නීතිඥ බුද්ධික මල්ලවආරච්චි හා ඔහුගේ බිරිඳ තලංඟම සුපිරි වෙළඳසැලක් ආසන්නයේදී ඝාතනය කළ සැකකරුවන් දෙදෙනා අත්ඩංගුවට ගත් බව පොලීසිය පවසයි.එහෙත් පොලීසියේම සේවය කරන බොහෝ දෙනෙකු හොර රහසේ තැන තැන කතා බහ වෙන්නේ ඒ අත්ඩංගුවට ගන්නා ලද සැකකරුවන් එම සාහසික අපරාධයට සම්බන්ධ නැති බවය.
මෙරට සමාජය තුළ ආන්දෝලනයට ලක් වුන ඇතැම් අපරාධ සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියා කර ඇති අනීතික ආකාරය පිළිබඳව විමසා බලන විට නීතිඥවරයාගේ හා බිරිඳගේ ඝාතනයන් සම්බන්ධයෙන් අත්ඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගැන පොලීසිය තුළින්ම මතුවන සැකය ලේසි පහසුවෙන් ඉවත දමන්නට නොහැකිය.විශේෂයෙන් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශය තුළ පොලීසිය මගින් අත්ඩංගුවට ගෙන ඇති සැකකරුවන් සිද්ධියට සම්බන්ධ වූවන් නොවන බවට අදහසක් පවතී.
උකුසු ඇස නම් ෆේස් බුක් ගිනුම පවත්වාගෙන යන්නේ විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය මගිනි.ඒ බව තහවුරු වන්නේ එහි පලවන බොහෝ ඡායාරූප හා විස්තර රජයේ ආරක්ෂක අංශයක රහස්‍ය ගොනු වල අඩංගු කර තිබෙන ඒවා නිසා පැහැදිලිව වටහා ගත හැකි නිසාය.මෑතකදී එහි තිබූ පෝස්ටුවකට කමන්ටුවක් ලියා තිබූ ඩුබායි සිටින කාන්තාවක සඳහන් කර තිබුණේ “අයියේ ඔයා මේ උකුසු ඇසේ පල කරන්නේ රාජගිරියේ අපේ බුද්ධි අංශයේ පයිල් වල තියෙන ඒවා නොවේද” යනුවෙන්ය. වර්තමානයේ ඩුබායි රැඳී සිට්න මේ කාන්තාව විශේෂ කාර්ය බළකායේ සේවයේ නිරතව සිටියදී පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බවට චෝදනා ලැබ තිබියදී ඩුබායි වෙත පලා ගිය තැනැත්තියකි.ඒ අතරේ වන තවත් කමන්ටුවක විශේෂ කාර්ය බළකායේ සේවය කර වැඩ තහනම් කරන ලද පොලිස් කොස්තාපල්වරයකු විසින් එම පෝස්ටුවටම ප්‍රතිචාර දක්වා ලියන ලද කමන්ටුවක සඳහන් කර තිබුණේ “මගේ වැඩ තහනම් වූයේ උකුසු ඇසට විරුද්ධව” කමන්ටුවක් දැමූ නිසා බවය.කෙසේ වෙතත් මේ උකුසු ඇස නම් ෆේස් බුක් ගිනුම දිගින් දිගටම සඳහන් කරමින් සිටින්නේ නීතිඥ ඝාතනයට ගත් සැකකරුවන් සැබෑ සැකකරුවන් නොවන බවය.
අපට අසන්නට ලැබෙන මෙවැනි තොරතුරු නිසාම පොලීසිය මගින් අත්ඩංගුවට ගත් සැකකරුවන් ගැන අපටද අපහැදිලි වටහා ගැනීමක් පවතී.මෙහිදී පළමුවෙන් අත් අඩංගුවට ගත් ගෝනාපිනුවල ෆෙඩ්රික් වත්ත පදිංචි සුනිල් රංජිත් නම් සැකකරු මත් ද්‍රව්‍ය භාවිතය නිසාම කෘශ වී ගිය ශරීරයක් ඇති අයෙකි.ඔහු අත්ඩංගුවට ගත් දිනයට පසු දින පොලීසිය වාර්තා කරන ලද්දේ මේ සැකකරු මිනිස් ඝාතන දහයක් පමණ කර ඇති බවට තොරතුරු ලැබුණ බවය.එහෙත් මේ වන විට පොලීසිය පවසන්නේ ඔහු සම්බන්ධ වී ඇත්තේ නීතිඥවරයා හා බිරිඳ ඝාතනයට පමනක් බවය.එම මිනිස් ඝාතනයට සම්බන්ධ බව ප්‍රකාශ කරමින් පොලීසිය මගින් මොනරාගලදී අනෙක් සැකකරුදා පසු ගිය දින අත්ඩංගුවට ගන්නා ලදී.මේ වන විට මොනරාගල ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ නිහාල් තල්දූවය.පසු ගිය කාලයේදී කොළොන්නාවේදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තා වෙඩි තබා ඝාතනය කරන ලද සැකකරුද ක්ෂණිකව අත්ඩංගුවට ගන්නා ලද්දේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවය.ඔහු සිය වාහනයේ ගමන් කරමින් සිටින අවස්ථාවක එහි ගැටුණ යතුරු පැදි කරුවකු ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු බව ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හඳුනා ගෙන තිබුණි.ඒ අනුව සැකකරුට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග පවා ගෙන තිබෙන වටපිටාවක ඊට පසු කාලයකදී ඩෑන් ප්‍රිය සාද්ට වෙඩි තැබූ බව පැවසෙන වෙඩික්කරු පොලීසිය මගින් අත්ඩංගුවට ගැණිනි.ඒ අනුව ඩෑන් ප්‍රිය සාද් ඝාතනයට වෙඩික්කරුවන් දෙදෙනෙකු පොලීසිය අත්ඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සිඳු කරන මෙවැනි නාඩගම් නිසා අධිකරණයේදී විත්තිකරුවන්ට හිමිවන සැකයේ වාසිය තුළ එම විත්තිකරුවන් නිදහස් වී යාම ගැන පොලීසිය වග කියන්නේද නැත.සිය පෞද්ගලික ඕනෑ එපාකම් සඳහා අපරාධ වසන් කරන පොලිස් ලොක්කන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක්ද නැත.
නීතිඥ ඝාතනයේ වෙඩික්කරු ලෙස හඳුනාගත් පුද්ගලයා සම්බන්ධයෙන් නිහාල් තල්දූවට ප්‍රථමයෙන් තොරතුර දුන් තැනැත්තිය ගැනද ඒ ඩුබායි සැලසුම පිළිබඳවද අප බොහෝ කරුණු කාරනා දන්නා මුත් ඒ ගැන හෙළිදරව් නොකරමු.ඕනෑ නම් සීඅයිඩීයට ඒ ගැන හොයා ගන්නට ඉඩ හැකියාව පවතී.
මේ අතරේ පසුගිය 04 දින වාර්තා වූයේ ජින්තුපිටිය ඝාතනයේ සැකකරු කොළඹ උතුර අපරාධ කොට්ඨාශයෙන් අත්ඩංගුවට ගත් බවය.ඒ අපරාධකරු අවුරුදු 24 ක තරුණයෙකි.ජින්තුපිටිය ඝාතනය මෙරට සමාජය තුළ කතාබහට ලක් වූයේ එම වෙඩි තැබීම සිඳු වන විට ඒ ආසන්නයේ පොලිස් නිළධාරීන් ආයුද සහිතව රාජකාරි කරමින් සිටි නිසාය.කෙසේ වෙතත් මීට පෙර එම ඝාතනය කරන ලද්දේද තමන් විසින් යැයි නීතිඥවරයාගේ ඝාතනයට සැක කර මොනරාගලදී අත් අඩංගුවට ගත් සුරේෂ් නැමැත්තා පාපොච්චාරණය කළ බව පොලීසිය අනාවරණය කරන ලදී.ජින්තුපිටිය සැබෑ ඝාතකයා අත්ඩංගුවට ගැනීමත් සමගම පොලීසියේ රෙදි ගැලවී තිබේ.
පොලිස්පතිවරයා ජනපතිවරයාගෙන් ලකුණු දමා ගැනීමට සිදු කරන මේ සෙප්පඩවිජ්ජා නිසා කෙල වන්නේ අහිංසක පුරවැසියන්ටය.මෙහිදී අපට අසන්නට තියෙන්නෙ ජනපතිවරයාට දෝදුද කියා පමණය.මහ පොළවේ දේශපලනය කළ ජනපතිවරයා මේ තරමට ගොනාට ඇන්දෙන හැටි දුටු විට අපට ඇතිවන්නේ බලවත් විමතියකි.මේ ගොනාට ඇන්දීම ගැන චෝදනා කරන්නේ අප පමණක් නොවේ.පොලීසියේ හා ආරක්ෂක අංශවල ඉහළ පුටුවල සිටින ජාජබයට හිතවත් බොහෝ ඡ්‍යෙෂ්ඨයන්ද ජනපතිවරයා ගේ ගොනාට ඇඳ ගෙන සිටීම ගැන මහත් කළකිරීමෙන් සිටී.
මෑතකදී පොලිස්පතිවරයා හා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ජනපතිවරයා හමුවූ බව අපට අනාවරණය විය.මේ අවස්ථාවෙි කිත්සිරි ජයලත් රඟපා ඇත්තේ තමන් දකුණු පලාතේ කුඩු ජාවාරමට එරෙහිව ක්‍රියා කරමින් සිට්න නිසා බොහෝ දෙනා තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා නගන බවය.ජනපතිවරයාද ඒ “හුරතල් දුක් ගැනවිල්ල” පිළි ගත් බවද අපට දැනගන්නට ලැබුණි.අපට ජනපතිවරයාගේ අවධානයට ලියන්නට ඇත්තේ එකම දෙයක් පමණය.ඔය වාහෙලාගේ පැටිකිරිය ඒටු ඉසෙඩ් හොයා බැලුවා නම් අප ලියන්නේ ඇත්තද නැත්තද යන්න සොයා ගත හැකි බවය.එහිදී මේ කිත්සිරි ජයලත් ගේ අනීතික ඉපයීම් මාර්ග මොනවාද යන්න ගැනත් හොයා ගන්නට හැකි වෙනු ඇත.මේ වන විට කිත්සිරි ජයලත් දිවයින පුරා ලී බඩු සාප්පු දාගෙන යන්නේ පොලිස් පඩියෙන්ද එසේත් නැතිනම් ඩුබායි පාතාල ආයෝජනයන්ගෙන් ද යන්න සොයා ගත හැකිය.මේ ව්‍යාපාරයන් කිත්සිරි ජයලත් ගේ නමින් නොවන බව නම් ඇත්තය.
එහෙත් එවායේ අහු කොන් කොහේදැයි විමර්ශනයකින් අනාවරණය කර ගත හැකියැයි අපේ යෝජනාවයි.පොලිස්පති හා කිත්සිරි ජයලත් අතර පවතින අඹ යාළුකම මේ රටේ පුරවැසියන්ට කොඩි විනයක් වීම නම් බරපතල ඛේදජනක තත්වයකි.මේ වන විට දකුණු පලාතේ කිත්සිරි ජයලත් ඉතා සංවිධානාත්මකව ගොඩ නගමින් සිටින පොලිස් අධිරාජ්‍යය ඉතා පැහැදිලි කුමන්ත්‍රණයක් යැයි අපට සිතේ.දකුණු පලාතේ බොහෝ පොලිස් ස්ථානවල ස්ථානාධිපති ධුරයන් සඳහා කිත්සිරි ජයලත් විසින් පත් කරවා ගෙන ඇත්තේ පොලිස් කොමිසමෙන් අන්ත දූෂිතයන් ලෙස නිර්දේශ කර ඇති පොලිස් පරීක්ෂක වරුන්ය.ඒ බව තහවුරු කරන්නට සාක්ෂි දෙකක් පමනක් දැනට හෙළි කරමු.හික්කඩුව හා කොස්ගොඩ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් දෙදෙනා ගැන සොයා බලා එතැන් සිට අනෙක් ස්ථානාධිපතිවරුන් ගැන සොයා ගත හැකිය. කයිවාරු කාර හොර තක්කඩි පොලිස් කාරයන්ගේ හුරතල් දුක් ගැනවිලි වලට ජනපතිවරයා මුලා වීම ගැන අපට ඇති වන්නේ බරපතල විමතියකි.ඒ විමතිය අපට ජනපතිවරයා අනුර දිසානායක සහෝදරයාගේ ඩමියක්ද යන්න යැයි සැක සිතෙන තරමට පුදුම සහගතය.
ජනපති අනුර දිසානායක පොලිස්පතිවරයා ගැන තබා ඇති විශ්වාසය නිසාම පොලීස් දෙපාර්තමේන්තුව තුළ සිද්ධ වෙන කෙරුවාවන් ගැන සොයා බැලීමක් කරන්නේ නැති බව අපට හැගී යයි.මේ පොලිස්පතිගේ ගොන් කම් නිසා දැඩි පීඩනයකට හසුව සිටින පොලිස් පොඩ්ඩෝ පෝලිමට විශ්‍රාම යාමට පේපර් බාර දෙමින් සිටී.මේ පිළිබඳව ජාතික බුද්ධි සේවාව ජනපතිවරයාට මෙතෙක් වාර්තා කර නැත.අප මේ ලියන දේ අසත්‍යයද සත්‍යයද නැද්ද යන්න අමාත්‍යංශ ලේකම් රවි සෙනෙවිරත්න පෞද්ගලිකව කැඳවා විමසන ලෙස ජනපතිවරයාට යෝජනා කරමු.
හමුදා බුද්ධි අංශයද මේ වන විට අයාලේ යමින් තිබේ.එහි බුද්ධි අධ්‍යක්ෂ වරයා යහපත් හමුදා නිළධාරියෙකු බව ඇත්තය.
එහෙත් ඔහු හමුදා බුද්ධි සේවාවේ දිග පලල නොදත් හමුදා ඡ්‍යෙෂ්ඨයෙකි.අඩුම ගානේ බුද්ධි සේවාවේ අත්දැකීම් වලින් සපිරි ඡ්‍යෙෂ්ඨයකුගෙන් ඔහු උපදෙස් ලබා නොගැනීම හමුදා බුද්ධි සේවාව බිමට සමතලා වීමේ අවදානමකට පත්ව තිබේ.
ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් පත් වී සිටින හමුදා මේජර් ජනරාල්වරයා ගැනද ලියන්නට තියෙන්නේ ඒ ටිකමය.ඔහු උපදෙස් ගන්නේ හමුදා බුද්ධි සේවයේ අබ්බගොබ්බයෙකු ලෙස නමක් දිනා ගත කර්නල් වරයෙක් ගෙනි.අවසාන අර්ථයෙන් ගත් කළ හමුදා බුද්ධි සේවය මේ වන විට හසුරවමින් සිටින්නේ මාලිමා විශ්‍රාමික හමුදා නිළධරීන්ගේ සංවිධානයට අරක්ගත් පැන්ෂන් ගිය හමුදා ඡේයෂ්ඨයන් පිරිසකි.මේ පිරිස හමුදා බුද්ධි අංශයේ සේවයේ නිරතව සිටියදී මෙලෝ රහක් නැති කණ්ඩායමකි.සක්‍රීය සේවයේ යෙදී සිටියදී හමුදා බුද්ධි සේවාවේ දූෂිතයන් ලෙස හංවඩු වැදී සිටි මේ හාදයන් පැන්ෂන් ගිය විට සුදනන් වීම ගැන දන්නේ මාලිමාවේ හමුදා විශ්‍රාමිකය සංවිධායනය කළ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පමණය.පරණ පුරුද්දට හෙංචයියන් ගේ කේලාම් අහමින් රාජ්‍ය ආරක්ෂාව තහවුරු කරන්නට නොහැකි බව අපි උන්නැහේට කියමු.
සැබවින්ම මෙරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අනුර දිසානායක ආරක්ෂක අංශවල පොලීසියේ හා බුද්ධි සේවාවන් තුළ පවතින බරපතල දුර්වලතාවන්ට වග කිව යුතුය.අපට ඒ පිළිබඳව පවතින බිය හා සැකය සාධරණය.ඒ මන්ද යත් බුද්ධි සේවාවන් තුළ පවතින දුර්වලතා හේතුවෙන් රට තුළ තවත් පාස්කු ප්‍රාහාරයකට සමාන ප්‍රහාරයක් එල්ල විය හැකි නිසාය.
මෙහිදී අනුර දිසානායක ජනපතිවරයා වහාම කළ යුත්තේ ආරක්ෂක උපදේශකවරුන් පත් කර ගැනීමය.
තමන් යටතේ සිටින පොලිස්පතිට රාජකාරිය පවරා ඔහුගේ කෙරුවාවන් ගැන ඔහුම පවසන දේ අසා චූන් එකේ සිටියාට කෙල වෙන දවසට කෙල වන්නේ තමන්ට පමණක් නොවන බව ජනපතිවරයා තේරුම් ගත යුතුය.පොලිස්පතිවරයා තමන්ට හිතවත් සට්ටැඹියන් කිහිප දෙනෙකු හුරතල් කරමින් අමු පිස්සුවක් කෙලමින් සිටී.මේ පිස්සුවේ හොඳම එක ආණ්ඩුවට දැනෙනු ඇත්තේ මේ වන විට පොලීසි වලින් කුදලා ගෙන යන කුඩ්ඩන් යැයි පැවසෙන චුදිතයන් සන්තකයේ තිබී අධිකරණයට ඉදිරිපත් කෙරෙන කුඩු හදුන්කූරු හෝ මදුරු කොයිල් කුඩු බවට රස පරීක්ෂක වාර්තා එන විටය.ඒ අතරේ බොහෝ ඡේයෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වෙනදාටත් වඩා මාර ආතල් ගනිමින් සිටී.
ඒ ඔවුන්ගේ විෂමාචාරයන් ගැන සොයා බලන දේශපාලන අධිකාරියක් නැති නිසාවෙනි.එය හරියටම දාර පට්ටි ගොන් නාම්බන් පිං හංවඩුව ගසා නිදහසේ ඉන්නට ඉඩ හැරියා වැනි ආතල් එකකි.අප මේවා ලියන්නේ ආන්ඩුව සමග ඇරියස් කවර් කර ගැනීමට නොවේ.මේ සියළු තොරතුරු අපට දෙන්නේ හමුදා හා පොලිස් සේවාවේ කොන්ද පණ ඇති ඡ්‍යෙෂ්ඨයන්ටය.ඔවුන් සිය සේවාව තුළදී ආරක්ෂා කර ගෙන සිටින කීර්ති නාමය හා පෞරෂය ගැන සිතන විට ඔවුන් අප වෙත සිදුකරන අනාවරණය කිරීම් බොරු යැයි ප්‍රතික්ශේප කරන්නටද නොහැකිය.
අප විමතියට පත් වන්නේ හැට හුටාමාරක් බුද්ධි සේවාවන් තිබියදී ජනපතිවරයාට මේ තොරතුරු වාර්තා නොවීම ගැනය.ඒ නිසාම මෙරට ආරක්ෂාව තුළ විශාල අංජබජලයක් ඇති බව නම් අපි දැඩි ලෙස විශ්වාස කරමු.
( ආරක්ෂක වාර්ථාකරු)

