විගණන විමසුම් පහකට (05) පිළිතුරු ලිවීම මගහරිමින්, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක දර්ශනී ඉද්දමල්ගොඩගේ ආශිර්වාදය මත, එම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටි මහරගම ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිධූරය හෙබවු වසන්ත කුමාර යන අය, රටේ ප්‍රමුඛතම පාසලක් වන මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ගුරු, විදුහල්පති සංගම් විමතිය පළ කරයි.
වසර දාහතරකට (14) ආසන්න කාලයක් මහරගම ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ වසන්ත කුමාර නැමැත්තාගේ මූල්‍ය විෂමාචාර හා පරිපාලන දුර්වලතා රැසක් පිළිබඳව ප්‍රශ්න කෙරෙන විගණන විමසුම් පහක් (05) රාජ්‍ය විගණනය විසින් නිකුත් කළේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය.
එම විගණන විමසුම් වලට පිළිතුරු නොසැපයිම සම්බන්ධයෙන් සිහිකැදවීම් ලැබී තිබියදීත්, දර්ශනී ඉද්දමල්ගොඩ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය විසින් වසන්ත කුමාර නමැත්තාව, තම කාර්යාලයට අනුයුක්ත කර ගෙන තිබෙන්නේ විගණන විමසුම් පහට පිළිතුරු සැපයිමේ වගකීම මහරගම ජනාධිපති විද්‍යාලයේ සහකාර විදුහල්පතිධුර දරන්නන් වෙත පවරමින්ය.
2026.මාර්තු 02 දින Voice of Sri Lanka අප විසින් අනාවරණය කර පරිදි, මීට පෙරත් දර්ශනී ඉද්දමල්ගොඩ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය විසින් කොළඹ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය වන තුෂාර ද සිල්වා යන අය දූෂණ, වංචා හා අක්‍රමිකතාවයන් රැසක් සම්බන්ධයෙන් රාජ්‍ය විගණනයකින් වරදකරු කර ඇති අවස්ථාවක, ඇය වෙනුවෙන් විනයාණුකූල ක්‍රියාමාර්ග ගැනීම පසෙක තබා, නුගේගොඩ සමුද්‍ර දේවී බාලිකා විද්‍යාලයේ විදුහල්පති ධූරයට පත්කිරිමේ ඥාති සංග්‍රහය මගින් සිදුකර තිබෙන්නේ වත්මන් රජය බලයට පත්වීමට “ජනතා වරම” ලබා දුන් දූෂණ විරෝධී ප්‍රතිපත්තිය සරදමකට ලක් කිරීමකි.
මේ වෙනතෙක්ම තුෂාරි ද සිල්වා දූෂිත විදුහල්පතිනිය විනයානුකූල ක්‍රියාමාර්ග වලට යටත් නොකරමින් දඬුවම් ලබා නොදිම සදහා, ඇය වෙනුවෙන් රැකවරණය ලබා දෙන්නේ කවුරුන් විසින්ද යන්න සොයා බලා නිවැරදි නොකිරීමෙි වගකිමෙන් පෙනී යන්නේ, වත්මන් ආණ්ඩුවේ බලධාරීන්ද පෙර පැවති සුපුරුද මජර ක්‍රමයට අනුව යමින් දූෂණ, වංචා හා අක්‍රමිකතාවයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීන බවකි.
එහෙත් අදාළ විගණන විමසුම් පහෙන් ප්‍රශ්න කෙරී ඇති කාරණා බොහෝමයකට පාහේ වගකිව යුතුව තිබෙන්නේ මේ ප්‍රශ්නගත වසන්ත කුමාර නැමැත්තායි.
ඔහු 2012 වසරේදි මහරගම ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිධුරයට පත්වීමත් සමඟ, එහි ප්‍රාථමික අංශයේ පංති කාමර දෙකක් කිසිවකුගේ හෝ අනුමැතියකින් තොරව විදුහල්පති නිල නිවස බවට පත් කර ගැනීම පිළිබඳ විගණකාධිපතිවරයා විසින් ප්‍රශ්න කර තිබෙනවා.
විගණන විමසුමට අනුව එම නිවසේ වසන්ත කුමාර යන අය වසර දොළහකට (12) ආසන්න කාලයක් පදිංචිව සිට ඇත්තේ එහි විදුලි හා ජල ගාස්තු මෙන්ම අනෙකුත් නඩත්තු වියදම් එම පාසලේ පාසල් සංවර්ධන සමිති අරමුදලින් පියවමිනුයි.
රජයේ සේවකයන් රජයේ නිවාසයක රැඳී සිටින්නේ නම්, ඒ සඳහා නිවාස කුලිය ලෙස තම වැටුපෙන් සියයට දහයක (10 %) මුදලක් ගෙවිය යුතු වුවද, වසන්ත කුමාර යන අය වසර දොළහක් පුරාවටම එවැනි කිසිදු ගෙවීමක් සිදු කර නොමැත.
රාජ්‍ය විගණනය විසින් ප්‍රශ්න කර සිටින තවත් බරපතල සිද්ධියක් වනුයේ රජය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ, රාජ්‍ය මූල්‍ය රෙගුලාසි හා අමාත්‍යංශ චක්‍රලේඛ වලට පටහැනිව යමින් වසන්ත කුමාර නැමැත්තා විදුහල්පති තනතුරේ බලය අවභාවිතා කරමින් සිසුන් වෙත අලෙවි කිරීමට රුපියල් මිලියනයකට (01) වඩා අධික වටිනාකමින් යුත් මේස් තොගයක් මිලදී ගැනීමයි. ඒ සඳහා පාසල් සංවර්ධන සමිතියේ අරමුදල් යොදවා ඇත්තේ අත්තනෝමතික ලෙසයි.
එම මිලදී ගැනීම් වලට අදාළව මිල ගණන් තුනක් කැඳවා ඇති අතර, එම මිල ගණන් අතරින් දෙකක්ම ලබා දුන්නේ තමා විසින් බව, මේස් සැපයූ සැපයුම්කරු විසින් විගණනයට සාක්ෂිදි තිබෙනවා. අනෙක් මිල කියුම ව්‍යාජ ලිපි ශිර්ෂයක් යොදා ගනිමින් ඉදිරිපත් කර ඇත්තේ මෙම ප්‍රශ්නගත වසන්ත කුමාර නැමැත්තයි.
එම වංචාව මෙන්ම මේස් මිලදී ගැනීම වෙනුවෙන් තමන්ට අදාළ සැපයුම්කරු විසින් කොමිස් මුදලක් ගෙවූ බවද වසන්ත කුමාර නැමැත්තා විගණනය හමුවේ පිළි ගෙන තිබෙනවා.
විගණනයේදී හෙළි කර ගෙන ඇති “මූලික අයිතිවාසිකම්” කඩ කෙරෙන සිදුවීමක් වනුයේ, 2022 වසරේදි මහරගම ජනාධිපති විද්‍යාලයෙන් පළමුවර අපේක්ෂකයින් ලෙස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට හිමිකම තිබූ සිසුන් පිරිසක් විදුහල්පතිවරයා විසින් දෙවන වර අපේක්ෂකයන් ලෙස විභාගයට ඉදිරිපත් කිරිමයි. ඒ පිළිබඳව ගුරු, විදුහල්පති සංගම් විසින් අවධාරණය කරන්නේ තම පාසල් වල විභාග සමතුන්ගේ ප්‍රතිශතය ව්‍යාජව මවා පෙන්වා දීමට විදුහල්පතිවරුන් විසින් කලක සිට අනුගමනය කරන මෙම අශිෂ්ට පිළිවෙත විගණනයකින් අනාවරණය වූ පළමු අවස්ථා මෙය ලෙසත් එබැවින් මීට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.
නීතිය ක්‍රියාත්මක වීම කෙසේ වෙතත් වසන්ත කුමාර නැමැත්තාව පළාත් සභා පාසලකින් ජාතික පාසලක් වන මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ විදුහල්පති තනතුරේ ලබන බදාදා දින වැඩ භාර ගැනීමට නියමිතව ඇති අතර, එමගින් කියාපාන්නේ රටේ අධ්‍යාපනය තුල අටුවන් බැස ඇති දූෂණ, වංචා හා අක්‍රමිකතාවයන් වලට උඩ ගෙඩි දීමක් බව ගුරු, විදුහල්පති සංගම් වල චෝදනාවයි.

