සුරසේනගේ ආණ්ඩුව පිනවීමේ වැඩවලට විනිසුරුවන් අවුල් වෙලා

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මේවන විට විනිසුරුවන්ට මහා හිසරදයක් වී ඇතැයි වාර්තා වේ.
ඒ ඔහුගේ ධූරකාලය තවත් වසර දෙකකින් දික් කර ගැනීමට ඔහු ආණ්ඩුවට කත්අදිමින් විනිසුරුවන්ගේ තීන්දු තීරණවලට විවිධ ආකාරයේ බලපෑම් කිරීම නිසාය.
ඔහුගේ මේ නොමනා ක්‍රියා නිසා වැඩියෙන්ම පීඩා විදින්නේ අළුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සේවය කරනු ලබන මහේස්ත්‍රාත්වරු, දිසාවිනිසරුවරු, මහාධිකරණ විනිසරුවරුන් හා අභියාචනාධිකරණ විනිසුරුවන් බවද වාර්තා වේ.
ඔවුන් සෑම සතියක් ආරම්භයේදීම සූරසේනගේ කාර්යාලයට කැඳවා පවතින නඩු සම්බන්ධව විමසන බවත්, ඒවායේ ප්‍රගතිය විමසීමෙන් පමණක් නොනවතින ඔහු ඒවා සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමත් බලපෑම් කිරීමත් සිදුකරන බව මේවන වි​ට ප්‍රසිද්ධ රහසක් වී තිබේ.
සූරසේන, වර්තමාන අභියාචනාධිකරණ සභාපති විනිසරු නලින් රොහාන්ත අබේසුරියගෙන්ද නඩු සම්බන්ධව විමසා නිතර බැනවදින තත්ත්වයක් මතුව ඇතැයි පැවසේ.
කෙසේවුවද, රොහාන්ත නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින කාලයේ සිටම අගවිනිසරුවරයාගේ විශයෙහිලා මහත් භීතියක් දක්වන ලද පුද්ගලයකුවීම නිසා මේ තත්ත්වය වඩාත් භයානක වී ඇතැයිද වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේද අගවිනිසුරුවරයාට බියක් නොදක්වන විනිසුරුවන් සිටින්නේ ඉතා අල්පයක් බවත්, ඒ අතරින් ජනක් ද සිල්වා, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන අය ඉදිරියෙන් සිටින බවද පැවසේ.
මෙසේ නිතර නිතර විනිසුරුවන් හමුවන අගවිනිසුරුවරයා ඒ සෑම අයෙකුටම අමතක නොකර කියන වැකියක් ගැනද විනිසුරුවන් අතර ප්‍රසිද්ධියක් ලැබී තිබේ.
ඒ “DONT MAKE THE GOVERNMENT UNCOMFORTABLE” යන්නයි නැත්නම් ආණ්ඩුව අපහසුතාවයට පත් නොකරන්න යන්නයි.
මේ සඳහා පසුගිය මාස 5 ක 6 ක කාලය තුළ අභියාචනාධිකරණය සහ සප්‍රිම් උසාවිය විසින් ලබාදුන් තීන්දු සාක්ෂි බවද අළුත්කඩේ අධිකරණ සංකීර්ණ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ තත්ත්වය සනාථ කිරීමට ප්‍රබලම සාක්ෂියක් ලෙස 2017 වසරේ පවුල් ආරවුල් සිද්ධියකට භාජනය වූ පාර්ශවයක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයකුගේ වෘත්තීය කටයුතුවලට අවහිර කිරීම තුළින් එවක මීගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වශයෙන් කටයුතු කළ වුට්ලර් උදයකුමාර සහ එම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති මදුශංක ඩයස් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ ද අගවිනිසුරුවරයා එයට ප්‍රතිවිරුද්ධ තීන්දුවක් ලබාදීම පෙනී යන බව විනිසුරුවෝ කියති.
එම අවස්ථාවේ අදාළ නීතිඥවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වුට්ලර් උදයකුමාර විසින් රුපියල් 60000 ක් සහ මධුශංක ඩයස් විසින් රුපියල් 30000ක් සිය පුද්ගලික මුදල් වලින් ගෙවිය යුතු යැයි නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අමතරව එම වගඋත්තරකරුවන් දෙදෙනා රුපියල් 10000 බැගින් පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවිය යුතු බවත් නියෝග කර සිටියේය.
නීතිඥවරයෙකු වන ප්‍රියලාල් චමින්ද සිරිසේන විසින් ඉදිරිපත් කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගනු ලැබිණි.
ඒ අනුව ජනක් ද සිල්වා සහ කුමුදුනි වික්‍රමසිංහ යන බහුතර විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබිණි.
එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු වන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන වෙනම තීන්දුවක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම නඩු කරය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් තහවුරු නොවන බවයි.
අගවිනිසුරුවරයා මෙසේ කටයුතු කිරීමෙන් පුරවැසියන්ට ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිත අධිකරණ නිදහස අහිමි වීමේ තත්ත්වයක් මතුවෙමින් ඇති බව මේවන විට විනිසුරුවන්ගේ කතා බහට ලක්ව තිබේ.
(පලේගම හේමරථන හිමියන්ට ඇප ලබා දිම සදහා අනුරාධපුර මහේස්‍රාත්වරයාට කළ බලපෑම ගැන ඉදිරියේ හෙළි කරන්නෙමු)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *