ජවිපෙ හැමදාම කරේ බොරුවද?

ජනතා විමුක්ති පෙරමුණ  ආරම්භ වන්නේ 1965 මැයි මස  14 වෙනිදාය. නැතහොත් වෙසක් පුර පසළොස්වක දිනය. එසේ ආරම්භ වන්නේ එකල රටේ තිබූ ධනවාදී පක්ෂ වලට ඕනෑ ලෙසට නැටවෙමින් තිබූ මෙරට වාමාංශික පක්ෂ වලට ඍජු උත්තරයක් ලෙසටය. එය විප්ලවීය පක්ෂයක් වීමට බලපෑ තවත් විශේෂ හේතුවක් වූයේය. යල් පැනගිය හැට පැන්න නායකයන්ට එරෙහිව ෆිදෙල් කස්ත්‍රෝ ,චේ ගුවේරා ප්‍රමුඛ තරුණ නායකයින් කණ්ඩායමක් මෙහෙයවූ අති සාර්ථක  විප්ලවයක් මගින් කියුබාවේ සමාජවාදී රජයක් බිහි කිරීමයි.

 එම කාළයතුල ලොව කොතනක විප්ලවීය කණ්ඩායමක් සිටියේද ඔවුන්ව නිරායාසයෙන් ම චේ ගුවේරා කණ්ඩායම ලෙස නම් කෙරිණි. ඒ  සෑම විප්ලවීය කණ්ඩායමකම පරමාදර්ශය වූයේ කියුබාවේ නායකයා වූ ෆිදෙල් කස්ත්‍රෝ නොව ඔහුගේ හොඳම සඟයාවූ අර්නස්ට් චේ ගුවේරාය.

ලංකාවේ එකල ‍රටේ සාමාන්‍ය ජනතාව ජවිපෙ සාමාජිකයන් හැදින්වූයේ චේ ගුවේරා කාරයන් ලෙසය. ඒත් එවකට සිටි මහළු සමාජවාදී සහ කොමියුනිස්ට් ( නමට පමණක් සිටි) නායකයන් කීවේ ජවිපෙ යනු සීඅයිඒ කෙනමක් බවයි. අවුරුදු 60 ක ඉතිහාසයක් ඇති ජවිපෙ තුල වසර 24 ක් නායකත්වය දැරුවේ අදටත් ජවිපෙ අද්ධ්‍යාත්මික නායකයා ලෙස සලකන පටබැඳිගේ දොන් නන්දසිරි නොහොත් රෝහණ විජේවීරය.

එකල සිටි යල් පැනගිය නායකයන්ට වඩා තරුණ විජේවීර තර්කානුකූලව ඉදිරිපත් කල කරුණු වලට තරුණ සිත් පමණක් නොව මැදිවියේ අයද බන්ධනය විය. එහිදී තමා වෙත ඇදෙන කාඩරය රදවා තබා ගැනීමටත් අනෙක් පක්ෂමෙන් නොව ඔවුන්ව දැනුමින් සන්නද්ධ කිරීමටත් විජේවීර කඳිම උපායක් යෙදවිය.

ඒ පංති 5 ක් මගින් ඔවුන්ගේ දැනුම සන්නද්ධ කිරීමත් ඔවුන් ලවා පැරණි වාමාංශික පක්ෂවලට ලැදි අය තර්කානුකූලව නිශේද කිරීමත් කළේය. එම පංති 5 මෙසේය.

1  ලංකාවේ ආර්ථික අර්බුදය

2  ඉංදියාණු ව්‍යාප්ත වාදය

3  ලංකාවේ වාමාංශික ව්‍යාපාරය

4  නිදහස යනු කුමක්ද?

5 ලාංකික විප්ලවය ගතයුතු මග

එසේ දේශපාලන පංති පවත්වමින් දැනුමින් සන්නද්ධ වූ පිරිස ඕනෑම අවස්ථාවක විප්ලවයක් කිරීම සදහා ආයුධ පුහුණුවෙන්ද සන්නද්ධ කළේය. අත් බෝම්බ සෑදීම අවි ආයුධ පරිහරණය ( 303 තුවක්කු , බෝර තුවක්කු සහ කොටන තුවක්කු ) එහි කූඨාප්‍රාප්තිය වූයේ 1971අප්‍රේල් 05 දියත් වූ සන්නද්ධ අරගලයයි. එම අරගලය  දියත් වන විට රෝහණ විජේවීර සිටියේ යාපනේ පිහිටි හැමන් හිල් සිරගෙදරය.

අරගලය අසාර්ථක විය. එය මෙහෙයවූ නායකයන් කීපදෙනෙකු වරප්‍රසාද සහ වරදානයන් වෙනුවෙන් සන්නද්ධ අරගලය පාවා දී තිබුණි. කොතරම් දැනුමින් සන්නද්ධ වී සිටියද යුධහමුදාව සහ පොලීසිය සමග මුහුණට මුහුණලා සටන් කිරීමේ නිපුන තාවය නොතිබීම බොහෝ ස්ථානයන්හි පරාජයට හේතු විය. අවසානයේ දී සිදුවූයේ සිරගතව සිටි රෝහණ විජේවීර ඇතුළු නායකයන්ට එරෙහිව රටේ පැවති අධිකරණය වෙනුවට අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව යනුවෙන් අධිකරණයේ බලතල සහිත පත්කල කොමිෂන් සභාවක් මගින් දඩුවම් නියම කිරීමය.

එවකට අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ සිරිමාවෝ බංඩාරනායක අත්ඩංගුවට පත් අනෙක් තරුණ තරුණියන්ව රට පුරා තෝරාගත් ස්ථාන වල ආරම්භ කරන ලද පුනරුත්ථාපන කදවුරු හරහා පුනරුත්ථාපනය කරවීය. අරගලය ගැන පශ්චාත් වගවීම පිළිබදව පැවති සංවාදයේ ප්‍රතිපලයක් ලෙසට එංගලන්තයට ලංකාව වෙත ලබාදී තිබූ දේශපාලන නිදහස වෙනුවට පූර්ණ දේශපාලන නිදහස සහිත ජනරජයක් දීමට සිදුවිය.

 අක්කර සිය දහස් ගනනින් රටේ ඉඩම් අත්පත් කරගෙන සිටි ප්‍රභූ පංතියේ ඉඩම් සීමා කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ආරම්භවී අක්කර දහස් ගනන් තිබූ ප්‍රභූන් ගේ ඉඩම් ගොඩ අක්කර 50 ටත් මඩ අක්කර 50 ටත් සීමාවිය. ඒවා 71 ආයුධ සන්නද්ධ අරගලයේ ප්‍රතිපල ය.

1977 වසරේ ජූලි 21 පැවති මහා මැතිවරණයෙන් ජේආර් ජයවර්ධන ගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය 5/6 ක බලයක් ලබා රට පාලනය බාර ගත් අතර අපරාධ යුක්ති කොමිෂන් සභාව යටතේ සිර දඩුවම් විඳි එජාපය ට ලැදි ව්‍යාපාරිකයන් නිදහස් කර ගැනීමට ජේආර් ට අවශ්‍ය වූ බැවින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවක් හරහා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව අහෝසි කරමින් එයින් ලබා දීතිබූ සියළුම තීන්දු තීරණ නිශ්ක්‍රීය කළේය. ඒ අනුව රෝහණ විජේවීර ඇතුළු 71 සන්නද්ධ අරගලයට දායකවී සිරදඬුවම් විඳිමින් සිටි සියළුම දෙනා කොන්දේසි විරහිතව නිදහස් විය.

නිදහස්වූ දිනයේම කොළඹ නගර සභා පිටියේදී රෝහණ විජේවීර සහභාගී වූ අති දැවැන්ත දේශපාලන රැළියක් පැවැත්විණි. ඔවුගේ ප්‍රධාන හතුරා වූයේ ශ්‍රීලනිපය ඇතුළු විපක්ෂ විය. එහිදී ඔවුන් මුලින් තම පාක්ෂිකයන් දැනුමින් සන්නද්ධ කල පංති 5 වෙනස් කළේය.

1   ධනේශ්වර ක්‍රමයේ අර්බුදය

2   බොල්ෂෙවික් ව්‍යාපාරය

3    ලාංකික විප්ලවයේ කාර්ය්භාරය

4    ලාංකික විප්ලවය ගතයුතු මග

5    බොල්ෂෙවික් පක්ෂය ගොඩනැගීම යනුවෙනි .

එම පන්ති 5 සාර්ථකව හැදෑරූ අයට පක්ෂයේ ඉතිහාසය සහ පක්ෂය තුල වැඩ කිරීමේ කලාව ඉගැන්විය.

වැඩ කිරීමේ කලාව යටතේ රටේ වත්මන් දේශපාලන තත්වය, වැඩකරන ක්‍රමය ,වැඩ කිරීමේදී භාවිතාකරන උපක්‍රම සහ උපායක් ගැනද ඉගැන්වීය.

මේ සියළුම පංති ප්‍රගුණකල අයට විශේෂ වූ අධ්‍යපන කදවුරු පැවැත්වූ අතර එහිදී පෙර ඉගැන්වූ දෑ තවත් ගැඹුරින් සාකච්ඡා කෙරිනි. ඉන් පසුව එයට සහභාගී වූ බොහෝමයක් දෙනා පක්ෂයේ පූර්ණ කාළීනයන් ලෙස භවතීෂ්ම විය. ඔවුන්ට යැපීමේ දීමනාවක් පක්ෂය විසින් හෝ පක්ෂයට ආධාර දෙන අය විසින් මාසිකව ලබාදෙන ලදි .

රෝහණ විජේවීර ඇතුළු නායකයන් නිදහස් වූ පසුව 1978 වසරේ සිට 1983 දක්වා සෑම වසරකම අප්‍රේල් විරුවන් සිහිකිරීම ඉතාමත් උත්කර්ෂවත් ලෙස සිදුකලාය. එම කාළය තුල පැවති මැයි රැළිද ඊට නොදෙවෙනි විය.

1980 ජූලි මසදී දී  ජවිපෙ හැර ශ්‍රීලනිපය ප්‍රමුඛ අනෙක් වාමාංශික පක්ෂ විසින් දිනකට රුපියල් 10 වැටුප් වැඩිකරන ලෙස මූලික ඉල්ලීම සහ තවත් ඉල්ලීම් පෙරටුකරගෙන මහා වැඩ වර්ජනයක් කැදවීය. ආණ්ඩුව වර්ජකයන්ට කිසිම බුරුලක් නොදී නියමිත ලෙස රාජකාරි සදහා නොපැමිණි සියළුම දෙනාවම සේවය අතහැර ගියාසේ සලකා කටයුතු කරන බවට තර්ජනය කළේය. ජවිපෙ රගපෑවේ කපටි නරියාගේ භූමිකාවයි. ඔවුන් කරේ ජූලි වැඩ වර්ජනය කඩාකප්පල් කර එහි වරද ශ්‍රීලනිප ප්‍රමුඛ අනෙක් වාමාංශික පක්ෂ පිට පටවා අත සෝදාගෙන වීරයා වීමටය. එහි ප්‍රතිපලය වූයේ ජවිපෙ සහ අනෙක් වාමාංශික පක්ෂ අතර සදාකාලික වෛරයක් ඇතිවීමය. බොරදියේ මාළු බෑමට ජවිපෙ තරම් දක්ෂතා ඇති දේශපාලන පක්ෂයක් නැත. තිස්දහසකට  අධික රජයේ සේවකයන්ට රැකියා අහිමිවිය. පුරප්පාඩු පිරවීමේදී යූඑන්පීය ජවිපෙ යම් ප්‍රතිශතයක් රැකියා සදහා බඳවා ගැනීමට ක්‍රියාත්මක විය.

1981 දී මධ්‍යයස්ථ නාට්‍යකරුවන් කණ්ඩායමක් එකතුවී ඉතිහාසගත නාට්‍යයක් නිර්මාණය කළේය. එහි නම “කෝට්ටේ පාර” විය. එහි පූර්ණ චරිත 8 කි . ජේආර් , ප්‍රේමදාස , සිරිමාවෝ, කොල්වින්, ඇන් එම්, රුසියානු පණිවිඩකරුවෙක් ජන්ද දායකයකු සහ රෝහණ විජේවීර ය. විජේවීර ලෙස රඟපෑවේ මාගේ පාසල් මිතුරකු වූ අසේලය. එම නාට්‍ය රඟදැක්වූයේ දර්ශන වාර ප්‍රමාණය 10 කට අඩුය. මුල් දර්ශන වාර තුනම නැරඹීමට මට අවස්ථාව නොමිලේ ලැබුනේ අසේල නිසාය. එම නාට්‍යයේ එක් අවස්ථාවක ජේආර් විජේවීරට කියා සිටින්නේ ” 71 අරගලයේදී මැරුණ කොල්ලෝ කෙල්ලන්ගේ ඇටකටු ගොඩගෙන වේදිකාවක් හදාගෙන ඒකට නැගලා කතා කරපං එතකොට උබේ නිරුවත කාටත් පේන්නේ නෑ” තවත් ජවනිකාවක් වූයේ ජේආර් ජයවර්ධන රෝහණ විජේවීර ව කරත්තය බැඳි ගොනෙකුසේ පාලනය කිරීමයි.

මේ කොටස් දෙකට ජවිපෙ කොතරම් සැළුනාද කිවහොත් ඔවුන්ට ආවේණික ප්‍රචන්ඩත්වය මුදා හැරියේ වේදිකාව වෙත සියඹලාකොල සහ කිතුල් ඇට මිශ්‍ර අශූචි ප්‍රහාර එල්ල කරමිනි. ඒ සදහා කිරුලපන කොලොන්නාව සහ වනාතමුල්ල ප්‍රදේශයන් හි ජවිපෙ කාඩර්වරුන් සහභාගී වී තිබුණි. කීපදෙනෙකු අත් අඩංගුවට පත්විය.  එම වෛරය කොතෙක්ද යත් 1988 දී දේශප්‍රේමීන් විසින් අසේලව ඝාතනය කිරීමට පවා උත්සහ දරා තිබුණි. 88 අප්‍රේල් ලංකවෙන් බැහැර වී පැමිණි නිසා අසේලට කුමක්වූවාදැයි නොදනිමි.

විපක්ෂ කුජීත වූ මහ වැඩ වර්ජනයෙන් පසුව ජවිපෙ ක්‍රියාත්මක වූයේ ඒ වන විට බහුතරයක් වූ සිංහලයන්ගේ විපක්ෂ දේශපාලන පක්ෂය වූ ශ්‍රීලනිපය අභිබවමින් රටේ ප්‍රධාන විපක්ෂයේ භූමිකාව රඟදැක්වීමටය. සිරිමාවෝ බංඩාරණායකගේ ප්‍රජා අයිතිය අහෝසි වීම නිසා විජේවීරට එය තවත් පහසුවිය. තම බලය තහවුරු කර ගැනීමට ජේආර් නොයෙක් උප්පරවැට්ටි දැමීය 1981 හදුන්වාදුන් සංවර්ධන සභා ඉන් එකකි. තම නයිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම නිසා ශ්‍රීලනිපය ප්‍රමුඛ අනෙක් විපක්ෂයේ පක්ෂ සංවර්ධන සභා වර්ජනය කල අතර ජවිපෙ පමණක් කොන්දේසි විරහිතව මැතිවරණයට තරග කලේය. එහිදී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ජවිපෙන් නියෝජිතයන් 13 ක් තේරීපත්විය. ජවිපෙ අනෙක් වාමාංශික දේශපාලන පක්ෂ සමග විරසක නොවන්න මීටත් වඩා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට හැකියාවක් තිබුණි.

 එයට හොඳම උදාහරණය වන්නේ  ජවිපෙ ප්‍රමුඛ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ලංකාවේ මැතිවරණය තුවක්කු පෙන්වා භීෂණය පතුරවා වර්ජනය කරද්දී 1987 දී පැවති පලාත් සභා මැතිවරණ වලදී ශ්‍රී ලංකා මහජන පක්ෂය ශ්‍රී ලංකා මුස්ලිම්  කොංග්‍රසය , යූඑන්පී ය සහ ඊපීආර්එල්එෆ් සංවිධානය සමග කරට කර තරගයක් ලබා දුනි. බස්නාහිර පලාත් සභාවේ සංයුතිය ආණ්ඩුව සහ විපක්ෂ අතර වෙනස වූයේ ආසන දෙකකි.

1987 ජූලි 29 අත්සන් තැබූ ඉන්දු ලංකා සාම ගිවිසුම හරහා ඉන්දීය හමුදාවේ 150000 කට අධික භටයන් පිරිසක් එවකට අති නවීන ආයුධ සමග ලංකාවට ආවේ උතුරු නැගෙනහිර පැවති වර්ගවාදී යුද්ධය සමනය කර රටට ස්ථිර සාමයක් උදාකර ලීමට වුවත් එහි යථාර්ථය වූයේ ඉන්දීය ව්‍යාප්තවාදය පතුරුවා ලීමය. ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි වෙනුවෙන් පැවති පෙළපාලියේදී නාවික සෙබලෙකු විසින් ඔහු අතැතිව තිබූ ගිණි අවියෙන් මාරාන්තික ප්‍රහාරයක් රජීව් ගාන්ධිට එල්ල කළේය. අගමැතිවරයා සමග ගමන් ගත් ආරක්ෂක නිළධාරින් ඉක්මන් නොවන්න ඔහු දරුණු ප්‍රහාරයට ගොදුරු වීමට ඉඩ තිබුණි. අගමැති වරයාට අනතුරක් නොවීය.

 ආක්‍රමණික ඉන්දීය සාම සාධක හමුදාවට එරෙහිව ආයුධ සන්නද්ධ අරගලයක් දියත් කරන බවත් ඒසදහා කීර්ති විජයබාහු යන අයගේ නායකත්වය යටතේ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය සූදානම් බවත් ජවිපෙ විසින් සමාජ ගත කරන ලදි. එහිදී සමාජයේ සෑම ස්ථරයක් ම දෙකට බෙඳුණි. ඒ දේශප්‍රේමින්ට පක්ෂ සහ විපක්ෂ වශයෙනි.

දේශප්‍රේමින්ට පක්ෂ පිරිසට වඩා විරුද්ධ පිරිස වැඩි විය. කොතරම් දක්ෂ ලෙස දේශප්‍රේමීන් ආණ්ඩුවේ මර්ධනකාරී යන්ත්‍රනයට මුහුණ දුන්නද උතුරේ මෙන් දකුණේ දී භාෂා ප්‍රශ්නයක් ආරක්ෂක අංශවෙත නොතිබූ නිසා දේශප්‍රේමීන් වෙත එල්ල වූ ප්‍රතිප්‍රහාර ඉතාමත් දරුණු විය.

 දේශප්‍රේමීන් කොතරම් දක්ෂ කණ්ඩායමක් වුවත් ආරක්ෂාව පිළිබදව ඔවුන් මුහුකුරා ගිය අය නොවේ. 1989 නොවැම්බර් 12 ඩීඑම් ආනන්දා ආරක්ෂක අංශ අත්ඩංගුවට පත්වී පැය 72 ක් යන්නට ප්‍රථම ශාන්ත බංඩාර සෝමවංශ අමරසිංහ සහ උපාලි ජයවීර යන තිදෙනා හැර මුළු දේශපාලන මන්ඩලයේ සියළුම සාමාජිකයන් ඝාතනය කළේය.

ඉතිහාසය පුරාවටම ජවිපෙ ක්‍රියාත්මක වූයේ ඉන්දීය විරෝධී පිරිසක් ලෙසය. ඒත් 87-89 කාළයේ ලංකාව පුරා ඇලවූ ඉනදීය සහ ලංකාවේ ආණ්ඩුවට විරුද්ධ ඕෆ්සෙට් පොස්ස්ටර් මුද්‍රණය කර ගෙන ආවේ ඉන්දියාවෙන්‍ ය. ඉන්දීය රෝ ඔත්තු සේවය හරහා ඔවුන් ආණ්ඩුව සමග රහසේ ගණුදෙනු කළේය. ආණ්ඩුව සමග ජවිපෙ කල බොහෝ රහස් සාකච්ජා වලට විජේවීර වෙනුවෙන් සහභාගී වූයේ ඩීඑම් ආනන්දය. අදාල සාකච්ජා සුචරිතය , අඹන්පොල කහඹිලියා ගොල්ලවත්ත, සහ බොරැල්ලේ සේනානායක හන්දිය අසල ඇති   සේනානායකගේ නිවසේ පැවතිණි. රජය පැත්තෙන් සෑම මොහොතකම සිරිසේන කුරේ සහභාගී වීම සිදුවිය. එයට හේතුවක් තිබුණි. ඒ සෝමවංශ අමරසිංහ ගේ අක්කා විවාහවී සිටියේ සිරිසේන කුරේගේ අයියා සමග වීමයි. විජේවීර මාතලේ උලපනේ වත්තේ සිටින කාලයේ ඔහුට ඕනෑම අවස්ථාවක උදව් කරන ලෙසට මාතලේ පොලීසියට එවකට අමාත්‍ය ඇලික් අළුවිහාරේ උපදෙස් දී තිබුණි. විජේවීර සිටි උලපනේ වත්තේ ගේට්ටුව අසල පොලිස් ජංගම මුර පොතක් පවා යොදා තිබුණි. සෑම දිනකම ජංගම සංචාරයේ නිළධාරින් අත්සන් කර තිබුණි. ඇලික් අළුවිහාරේ එවකට පොලීසියට උපදෙස් දී තිබුනේ අත්තනායක මහත්තයා ජනාධිපති තුමාගේ හොඳම හිතවතකු බැවින් ඔහුව ආරක්ෂා කරන ලෙසයි.

1990 මාර්තු 4 දින ලංකාදීප ඉරිදා සංග්‍රහයට සෞම්‍යමූර්ති තොන්ඩමන් ලබා දී තිබූ සාකච්ජාවේදී ඔහු මාධ්‍යවේදියා අමතා කියා තිබුනේ අපි ජවිපෙ නායකයන් සමග දිගටම සාකච්ජා කරා එක් අයෙක් හැර අන් සියළුම දෙනා සටන නවතා දැමීමට කැමැත්ත පලකර තිබූ බවයි. පසුව සොයා බැලීමේදී පැහැදිලි වුයේ ගමනායක හැර විජේවීර ඇතුළු සියළුම දෙනා සටන අත් හැරීමට කැමත්තෙන් සිටි බවයි. සෝමවංශ අමරසිංහ හැර අන් සියළුම ජවිපෙ නායකයන් ඝාතනය කල පසු මීගමුවේ නිවසක සිටි සෝමවංශව ඉතා ලේසියෙන් අත්ඩංගුවට ගැනීමට තිබූ අවස්ථාවේ එය වලක්වා ඔහුට ඉන්දියාවට පලායාමටත් එතැන් සිට ඉන්දීය රජයේ සහයෝගය මත ප්‍රංශයට පලා යාමට සියළු කටයුතු සම්පාදනය කලේ සිරිසේන කුරේය.

තම කාඩරයට ඉන්දීය විරෝධීන් වන්නට උපදෙස් දෙන ජවිපෙ නායකයන් හැමදාම කරේ ඉන්දියාව සමග හොරට ගනුදෙනු කලේය. පාක්ෂිකයන්ට හතුරන් ලෙස පෙන්වූ සියළුම දෙනා සමග එදත් අදත් ජවිපෙ නායකයන් හොරෙන් සියළුම පන්නයේ ගනුදෙනු කලේය. තම පුතාට මිහින්ලංකා හි රැකියාව ලබා ගැනීමට අනුර රහසේ කතාකලේ මහින්ද රාජපක්ෂටය. අනුර කුමාර දිසානායක අදටත් ටිරාං අලස් සමග රහස් ගනුදෙනු කරන්නේය. එය කොතරම්ද යත් අනුර ජනාධිපති වූ පසු 2024 මහ මැතිවරණය පැවැති සමයේ ටිරාං අලස්ගේ නිවසේ කඨින පිංකම පැවති දිනයේ රාත්‍රියේ නිවසට ගොස් රාත්‍රී ආහාරද ගෙන පැමින තිබුණි. ටිරාං අලස් ඇතුලට යාමට තිබූ මාර්ග වසා ඉලුක්පිටිය ඇතුලට යන්නේ ඒ නිසාය.

 රහස් අවිගණු දෙනු ඇතුළු බොහෝ අකටයුතුකම් ගැන හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් නැත. හේතුව ජවිපෙ ප්‍රධාන නායකයකු අදටත් සිටින්නේ හෝමාගම පැත්තේ ඇති කමල් ගුණරත්නගේ ඥාති සහෝදරයා ගේ නිවසක වීමයි. ජන්දය දිනන්නට පෙර අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධියේ කීවේ පාර්ලිමේන්තුවට ඇති මුදල් බලතල ඉක්මවා වත්මන් මහබැංකු අධිපති රට බංකොලොත් බව ප්‍රකාශයට පත්කිරීම ගැන පරීක්ෂණයක් පවත්වා දඩුවම් කරන බවයි.  2023 පලාත් පාලන ජන්දයට මුදල් තිබියදී මුදල් ලබාදීමට නොහැකි බව කී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන බව කියූ අනුර කුමාර දිසානායක ඔහුවම තමන් යැටතේ මාස 6 කට වැඩි කාළයක් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස තබාගෙන ඔහු විශ්‍රාම යන දිනයේ අනුර කුමාර දිසානායකම හැගුම්බර දේශනයක් කිරීම දෛවයේ සරදමක් නොවේද?

ජවිපෙ දේශපාලන මණ්ඩලයේ පමනක් නොව මධ්‍යම කාරක සභාවේ අයද නඩත්තු වූයේ පාක්ෂිකයන් ගෙන් සහ හිතවතුන්ගෙන් ලද ආධාරයෙනි. ඒත් ඔවුන් මැති ඇමති වූ පසු ඉදිරිපත් කරනලද වත්කම් හා බැරකම් ප්‍රකාශ වලින් හෙළිදරව් වූයේ ඔවුන් සෑමකෙනෙක්ම කෝටිපතියන් බවය. උදාහරණයක් ලෙස වසන්ත සමරසිංහට ජාත්‍යන්තර බිට්කොයින් හරහා ඩොලර් වලින් ඉතිරි කිරීමට මුදල් ඇත. ඔහුට එදාවේල දුන් පාක්ෂිකයන්ට ගමේ සණස බැංකුවේ වත් ගිණුමක් නැත.

ජවිපෙ කියන්නේ එකකි කරන්නේ තවත් එකකි මේ බොරුව කවදා නිමවේද? යන්න තීරණය කිරීම ඔබ සතුය.

 (කලක් ජවිපෙ ක්‍රියාකාරිකයෙකු ලෙස සිට දැනට ප්‍රංශයේ පදිංචි කළණ ජයසුන්දර විසින් විද්‍යුත් තැපෑලට එවූ ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *