රනිල් අණිවාර්යයෙන්ම හිරගෙට. නියෝගය ඉංදියාව හරහා ඇමරිකාවෙන්. චෝදනාව මාලිමාවේ ජනාධිපති කෙනෙකු සහ ආණ්ඩුවක් බිහිකිරිමට පාර කැපීම.

රනිල් වික්‍රමසිංහ 2022 පැවති ජනතා අරගලයට පිංසිඳුවන්නට කිසි දිනක ඔහුට ලගා වීමට නොහැකි වූ ජනාධිපති ධූරයට පත්විණි. ඉන් පසුව ඔහු පළමු වෙන්ම සිදුකල කාර්ය වූයේ අරගලයේ යෙදී සිටි සියළුම දෙනාට තිරස්චීන ලෙස පොලීසිය සහ හමුදාව යොදවා පහරදී එලවා දැමීමයි. එම පහරදීම සිදුවන විට වත්මන් ආණ්ඩුව නියෝජනය කරමින් අරගලයට එකව සිටි එරංග ගුණසේකරගේ නායකත්වයන් යුත් සමාජවාදී තරුණ සංගමය අරගල භූමිය මගහැර ගොස් සිටියේය. අරගල භූමියේ තනිවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කණ්ඩායම සහ ස්වාධීන කණ්ඩායම් පහර කැමට ලක්විය.

රනිල් වික්‍රමසිංහ එම පහර දීමට අනුබල දුන්නේ එවකට ලංකාවේ සිටි ඇමරිකාණු තානාපතිනිය වූ ජුලී චෑන්‍ ය. ඊට පෙර ගෝඨාභය රාජපක්ෂට අරගලයට පහර නොදෙන ලෙසට බලපෑම් කර තිබුනේ ද ඇයයි. එයින් ගම්‍ය වන්නේ ගෝඨාභය රාජපක්ෂ එලවීමේ මූලික අවශ්‍යතාවය තිබුනේ ඇමරිකාවට බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවේ ඉන්දවීමට මූලික කාර්යබාරය ඉටුකලේ ද එවකට ලංකාවේ සිටි ඇමරිකාණු තානාපතිනිය වූ අලෙයිලා බී ටිප්ලික්ස් නොහොත් ලොවම හඳුනන ටිපෙක්ස් විසිනි. ඇය කල කාර්යය බාරය කොතරම්ද යත් ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පුරවැසි භාවය පිළිබදව ප්‍රශ්න කරමින් ගාමිණී වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර අභියාචනාධිකරණයට ඉදිරිපත් කල පෙත්සමේ තීන්දුව ගෝඨාභය රාජපක්ෂට පක්ෂව දීමට තරම් බලගතු විය. වාචික තීන්දුව ලබාදී දින 14 ක් යන්නට පෙර ලිඛිත තීන්දුව අධිකරණය වෙත ඉදිරිපත් කළයුතු වුවද එයද මග හරින ලෙසට විනිසුරුවන්ට ඇමරිකන් තානාපතිනිය විසින් දන්වා තිබුණි. ජනාධිපතිවරණය පැවති 2019 නොවැම්බර් මස 16 වෙනි දින වන විටත් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාණු පුරවැසියෙකි. ඔහුගේ ඇමරිකාණු පුරවැසි භාවය ඉවත් වන්නේ2020 මාර්තු 30 වෙනි දින ය. ගෝඨාභය රාජපක්ෂව ඇමරිකාවේ මැදිහත් වීම මත ලංකාවේ ජනාධිපති කරවන්නේම එම්සීසී ආධාර යටතේ කටුනායක සිට ත්‍රිකුණාමලය දක්වා ඉඳිකිරීමට නියමිතව තිබූ කොරිඩෝව සෑදීමටත් ඉන්පසුව පිලිපීනයෙන් ඉවත් කිරීමට සිටි ඇමරිකාණු නාවික කදවුර ත්‍රිකුණාමලයේ ස්ථාපිත කිරීමටත්‍ ය.

ගෝඨාභය රාජපක්ෂ ඒ සදහා කැළෑ කපමින් ඩ්‍රෝන බලගනයක් යුධහමුදාවට හදුන්වා දෙමින් වටපිටාව සකස්කරමින් සිටියද එම්සීසී ගිවිසුමට අත තියන්නට ඔහු වටා සිටි අයගෙන් කිසිදු සහයක් ඔහුට නොලැබුණි. එයට විශේෂ හේතුවක් විය. එනම් ගෝඨාභය ලබාගත් ජන්ද ප්‍රතිශතයෙන් 5% කට වැඩි ප්‍රමාණයක් ලැබුණේ ඍජුවම එම්සීසී ගිවිසුම අත්සන් නොකරන ලෙසටය. ඒ සදහා පෙරමුණ ගත්තේ උපකාරක පන්ති ගුරුවරයකු වූ තිස්ස ජනනායක සහ වෛද්‍ය සීතා අරඹේපොල යි. තිස්ස ජනනායක සිතියම් අඳිමින් එම්සීසී ගිවිසුම අත්සන් කර කොරිඩෝව සෑදු පසුව ලංකාව දෙකට බෙඳෙන ආකාරය ජීව විද්‍යාව ඉගෙන ගන්නා දරුවන් හරහා රටටම කීවෙිය. යූටියුබ් හරහා වීඩියෝ පවා මුදා හැරියාය. වෛද්‍ය සීතා අරඹේපොල ප්‍රසිද්ධ වේදීකාවේදී ප්‍රශ්න කරේ ඇමරිකන්කාරයන් ලංකාවට එන්නේ වැටමාර පොළු කන්නද කියාය.

බලයට පත්වී වසර දෙකක් ගියද එම්සීසී ගිවිසුම ගැන සුපැහැදිලි ප්‍රතිචාරයක් ගෝඨාභය ගෙන් ඇමරිකාව වෙත නොලැබුන නිසා ගෝඨාභය එලවා දැමීමට ඇමරිකාව තීරණය කිරීම මුල පිරුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අදටත් මාසික දීමනා ලබන මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හරහාය.

ඒ පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය ඉක්මවා ගොස් ඔහුගේ තනි කැමැත්තට ලංකාව බංකොලොත් රාජ්‍යය ක් බවට 2022 අප්‍රේල් මස 12 වෙනි දින ප්‍රකාශයට පත්කරවීමෙනි. එසේ කර ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩයාමට උදව් කරන මුවාවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උගුලට ලංකාව කොටුකර ගත්තේය. එහි දෙවෙනි වටයට රනිල් වික්‍රමසිංහ ලවා අයිඑම්එෆ් සමග අත්සන් කල ගිවිසුම පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කරවා ගත්තේය. වත්මන් රජයේද එකම ගැලවුම් කාරයා අයිඑම්එෆ් ය.

අරගලය අහබු සිදුවීමක් නොව ඇමරිකාව විසින් කෘතිමව භූමියේ පැලකරන ලද්දකි. අරගලය සදහා රාජ්‍ය නොවන සංවිධාන හරහා මුදල් පොම්ප කරේ ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලය යි. එය ප්‍රසිද්ධ රහසකි. 2022 මැයි 9 වෙනිදා ඇතිවූ බොහෝ සිදුවීම් ඕපපාතික ඒවා නොව සැලසුම් සහගතව සිදුවූ ඒවාය. එවකට අගමැති මහින්ද රාජපක්ෂ ඉවත්වූ විට අගමැති ධූරයට රනිල් වික්‍රමසිංහ පත් කිරීම පසුපස සිටියේද ඇමරිකන් තානාපතිනියයි. එතැන් සිට ගෝඨාභය රාජපක්ෂ එලවීමත් ඉන් පසුව ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනටත් එතැනින් තායිලන්තයත් යැවීම සම්භන්ධිකරන කලේ ඇමරිකාවයි. ගෝඨාභය රාජපක්ෂට ඇමරිකාවට ඇතුල්වීමට අවසර නොදෙන බවට ඇමරිකාව ප්‍රචාරය කලේ ලෝකයා රැවටීමටය.

ශ්‍රී ලංකාව ගොදුරු වෙමින් පැවති ආර්ථික අවපාතයෙන් ගොඩ ගැනීමට රනිල් විශාල කාර්යයභාරයක් සිදුකල බවට විපක්ෂ ලවා කියන තැනට ගෙනාවේ ද ඇමරිකන් තානාපති කාර්යාලය යි.

2023 මාර්තු මස 9 වෙනි දිනට දින නියම කල පලාත් පාලන මැතිවරණය ඒ අයුරින් පවත්වන ලෙසට රනිල් වික්‍රමසිංහට ඇමරිකන් තානාපතිනිය උපදෙස් ලබා දුන්නද රනිල් එම උපදේශය පිළි නොගෙන ජන්දය අවලංගු කරේ කල් දමන්න ජන්දයක් නෑ කියමිනි.

ඇමරිකාව ජන්දය පවත්වන ලෙසට කීවේ එම මොහොතේ පලාත් පාලන ජන්දය පැවැත්වූයේ නම් ජාතික ජනබලවේගට එකම පලාත් පාලන ආයතනයක හෝ බලය තනිවම පිහිටුවීමට නොහැකි බවට ඔවුන්ගේ බුද්ධි අංශ ලබා දී තිබූ බුද්ධි තොරතුරු අනුවය. ඊටපසුව ඇමරිකන් තානාපතිනිය රනිල් වික්‍රමසිංහට උපදෙස් ලබාදී ඇත්තේ ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය කැදවන ලෙසත් ඉන්පසුව ජාතික ජනබලවේගය අතහැර අනෙක් පක්ෂ සමග එකතුවී ජාතික ආණ්ඩුවක් පිහිටුවා අනතුරුව ජනාධිපතිවරණයට යන ලෙසයි.

 ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ලබා දුන් නාම යෝජනා ඉල්ලා අස්කරගෙන සජිත් ප්‍රේමදාසට සහය ලබා දෙන ලෙසට ඇමරිකන් තානාපතිනිය කල අවසාන ඉල්ලීමද රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිපලය වූයේ 50% ක සීමාව ඉක්මවා යාමට නොහැකි වූ ජාතික ජන බලවේගය නියෝජනය කල අනුර කුමාර දිසානායක ජනාධිපති විය. ඉන් පසුව ඔහු කැදවූ මහමැතිවරණයේදී ඔහුගේම වචන අනුව කලාවැවේ සොරොව්ව කැඩුවා සේ ලොවෙත් නැති වෙන්න දිනුවෙිය.ඒ 2/3 බලයත් ඉක්මවා මන්ත්‍රී ධූර ලබාගනිමිනි.

ඇමරිකාව අකමැති කණ්ඩායමක් ලංකාවේ බලයට පත්වූයේ රනිල් වික්‍රමසිංහගේ වැරදි තීරණ නිසාවෙන් ඔහුට ඌරාගේ මාළු ඌරාගේ ඇගේම තියා කපන නියායෙන් මෙම ආණ්ඩුව  යටතේම රනිල් වික්‍රමසිංහව සිපිරිගෙට යැවීමට ඇමරිකාවේ තීරණය ලංකාවට දැනුම් දෙන්නේ ඉංදියාව හරහාය. ඉංදියාවට ද රනිල් වික්‍රමසිංහ සමග පරණ කෝන්තරයක් ඇත. ඒ 2015/2019 යහපාලන ආණ්ඩුව  සමයේ හම්බන්තොට වරාය ඔවුන්ට ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කොට වරාය චීනයට ලබා දීමයි.

ඉංදියාව බෙලිකපන්නේ දිය රෙද්දෙනි. 2011 දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාව මහින්ද රාජපක්ෂ ලවා හිරේ යැවීම සම්පූර්ණයෙන්ම සැලසුම් කලේ ඉංදියාවේ රෝ ඔත්තු සේවයයි. ඒ සදහා ඉංදීය රජයේ පූර්ණ අනුග්‍රහය හිමිවිය. ඒ යුද්ධයේ අවසාන මොහොතේ හමුදාවට බාර වූ රෝ සංවිධානයේ ඒජන්තයන් 40 ක් මරා දමන ලෙසට සරත් ෆොන්සේකා කල නියෝගයයි. ක්ෂනිකව ඉංදීය මහ කොමසාරිස් කාර්යාලය ක්‍රියාත්මක නොවන්න එම ඒජන්තයන් 40 ම අනිවාර්යයෙන්ම මරා දමන්නේය. මහ කොමසාරිස් කාර්යාලයේ ක්ෂනික ක්‍රියාත්මක වීම නිසා ඔවුන් 40 දෙනාම නිරුපද්‍රිතව ඉංදියාවට රැගෙන ගියේය.

ඉංදියාවට කිරීමට ගිය අලාභයට ෆොන්සේකා ගෙන් ඉංදියාව වාඩුව ගත්තේ 2009 ඔක්තෝබර් 2 වන දින සරත් ෆොන්සේකා හමුදා කුමන්ත්‍රණයක් කිරීමට යන බවත් එසේ කරහොත් මහින්ද රාජපක්ෂ රජය ආරක්ෂා කිරීමට ඉංදීය හමුදා එවන බව එවකට ඉංදීය අගමැති මංමෝහන් සිං මහින්ද රාජපක්ෂ වෙත පුද්ගලිකව දුරකතනයෙන් දන්වා තිබුණි. මෙම කුමන්ත්‍රණයක් පිළිබදව සරත් ෆොන්සේකා විසින් සුදු කොඩි නඩුවේදී ඔහු විසින් දින 6 ක් ලබාදෙන ලද ඔහුගේ විත්ති වාචිකයේ දී සදහන් කර ඇත.

සරත් ෆොන්සේකා මෙන් රනිල් වික්‍රමසිංහ ද හිරේ ගොස් නිදහස් වෙනු ඇත. ඒත් ඇමරිකාවේ සහ ඉංදියාවේ ග්‍රහනයෙන් ලංකාව නිදහස් වන්නේ කවදාද යන්න කිසිවෙකුටත් කිව නොහැක.

(විශේෂ ලිවුම්කරුවෙකු විසිණි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *