සිසු දරුවන් හරහා කාඩ් පත් පුරවාලමින් මෙතෙක් රැස් කර ගෙන ඇති මුදල් ආපසු බෙදා දෙන ලෙස හා චක්‍රලේඛන වලට පටහැනි විශයගත කොටු කාඩ් පිරවිල්ල වහා අත්හිටුවන ලෙස බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් කොල්ලුපිටිය “ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ” වැඩබලන විදුහල්පතිවරිය වන M. G. A. දිල්රුක්ෂි යන අයට නියෝග කර තිබෙනවා.
එසේ නියෝගය කර තිබෙනුයේ පසුගිය මස 29 වන දින Voice of Sri Lanka කරන ලද හෙලිදරව්වෙන් අනතුරුව
පසුගිය සඳුදා දින පස්‌වරුවේ වැඩබලන විදුහල්පතිවරියව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට කැඳවා, මහත් ආන්දෝලනයකට තුඩු දුන් කොටු පිරවිල්ල පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුවයි.
රුපියල් දස දහාසක් (10,000) ආවරණය වන පරිදි කොටු 50 ක් සහිත කාඩ් පත් 02 බැගින් දරුවන් 1,039 දෙනකු අතරේ (100 × 50 × 2 × 1,039 = 10,390,000.00) පසුගිය අප්‍රේල් මාසයේදී දරුවන් අතරේ බෙදා දී ඇත්තේ වැඩබලන විදුහල්පතිවරියගේ නිල මුද්‍රාව හා අත්සනද සමඟිනි.
එක් දරුවෙකු එම කාඩ් පත් වල රුපියල් 100 ක් ලෙස බර තබා ඇති කොටු පුරවා රුපියල් 10,000 ක මුදලක් එළඹෙන 30 වනදා හෝ ඊට පෙර ලබා දිය යුතුව තිබුණා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අත්සන හෝ නිල මුද්‍රාව රහිත එම කාඩ් පත් වල සදහන් කොන්දේසි වලට අනුව කාඩ් පත් අස්ථානගත වුවහොත් ඊට බර තබා ඇති වටිනාකම දරුවන් විසින් ගෙවිය යුතුව තිබුණා.
හැකි ඉක්මනින් හා වැඩි වැඩියෙන් කාඩ් පත් සම්පූර්ණ කර දෙන සිසුන්ට ත්‍යාග ලබා දෙන බව සදහන් කරමින් දරුවන් සුදුවට පොළඹවාලන ප්‍රවර්ධනයක්ද එහිදී ක්‍රියාවට නංවා තිබුණේ අධ්‍යාපන සාරධර්ම අමු අමුවෙි කෙලසමිනි.
ක්‍රීඩා සංකීර්ණයක් හා සුළං බාධකයක් ඉදිකිරීමට (Wind Break & Sports Complex) කොටු පිරවීම සිදු කරන බව සදහන් කෙරුණද අදාළ ව්‍යාපෘති පිළිබඳ සංකල්පය හෝ විධිමත්ව සාකච්ඡා කෙරී නැහැ.
වැඩබලන විදුහල්පතිවරිය පසුගිය දිනක මධ්‍යම රාත්‍රිය ආසන්නයේදී පාසලේ නිල whatsapp සමූහය හරහා මාපියන්ට දැනුම් දී ඇත්තේ කොටු පුරවා මුදල් රැස්කිරීම අපහසු නම් කාඩ් පත් ආපසු ලබා දෙන ලෙසයි.
එහෙත් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝග පරිදි මුදල් ආපසු බෙදා දෙන බවක් වැඩබලන විදුහල්පතිවරිය එහි සදහන් කර නැහැ.
මාපියන් පවසන්නේ පාසලේ ජ්‍යෙෂ්ඨ පැරණි ගුරුවරු මෙම කාඩ් පත් දරුවන් අතරේ බෙදා දීම ප්‍රතික්ෂේප කල පසුබිමක,
වැඩබලන විදුහල්පතිවරිය විසින් නවක ගුරුභවතුන් හරහා කාඩ් පත් සැම දරුවකුටම ලබා දි, මේ වනවිටත් විශාල මුදලක් රැස් කර ගෙන ඇති බවයි.
මෙි අතර ජුනි 06 වනදා ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය හා කොළඹ බෞද්ධ කාන්තා විදුහල අතර පැවැත්වෙන ක්‍රීකට් තරගයකට අදාළව ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය විසින් අනුගමනය කරමින් සිටින චක්‍රලේඛ වලට පටහැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් ගුරු සංගම් ආණ්ඩුකාරවරයාට පැමිණිලි කර තිබෙනවා.
අදාළ තරගය වෙනුවෙන් ටී ෂර්ටයක් එක්තරා පුද්ගලයෙක් ලවා නිර්මාණය කර ඇති වැඩබලන විදුහල්පතිවරිය ඒවා සියළු දරුවන්ට මිලදී ගැනීමට නියම කර, එහි ලාභය පාසැල් සංවර්ධන ගිණුමට නොව වෙනත් ගිණුමකට බැර කිරීමට තීරණය කර තිබීම නීති විරෝධී බව ගුරු සංගම් කර ඇති පැමිණිල්ලේ සදහන්.
එමෙන්ම අදාළ තරගය වෙනුවෙන් පාසැල විසින් අන්‍රග්‍රාහක භවතුන්ගෙන් රැස් කර ගෙන ඇති මුදල්, ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුමට බැර කිරීමද නීති විරෝධී බව ගුරු සංගම් අවධාරණය කරනවා.

