බස්නාහිර පලාත් උතුර විශේෂ විමර්ශන ඒකකය මගින් ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට ගත් අපරාධකරුවකු වන බැකෝ සමන් නැමැත්තාට ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය කන්ටේනර් දෙකක් ගෙනවිත් ඒවා අගුණුකොළපැලැස්ස පදිංචි පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරිට අයත් ඉඩමේ වලදමා ඇති බවයි. වහා ක්‍රියාත්මක වූ පොලීසිය තංගල්ල අධිකරණය මගින් වරෙන්තුවක් ලබාගෙන අදාල ඉඩම පරීක්ෂා කිරීමට ගියේ පොලොව හෑරීමට අවශ්‍ය බැකෝ යන්ත්‍රද රැගෙනය. අදාල අමුද්‍රව්‍ය අදාල ඉඩමේ වලදමා තිබියදී ගොඩ ගැනීම සිදු කරන විට කපුටු තටුවක් දුටුවිට කාක්කෝ හත් දෙනෙක් මලා කියන තත්වයට වැටී සිටින ඕනෑම කුණක් විකුණා විවුස් ගැන පමණක් සිතන යූ ටියුබ් නාළිකා කරන අය නා නා ප්‍රකාර වාර්ථා පල කළේය. එහිදී සත්‍ය වෙනුවට අසත්‍ය පලකරමින් පුද්ගලිකව අවංක පොලිස් නිළධාරින් ඉලක්ක කරගනිමින් දෝෂාරෝපණය කරමින් සිටින නිසා පොදුවේ සිදුවූයේ කුමක්ද යන්න හෙළිදරව් කිරිම වැදගත්ය.
අදාල කන්ටේනර් දෙක ලංකාවට එන්නේ ඉරානයේ සිටය. ඉරාන ජාතිකයකු විසින් එම කන්ටේනර් දෙක එවන්නේ අහංගම පදිංචි මේසන් බාස් කෙනෙකුටය. ගෙවල්වල පොලොව අලංකාරකර ගැනීම සදහා උපයෝගි කර ගත හැකි අමුද්‍රව්‍යක් ලෙසට අදාල දෑ නම් කර තිබුණි. නමුත් මෙම කන්ටේනර් දෙක ගෙනා නැව ලංකාවට ලගා වීමටත් පෙර ඇමරිකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය මගින් ශ්‍රී ලංකාවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත වෙත විශේෂ බුද්ධි තොරතුරක් ලබා දී ඇත. ඒ මෙම බහලුම් දෙක තුල අයිස් මත්ද්‍රව්‍ය හෝ හෙරෝයින් මත්ද්‍රව්‍ය සගවා ඇති බවයි. අදාල නැව ලංකාවට පැමිණෙන්නේ 2024 දෙසැම්බර් 20 හෝ ඊට ආසන්න දිනකදීය. කොළඹ වරායට ගොඩ බෑ කන්ටේනර් 2024 දෙසැම්බර් 24 දින ඔරුගොඩවත්ත ග්‍රේ ලයින් 1 යාඩ් එක වෙත ආරක්ෂිතව ප්‍රවාහනය කලේය. අදාල බහලුම් දෙකේ මෙරට හිමිකරු ලෙස පෙනීසිටි මේසන් බාස් ඉදිරියේ දී රේගු නිළධාරින් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් විසින් විවෘත කල තිබුණි. එම කන්ටේනර් දෙක තුල විශේෂ ප්ලාස්ටින් බෑග් ( ලංකාවට පාන්පිටි ආනයනය කිරීමට පාවිච්චි කරන) 20 බැගින් තිබූ අතර එක් බෑගයක කිලෝ ග්‍රෑම් 1200 බැගින් තිබි ඇත. එක් කන්ටේනරයක් තුල අදාල අමුද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 24000 බැගින් තිබී ඇත. මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 48000 කි. රේගු නිළධාරින් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් විසින් අදාල බෑග් 40 වෙනවෙනම පුරා සතියකට ආසන්න කාළයක් පරීක්ෂණය ට භාජනය කර තිබෙි. මෙම අමුද්‍රව්‍ය බැලූ බැල්මට ඩොලමයිට් හා සමාන පාසානයක් වූ අතර එහි 30% ක් පාෂාන කුඩුද 70% කැබලි ලෙසද තිබුණි. මෙම ප්ලාස්ටික් මලු එකින් එක බිමටහලා පරීක්ෂා කලේ ලද තොරතුර අනුව මෙම අමුද්‍රව්‍ය තුල මත්ද්‍රව්‍ය සගවා ඇත්දැයි නිශ්චිතවම පරීක්ෂා කර අත් අඩංගුවට ගැනීමට ය. අදාල ඇසුරුම්බෑග් 40 තුලම අදාල අමුද්‍රව්‍ය හැර වෙනත් සැක කටයුතු කිසිවක් නොතිබු නිසා බහලුම් දෙක තුල ඉතා සූක්ෂ්මව මත්ද්‍රව්‍ය සගවා ඇත්දැයි නිළධාරින් පරීක්ෂා කරාය. කිසිත් හමුනොවීය. නමුත් මෙම අමුද්‍රව්‍ය වලින් සාම්පල ලබාගෙන රේගු රාශායනාගාරය වෙත යවා තිබුණ අතර එහි වාර්තාව ලැබුණ පසු නිසි ක්‍රමවේදය හරහා අදාල අයිති කරුට කන්ටේනර් දෙක රේගුව විසින් මුදාහැර තිබුණි.
මෙම කන්ටේනර් දෙකතුල තිබෙන්නේ අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය බවට කිසිදු තොරතුරක් කිසිවෙකුටත් ලැබී තිබුනේ නැත. එවැනි තොරතුරක් ලැබුණේ නම් අදාල පරීක්ෂණය සිදු කරන්නේ මීට වඩා වෙනස් ලෙසකිනි.
රේගුවෙන් මුදාගෙන ගිය මෙම කන්ටේනර් දෙක තුල තිබූ බෑග් තුනක් තුල තිබූ අමුද්‍රව්‍ය නෙටොල්පිටිය වැලිවැන්න පාරේ මීටර් 150 පමණ ගිය පසු ඇති ඉඩමක මෙම අමුද්‍රව්‍ය විවෘත ලෙස අව්වට වේලීමට සහ වැස්සට තෙමෙන ලෙසට හලා තිබුනේ මේ ගැන කිසිවෙකුටත් සැකයක් ඇතිනොවන ලෙසට සමාජයට ඒත්තු ගැන්වීමට වියහැක.
ඉහත කරුණු කිසිත් නොදැන මුල් අකුරයි අගඅකුරයි බලා වචන කියන්නාසේ යූ ටියුබ් කරන අය තොරතුරු කියන්නට යෑමෙන් සිදුවන්නේ බොහෝ අවංක නිළධාරින් අකර්මණ්‍ය කිරීම බව අකමැත්තෙන් වුවද කිව යුතුය.

