ඔන්ඩැන්සෙට්‍රෝන්(ONDANSETRONE) එන්නත පිළිබදව  වගවීමෙන් සෞඛ්‍ය ඇමතිට මගහැරිය හැකිද?

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉමියුනෝග්ලෝබියුලින් (Immunoglobulin) එන්නත අක්‍රමවත් ලෙස මිලදී ගැනීම සහ ඒ නිසා සිදුවූ මූල්‍ය වංචාව පිළිබදව මහාධිකරණ ඉදිරියේ නඩු පවරා ඇත. එවන් පසුබිමක නැවත රෝගීන්ට දෙනු ලබන එන්නත් ගැන කරළියට එන්නේ ‍වමනය ඇතිවූ රෝගීන් සහ වමනය ඇතිවන රෝගින්ගේ වමනය පාලනය කිරීමට දෙනු ලබන  ඔන්ඩැන්සෙට්‍රෝන් ( ONDANSETRONE) නම් ප්‍රතිදේහ එන්නත විෂවීමෙන් රෝගීන් දෙදෙනෙකු මියයාමෙන් පසුවටය.

ලෝකයේ ඖෂධ නිශ්පාදනය කරනු ලබන රටවල් ඔවුනට ඊලග වසරට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය තීරණය කරණු ලබන්නේ පෙර වසරේ ඔක්තෝබර් මාසයේදීය. නමුත් ලංකාව වැනි රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ වලින් 80% කට අධික ප්‍රමාණයක් ආනයනය කරන රටවල් ඊලග වසරට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය ඇස්තමේන්තු කරන්නේ අදාල වසරට වසර දෙකකට පෙරය. උදාහරණයක් ලෙස 2026 වසරට අවශ්‍ය ඖෂධ ඇස්තමේන්තු කරන්නේ 2024 ඔක්තෝබර් ය. එයට හේතුව වන්නේ අදාල ඖෂධ මිලදී ගැනීමට නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා ඖෂධ ආනයනය කරන්නේ 2025 වසර අගදී වීමයි.

ප්‍රශ්න ගත ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ලංකාවට ලැබෙන්නේ 2025 වසරේදීය. එය ඇනවුම් කර ඇත්තේ 2023 වසරේ ඇස්තමේන්තු අනුවය. විෂ වූ එන්නත් මෙරටට ආනයනය කරේ ඉන්දියාවේ Maan Pharmaceuticals Ltd ආයතනයෙනි. දේශිය නියෝජිත ආයතනය හා එම ආයතනය හා බැඳුනු දේශපාලන සම්භන්දතාවය ගැන රටම දනියි.

ලෝකේ ඕනෑම රටකට විදෙස් රටකින් යම් ඖෂධයක් ආනයනය කරන්නේ නම් ක්‍රියා කලයුතු මූලික ක්‍රියාව මෙම ප්‍රශ්න ගත ඖෂධ සදහා සිදු නොවීමයි.රටකට විදෙස් රටකින් ආනයනය කරන ඕනෑම ඖෂධයක් රෝගීන් වෙත ලබාදීමට රෝහල්වෙත නිකුත් කිරීමට පෙර එරට පිළිගත් ආයතනක් මගින් අහඹු පරීක්ෂාවට ලක්කර එම ඖෂධයේ නිසි ප්‍රමිතිය අනුව තිබේ දැයි වාර්තාවක් ලබා ගතයුතුය. ලංකාවට ආනයනය කරන ඖෂධ ප්‍රධාන ආයතන දෙකක් මගින් අහඹු පරීක්ෂණ සිදුකරනු ලබයි. එම ආයතන දෙක නම්  ජාතික ඖෂධ තත්ව පරීක්ෂණාගාරය( NMQAL) හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA)යි

නමුත් මෙම ප්‍රශ්න ගත ඖෂධ ලංකාවට ආනයනය කිරීමෙන් පසුව මේ කිසිම ස්ථානයකින් අහඹු පරීක්ෂණ සිදුකොට නැත. එසේ අහඹු පරීක්ෂා කිරීමකින් තොරව මෙම ඖෂධ රෝගීන්ට ලබා දීමට අණ ලැබුනේ කාගෙන්ද යන්න ඇමති නලින්ද ජයතිස්ස රටේ ජනතාවට පැහැදිලි කලයුතුය.

එසේම අහඹු පරීක්ෂාව නොකිරීම පිළිබදව  ජාතික ඖෂධ තත්ව පරීක්ෂණාගාරයේ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනාට වගකීම පවරා නීතියානුකූලව ක්‍රියාත්මක විය යුතුය. එසේ කිරීම පමනක් නොසෑහේ එවැනි අතපසු වීමක් සිදුවන තුරු නිහඩව සිටි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට එරෙහිව එයට වගනොවීම ගැන නීතිය ක්‍රියාත්මක විය යුතුය. හැම එකටම මතුරන පසුගිය ආණ්ඩුව කරා කියන මන්ත්‍රය මේ අවස්ථාව අදාල නැත.

මේ මොහොතේ මා සාමාජිකත්වය දරන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ( GMOA)  මෙම පරම සත්‍ය රටේ ජනතාවට නොකියන්නේ ඇයිද යන්න මට ප්‍රශ්නයකි. අදාල දේශීය ආයතනය ඔවුගේ කටවල් රුපියල් වලින් ඉබි යතුරු දැමුවාද?

ප්‍රශ්න ගත එන්නත ආනයනය කිරීමෙන් අනතුරුව අහඹු පරීක්ෂාවක් නොකල බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රසිද්ධියේ පිළිගෙන ඇතුවා පමණක් නොව මින් ඉදිරියේ දී ආයතන 5 ක් මගින් ආනයනය කරන ඖෂධ පරීක්ෂා කරන ලෙසට නියෝග කර ඇත. එසේ නියෝග කරේ මීට පෙර අනයනික ඖෂධ පරීක්ෂා නොකල බව ජනතාවට ඒත්තු ගන්වන්නද? එසේ සිදුවී තියේනම් එයට වගකිව යුත්තා සෞඛ්‍ය ඇමතිවයා ය. එසේනම් එහි වගකීම බාරගෙන ඔහු ඉල්ලා අසවිය යුතුය කියා මා නොකියමි. ඒ එවැනි ලැජ්ජාවක් ගෑවිලාවත් ඇති කිසිවකු වත්මන් ඇමති මණ්ඩලයේ ඇතැයි  නොසිතන නිසාය.

(වෛද්‍ය ප්‍රසන්න කුමාර විසින් විද්‍යුත් තෑපෑලට යොමු කළ ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *