තායිවාන ඇත්ලටික් ඕපන්: වීසා ලැබුණත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන අවිනිශ්චිතයි

ලබන ජූනි 6 වැනිදා පැවැත්වීමට නියමිත “තායිවාන ඇත්ලටික් ඕපන්” (New Taipei City Athletics Open) තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයේ සහභාගීත්වය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ. කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසට අදාළ විදේශ වීසා බලපත්‍ර ලැබී තිබුණද, සංචාරය සඳහා මෙතෙක් නිල පරිපාලනමය අනුමැතිය මෙරට බලධාරීන් වෙතින් ලැබී නොමැති වීම මීට හේතුවයි.
තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ජූනි 4 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙි. කෙසේ වෙතත්, ගමනට තව ඇත්තේ දින කිහිපයක් පමණක් වුවද මෙතෙක් නිල අනුමැතිය සහ ගුවන් ටිකට්පත් ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් බලාපොරොත්තුවෙන් සිටින ක්‍රීඩකයන් දැඩි මානසික පීඩාවකට මෙන්ම අපහසුතාවයකට පත්ව සිටී.
නිල මට්ටමින් ගුවන් ටිකට්පත් සහ ප්‍රතිපාදන ලැබීම ප්‍රමාද වීම නිසා, කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් තමන්ගේ පෞද්ගලික වියදමින් හෝ මෙම තරගාවලියට සහභාගී වීමට සූදානම් වී ඇත. එහෙත් පවතින රාජ්‍ය අනුමැතීන් සහ පරිපාලනමය ගැටලු ලිහා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ එම පෞද්ගලික සංචාරයන්ද මේ වන විට දැඩි සැක සහිත මට්ටමකට පත්ව ඇති බව ක්‍රීඩා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, මෙම සංචාරයට සහභාගී වන පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු විදේශගත වීම සඳහා මෙරට ක්‍රීඩා බලධාරීන් වෙතින් කලවේලාවට ලබාගත යුතු නිසි නිල අවසරයන් (Clearances) ලබාගෙන නොමැති බවද අනාවරණය වී ඇත. පවතින නීතිමය, තාක්ෂණික සහ පරිපාලනමය ගැටලුකාරී වාතාවරණය හමුවේ මෙම ගැටලුව කඩිනමින් විසඳා ගැනීමට නම් ඉහළ මට්ටමේ රාජතාන්ත්‍රික මැදිහත් වීමක් අත්‍යවශ්‍ය වනු ඇති බව ක්‍රීඩා අංශ පෙන්වා දෙයි.
ලබන 6 වැනිදා ඇරඹෙන මෙම තායිවාන ඇත්ලටික් ඕපන් තරගාවලිය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට තමන්ගේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ගැනීමට ලැබෙන ඉතා වටිනා අවස්ථාවකි. එබැවින්, පවතින බාධක ඉවත් කර ක්‍රීඩකයන්ට තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා වගකිවයුතු බලධාරීන් කඩිනමින් මැදිහත් වනු ඇතැයි ක්‍රීඩකයෝ මෙන්ම ක්‍රීඩා ලෝලීහුද බලාපොරොත්තු වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *