බස්නාහිර ආණ්ඩුකාරගේ හොරුන්ට ඇති ලැදියාව හා මාලිමා ආණ්ඩුවේ දූෂණ විරෝධී පිළිවෙත

බරපතළ මූල්‍ය අක්‍රමිකතා අනාවරණය වීම හේතුවෙන් කොළඹ කලාප කාරයාලයට අනුයුක්ත කරනු ලැබු කොළඹ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය වන තුෂාරි ද සිල්වා යන අය, බස්නාහිර පලාත් ආණ්ඩුකාර හනීප් යූසුෆ් යන අයගේ සහයෝගයෙන් බස්නාහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය වන දර්ශනී ඉද්දමල්ගොඩ ගේ නියෝගය අනුව නුගේගොඩ සමුද්‍රදේවි ප්‍රාථමික විද්‍යාලයට අනුයුක්ත කර ඇත.

මාලිමා ආණ්ඩුව දූෂණ විරෝධි බව පැවැසුවද කොළඹ අධ්‍යාපන කළාපයේ පාසල් තුල සිදුවන මූල්‍ය අක්‍රමිකතා වැනි කටයුතු වලදී, එම ආණ්ඩුවේ බලධරයන් දූෂිතයන් ආරක්ෂා කිරීම බරපතළ ගැටළුවකි.

බස්නාහිර පලාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය  විසින්, විදුහල්පතිනි තුෂාරි ද සිල්වා ගේ මූල්‍ය අක්‍රමිකතා විසඳා ගන්නා තුරු පාසල් පද්ධතියෙන් ඉවත් කර කලාපයේ රදවා තබමින් ලබාදුන් නියෝගය පවා  නොසලකා හරිමින් බස්නාහිර පලාත් නව අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය විසින් ඇයව සමුද්‍රදේවි විදුහලට පත්කරමින්  ගත් මෙම හිරිකිත ක්‍රියාමාර්ගය ගැන සොයා බැලීමේ දී තහවුරු වුයේ ඉද්මල්ගොඩ හා තුෂාරි ද සිල්වා යනු නෑනා වරුන් බවය.

තනතුර අවභාවිත කරමින් ඥාතීත්වය පෙරට දමා සිදුකළ මෙම අනීතික පත්වීම සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් ද නිහඬව සිටිනුයේ දුෂිතයන් හා ගණුදෙණුව ඊට වඩා වැදගත් වු හෙයිනි.

තුෂාරි ද සිල්වා යනු කොළඹ ශ්‍රී සංඝමිත්තා විද්‍යාලයේ  විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් බරපතළ මුල්‍ය අක්‍රමිකතා රැසක් සිදු සිදුකළ අයෙකි.

ඇය විසින් 2025 වර්ෂයේ ශිෂ්‍යාවන්  ඇතුළත් කර ගැනීමේදී චක්‍රලේඛයට පටහැනිව දෙමාපියන් ගෙන් අල්ලස් ලෙස රුපියල් 425,000 ක මුදලක් ලබාගෙන තිබුණි.

එමෙන්ම පාසලේ විවිධ භාහිර ක්‍රියාකාරකම් සඳහා දෙමාපියන්ගෙන් මුදල් හා භාණ්ඩ ලබාගෙන තිබුණි. ඒවා කිසිවක් පාසලට ලැබී නොතිබුණ අතර ලබාගත් මුදල් පාසල් සංවර්ධන සමිති ගිණුමෙහි හෝ තැන්පත් කර නොතිබිණි.

එමෙන්ම කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස සේවයක් කර විශ්‍රාම ගොස් සිටි ජී. එන්. සිල්වාගේ නිල මුද්‍රාව සහිතව රුපියල් 417,500/= ක මුදලක් සම්බන්ධයෙන් භාණ්ඩ හා උපකරණ බාර ගැනීමේ පත්‍රිකාවක් නිකුත් කර තිබුණි.

නිලධාරියකු මිශ්‍රාම ගිය හෝ සේවයෙන් ඉවත් වූ පසු එකී නිලධාරියාගේ නිල මුද්‍රාව සහිත ලේඛන භාවිතයට ගැනීම නොකළ යුත්තකි. නමුත් සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය එම අක්‍රමිකතාව සිදුකර තිබුණි

2024 මාර්තු 14 වන දින සහකාර විදුහල්පතිගේ අත්සනින් නිකුත් කර තිබූ අනු අංක  048 දරණ භාණ්ඩ/ උපකරණ භාර ගැනීමේ පත්‍රිකාවේ ක්‍රීඩා උත්සවයට දරුවන්ගේ ත්‍යාග ලෙස සඳහන් කර රු. 160,000/= ක් වටිනාකම ලෙස දක්වා තිබුනද එලෙස ලබා දුන් තෑගි කවරේද යන්න සඳහන් නොකරමින් සැලකිය යුතු මුදලක් වංචා කර තිබුණ බව ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම ඇය විසින් අවස්ථා රැසක දී දෙමාපියන් ලබාදුන් මුදල් වංචා කර ඇති  බව අණාවරනය වේ. මේ සම්බන්ධයෙන් ලද පැමිණිලි මත  ජාතික විගණන කාර්ලය කල විගණනයේ දී මේ බව අනාවරණය ව තිබේ.

ඇය විසින් විවිධ දෑ යෝජනා කරමින් හා සංවර්ධන වැඩසටන් ගැන පවසමින් අවස්ථා කිහිපයක දී මේ අයුරින්  රු.1,055,000 ක මුදලක් ලබාගෙන ඇති අතර ඒවා පාසල් සංවර්ධන ගිණුමේ හෝ  ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුමේ හෝ නොමැති බව නියෝජ්‍ය විගණකාධිපති ආර්. ජී. හෙට්ටිආරච්චි මහතා විසින් කරනු ලැබු විගණනයේ දී තවදුරටත් තහවුරු වී ඇත.

ඊට අමතරව ඇය විසින් විවිධ කටයුතු සඳහා මුදල් ලබා ගනිමින් සිදුකළ විෂමාචාර ක්‍රියා රැසක් ද අනාවරණය වි ඇත. එනම් පිරිත් පින්කමට අදාළව පළතුරු වට්ටි ලබා ගැනීම සඳහා රුපියල් පනස් දහසක් ද  ඇතුළුව තවත් වැඩසටහන් රැසක් සඳහා එකතු කරනු ලැබූ රු. 410,000 ක මුදලක් ද පාසල් පාසල් සංවර්ධන සමිති ගිණුමේ නොමැති බව වාර්තා වේ.

එමෙන්ම වට්සැප් සමුහ  හරහා ද ඇය විසින් මුදල් එකතු කර ඇත.

ලැජ්ජා සහගතම කරුණ වන්නේ විදුහල්පතිනියගේ සැමියාගේ අවමගුල් උත්සවය සඳහා මෙන්ම වර්ෂ පූර්ණ පිරිත් පින්කම සඳහාද පාසලේ එක් ශ්‍රේණියකින් රුපියල් 6000 බැගින් එකතු කර තිබීමයි. එය පාසලක් විසින් කිසිසේත් නොකළ යුතු කටයුත්තක් බව ජාතික විගණන කාර්යාලයේ විගණන නිලධාරි විසින් නිර්දේශ කර ඇත.

එමෙන්ම පාසලට භාණ්ඩ මිලදී ගැනීමේදී lady j ආයතනයෙන් එම ආයතනයේ අභ්‍යන්තරික ගෙවීම් සඳහා භාවිතා වන ලියවිල්ලක් බිල්පතක් ලෙස ඉදිරිපත් කර රු. 158,138/= ක මුදලක් සාවද්‍ය ගෙවීමක් සඳහා අනුමැතියක් ලබා දෙන පරිදි ක්‍රියාකර ඇත. එම ආයතනයේම කළමනාකරුගේ සහයෙන් lady j ආයතනයට මුදල් ගෙවූ බව සනාථ කරන කුවිතාන්සි ලෙස දක්වමින් පාසල් සංවර්ධන සමිති ගිණුමෙහි රු. 166,138/= ක මුදලක් සාවද්‍ය පරිහරණයට යොදාගෙන ඇත

මෙවන් මූල්‍ය අක්‍රමිකතා හා දූෂිත ක්‍රියා රැසකින් දූෂිත විදුහල්පතිනියක ලෙස විගණනයේ දී පවා තහවුරු වු සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන තුෂාරි ද සිල්වා ගේ එම ක්‍රියා සම්බන්ධයෙන් විධිමත් නීතිමය පියවරක් අනුගමනය නොකර තවත් පාසලක් භාර දෙනු ලැබීම මාලිමා ආණ්ඩුවේ දූෂණ විරෝධී ක්‍රියා පිළිවෙත හා ලැදියාවන් පිළිබඳ ප්‍රශ්නයකි.

බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයාගේ ආශිර්වාදය හා  ඇගේ නෑනන්ඩිය වන බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ ගේ සහය අඛණ්ඩව ලැබීම බරපතලව විමසා බැලිය යුතු තත්ත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *