එංගලන්තයේ ෆෙස්ටිවල් ඔෆ් නෙට්බෝල් ශූරතාවය පිට පිටම 2වන වතාවටත් දිනා ගැනීමට මහනුවර හිල්වුඩ් ක්‍රීඩිකාවන් සමත්වුණා. ඒ කොටහේන ගුඩ් ශෙපඩ් නෙට්බෝල් කණ්ඩායම අනුශූරියන් බවට පත් කරමිනුයි.
ඉතිහාසයේ ඉහළම සහභාගීත්වයක් තිබූ තරගාවලිය ලෙස මෙවර ෆෙස්ටිවල් ඔෆ් නෙට්බෝල් තරගාවලිය නිමාවට පත් වුණා.
එංගලන්තයේ ශ්‍රී ලංකික කාන්තාවන්ගේ එකමුතුවෙන් පළමු වරට නෙට්බෝල් සැනකෙලියක් සංවිධානය කරනු ලැබුවේ ෆෙස්ටිවල් ඔෆ් නෙට්බෝල් සංගමයයි.
තුන්වන ෆෙස්ටිවල් ඔෆ් නෙට්බෝල් නැත්නම් දැල්පන්දු තරගාවලියේ සමාරම්භක උත්සවය ඉතා විචිත්‍රවත් වුණා. ඊට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් හා සම්භාවනීය ආරාධිත අමුත්තන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.එංගලන්තයේ මෙවන් නෙට්බෝල් තරගාවලියක් පළමු වරට සංවිධානය කරනු ලැබුවේ මෙම ෆෙස්ටිවල් ඔෆ් නෙට්බෝල් සංගමයයි.

අනතුරුව තරගාවලියේ මූලික වටයේ තරග ආරම්භ වුණා. ශ්‍රී ලංකාවේ පාසල් ආධිශිෂ්‍යාවන්ගේ කණ්ඩායම් 16ක් රවුන් රොබින් ක්‍රමයට මූලික වටයේ තරග සදහා ක්‍රීඩා කළා. ඉතා උණුසුම් වූ එහිවී පසුගිය වසරේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ කණ්ඩායම් පරාජය කරමින් නවක කණ්ඩායම් ඉදිරියට පැමිණීම කැපී පෙනුනා.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සදහා කොටහේන ගුඩ් ශෙපඩ් කණ්ඩායම සමගින් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලීය ආධිශිෂ්‍ය කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. එහිදී තියුණු තරගයකින් පසු කොළඹ සිරිමාවෝ කණ්ඩායම ලකුණු 7ට 5ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගයට කොටහේන ගුඩ් ශෙපඩ් කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.
දෙවන අවසන් පූර්ව තරගය මහනුවර හිල්වුඩ් කණ්ඩායම හා කොළඹ සෙන් පෝල්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 8ට 2ක් ලෙස සෙන් පෝල්ස් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ මහනුවර හිල්වුඩ් කණ්ඩායමයි.
ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අවසන් මහා තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ලකුණු 4බැගින් ලබා සිටිම හේතුවෙන් අතිරේක විනාඩි 5ක කාලයක් තරගය පැවැත්වුණා. එහිදී සිය අත්දැකීම් මනාව ප්‍රයෝජනයට ගත් මහනුවර හිල්වුඩ් ක්‍රීඩිකාවන් ලකුණු 8 ට 6ක් ලෙස සෙන් පෝල්ස් කණ්ඩායම පරාජය කළා. මේ අනුව ෆෙස්ටිවල් ඔෆ් නෙට්බෝල් ශූරතාවය පිට පිටම දෙවන වතාවටත් මහනුවර හිල්වුඩ් ක්‍රීඩිකාවන් දිනා ගත්තා.
තරගාවලියේ තෙවන තැන සදහා පැවැත්වීමට නියමිත වූ තරගයෙන් කොළඹ සිරිමාවෝ කණ්ඩායම ඉවත්වීමත් සමග නිතරගයෙන් තුන්වන තැන සෙන් පෝල්ස් කණ්ඩායම සතු වුණා.
තරගාවලියේ සමාප්තිය සදහා මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර එක්වූ අතර සම්මාන ප්‍රධානෝත්සවය විචිත්‍රවත්ව පැවැත්වුණා. තුන්වන ෆෙස්ටිවල් ඔෆ් නෙට්බෝල් තරගාවලිය පසුගියදා පැවැත්වුණේ හැමල් හැම්ස්ටඩ් ජෝන් එෆ් කෙනඩි පාසල් ක්‍රීඩා පිටියේදීයි.

