මිගමුව බන්දනාගාර ගැටුමේ මුල මැද අග

“සිරකරුවෝත් මනුෂ්‍යයෝය” යන උදාර තේමාව බන්ධනාගාර බිත්තිවල විශාල අකුරින් ප්‍රදර්ශනය කර තිබුණද, මීගමුව බන්ධනාගාරය තුළින් පසුගිය දින කිහිපයේදී වාර්තා වූයේ එම පාඨයට නිග්‍රහ කරන අමනුෂ්‍ය ක්‍රියාවන් දාමයකි. බන්ධනාගාර පාලනාධිකාරිය මාධ්‍ය සංදර්ශන පවත්වමින් සත්‍යය යටගැසීමට කෙතරම් උත්සාහ කළද, නිලධාරීන් සහ රැඳවියන් අතර පවතින අභ්‍යන්තර බල අරගලයක සහ පලිගැනීම් දාමයක බිහිසුණු ප්‍රතිඵලයක් ලෙස මෙම ලේ වැගිරීම සිදු වූ බව තොරතුරු දන්නා අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
“ගැටුමේ සුලමුල සහ “කාමර පාටි” කල්ලිය”
මෙම සමස්ථ සිදුවීම් දාමයේ ආරම්භය සනිටුහන් වන්නේ මීට ටික කලකට පෙර මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ, ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සහෝදරයෙකු වන ගයාන් නමැති නිලධාරියාගේ පාලන කාලයෙනි. ඔහු සිය නිල බලය උපයෝගී කරගනිමින් බන්ධනාගාරය තුළ තොරතුරු ලබාගැනීම සහ ආධිපත්‍යය පැතිරවීම සඳහා රැඳවියන් පිරිසකගෙන් සමන්විත වෙනම කණ්ඩායමක් “කාමර පාටිවරුන්” ලෙස ස්ථාපිත කර තිබේ. ප්‍රධාන ජේලර්වරයාගේ රැකවරණය මැද අතිශය උඩඟු ලෙස හැසිරුණු මෙම කණ්ඩායම, අනෙකුත් රැඳවියන්ගේ දැඩි ද්වේෂයට ලක්ව සිට ඇත.
​කෙසේ වෙතත්, ප්‍රධාන ජේලර් ගයාන් මහර බන්ධනාගාරය වෙත ස්ථාන මාරු ලැබ යෑමත් සමඟ, බන්ධනාගාරය තුළ අනාථ වූ මෙම “කාමර පාටි” කණ්ඩායමට එරෙහිව ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් සංවිධානය වන්නට විය.
​ඉරිදා දින සැලසුම් සහගත ප්‍රහාරය
​අභ්‍යන්තර තොරතුරු සඳහන් කරන පරිදි, මෙම පැරණි කල්ලියට පහරදීමේ සංවිධානාත්මක සැලසුමක් මාරවිල කැලෑ සම්පත්, මීගමුවේ රොකී සහ කටුවැල්ලේගම සුරේෂ් ඇතුළු පිරිසක් විසින් දියත් කර තිබේ. ඒ අනුව ඉකුත් ඉරිදා දිනයේදී බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වූ බිහිසුණු ප්‍රහාරයකින් රැඳවියන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ඝාතනයට ලක් වූ අතර, තවත් පිරිසක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
​එදින රාත්‍රියේ ගැටුම තාවකාලිකව සමනය වී තිබුණද, පසුදින උදෑසන ආහාර ලබාදෙන අවස්ථාවේදී බන්ධනාගාරය තුළට කඩාවැදුණු බන්ධනාගාර උපක්‍රමික බලකායේ (STF/Strategic Force) නිලධාරීන් පිරිසක් තවත් රැඳවියන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දී ඇත. “ගයාන් මහත්තයා අපිට ගහන්න එව්ව කට්ටිය” යන රාවය බන්ධනාගාරය පුරා ලැව්ගින්නක් සේ පැතිර ගියේ මෙම ප්‍රහාරයෙන් පසුවය. ඉන් කුපිත වූ සෙසු රැඳවියන් උපක්‍රමික බලකායේ නිලධාරීන්ට ද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ බන්ධනාගාරය යුද පිටියක් බවට පත් විය. මේ විටත් බොහෝ පිරිසක් දැඩි සත්කාර ඒකකවල මරණයත් සමඟ සටන් වදින බැවින්, අහිමි වූ ජීවිත සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වේ.
​නියෝග දුන්නේ කවුද? බලධාරීන්ගේ හිතවත්කම්
​මෙම ඛේදවාචකය තුළ මතුවන ප්‍රධානතම ප්‍රශ්නාර්ථය වන්නේ බන්ධනාගාරය තුළ අළු යට ගිනි පුපුරු මෙන් නොසන්සුන්තා පවතිද්දී, ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පිරිස් වහාම ස්ථාන මාරු කිරීමට පාලකයින් පියවර නොගත්තේ ඇයිද යන්නයි.
​එමෙන්ම, නොසන්සුන් තත්ත්වයක් පවතින පසුබිමක බන්ධනාගාරය තුළට ඇතුළු වී මෙලෙස පහරදීමට සහ වෙඩි තැබීමට නියෝග දුන්නේ කවුද යන්න බරපතළ ගැටලුවකි. අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව, මෙම ප්‍රහාරයට නියෝග ලබා දී ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් මෙන්ම මාධ්‍ය ප්‍රකාශකවරයා ද වන ගජනායක නමැත්තාය. ඊට හේතුව ලෙස සඳහන් වන්නේ ඉරිදා ප්‍රහාරයෙන් ඝාතනයට හා තුවාල ලැබීමට ලක්වූයේ ඔහුගේ සමීප මිතුරෙකු වන ජේලර් ගයාන්ගේ කල්ලිය වීමයි. තම මිතුරා වෙනුවෙන් “කෘතගුණ සැලකීමක්” ලෙස නිලධාරීන් යොදවා මෙම මර්දනය දියත් කළ බවට චෝදනා එල්ල වේ.
​ප්‍රධාන ජේලර් ගයාන් විසින් මීගමුවේදී ඇති දැඩි කළ “කාමර පාටි” කණ්ඩායමෙන් මේ වන විට ජීවතුන් අතර සිටින්නේ දෙදෙනෙකු පමණක් වන අතර අනෙක් සියල්ලන්ම ඝාතනය වී අවසන්ය.
​විමර්ශන යටගැසීමේ උත්සාහය සහ ඇමතිවරයාගේ වගකීම
​මෙම සමස්ත සාපරාධී සිදුවීම් දාමය වසාගැනීම සඳහා අනුරාධපුරයේ සිට බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක නමැති නිලධාරියා කැඳවා ඇති බව වාර්තා වේ. අතිශය දූෂිත චෝදනාවලට ලක්ව ඇති මෙවැනි නිලධාරියෙකු ලවා විමර්ශන සිදුකිරීම “හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්” බඳුය. බන්ධනාගාර නිලධාරීන් ද මේ වන විට පාලනාධිකාරියේ මෙම පක්ෂපාතී ක්‍රියාකලාපය හේතුවෙන් දැඩි කලකිරීමට පත්ව සිටිති.
​වත්මන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෑතකදී ප්‍රකාශ කර තිබුණේ තමන් බන්ධනාගාරවල සිදුවන බොහෝ තොරතුරු දැනගන්නේ සමාජ මාධ්‍ය හරහා බවයි. එසේ නම්, රජයට එල්ල වන මෙම බරපතළ චෝදනා පසෙකලා සත්‍යය අනාවරණය කරගැනීම සඳහා මෙම සිදුවීම වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) නිසි විමර්ශනයක් සිදු කරනු ඇතැයි සාධාරණත්වය අගයන සමස්ත ජනතාවම අපේක්ෂා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *