලධාරීන්ගේ බලය හමුවේ තමන්ට ලැබී ඇති වීසා පත්‍රය අවලංගු කරාවි යන බිය නිසාය. එහෙත්, එම පිරිස් රටින් පිටවූ වහාම මේ පිළිබඳව මෙරට මෙන්ම විදේශයන්හිදී ද කට ඇරීමට සහ සාක්ෂි දීමට සූදානමින් සිටින බව වගකිවයුත්තන් අමතක නොකළ යුතුය.
​රටේ ඩොලර් අර්බුදයට විසඳුම් සොයන විදේශ ශ්‍රමිකයා සුරාකන මෙවැනි රාජ්‍ය ආයතන දූෂිතයන් පිළිබඳව විෂයභාර අමාත්‍යවරයාගේ සහ රජයේ කඩිනම් අවධානය යොමු විය යුතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *