රේගු නිළධාරීන් හොරකමට පොළඹවන මුදල් අමාත්‍යාංශයේ මන්ඳ බුද්ධික බදු නීති.

ලෝකයේ ඕනෑම රටක ආර්ථිකය රඳා පවතින්නේ එම රටට දේශීයව ලැබෙන බදු මුදල් වලිනි. එම බදු මුදල් විවිධ ආකාරයෙන් අයකර ගනියි.

ඍජුවම රජයට ගෙවන බදු සහ වක්‍ර බදු ලෙස ප්‍රධාන අංශ දෙකකි. ඉන් ඍජු බදු රජයට බදු ගෙවන්නන් ඍජුවම ගෙවන බදු, ඉඩම් පැවරීමේදී ගෙවන බදු වාහන ලියාපදිංචි යේදී ගෙවන බදු සහ ආනයන අපනයන ක්‍රියාවලියේදී ගෙවන ලෙස අර්ථ දැක්විය හැක. මින් අපනයන සහ ආනයන බදු රජයට අයකර දෙන්නේ රේගු දෙපාර්තමේන්තුව විසිනි.

මෙරටින් අපනයන කරන භාණ්ඩ සදහා බදු එකතු කිරීම පහසුය. එයට විශේෂ හේතුවක් වන්නේ  භාණ්ඩ අපනයනය කරණු ලබන බොහෝ රටවල ඇති නීති නිසාය. බොහෝ රටවල් නියම තක්සේරුව නොකියා ගෙන එනු ලබන භාණ්ඩ වලට අධික අධිභාර පැනවීම කරන නිසාය. එම නීති නිසා මෙරටින් භාණ්ඩ අපනයන කරන පුද්ගලයන් සමාගම් නියම වටිනාකම සදහන් කර භාණ්ඩ අපනයනය කිරීමට පෙළඹේ. එවිට රජයට ගෙවියයුතු රේගු  බදු මුදල පිළිබදව විනිවිද භාවයක් ඇති වන නිසා ඒ හරහා සිදුවන හොරකම අඩුය.

ඒත් ආනයනය කරන භාණ්ඩ සදහා කථාව මීට වෙනස්‍ ය. ආනයනනික භාණ්ඩ සදහා රේගු බදු අයකිරීම තනිකරම අච්චාරුවකි. රටේ පවතින නීති රේගු නිළධාරීන් බල්ලෙකුට ගනන් ගන්නේ නැත. එය එදා සහ අද කියා වෙනසක් නැත. පගාව ගැනීම ඔවුන්ගේ අයිතිවාසිකමක් ලෙසට සලකා රේගු නිළධාරීන් කටයුතු කරන අතර ඔවුන්ව පාලනය කිරීමට වත්මන් ජනාධිපති ඇතුළු ආණ්ඩුවද බියකමක් දක්වයි.

වත්මන් රජයේ මුදල් අමාත්‍යාංශය ආවරණය කිරීමට ඇමතිවරු තිදෙනෙකි. ඉන් දෙදෙනෙක් මහාචාර්ය වරුන් ය. මුදල් ඇමති ලෙස සිටින ජනාධිපති උපාධිධාරියෙකි. නියෝජ්‍ය මුදල් ඇමතිවරු දෙන්නා වන අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ හර්ෂණ සූරියප්පෙරුම දෙදෙනා මහාචාර්ය වරුන්‍ ය. ජනාධිපති ලේකම්  නන්දික සනත් කුමාණායක  මහාචාර්ය වරයකු සේම ශ්‍රීලංකා රේගුවේ හිටපු රෙගු අධ්‍යක්ෂකවරයෙකි

ආචාර්යකම් මහාචාර්ය කම් තිබුණාට  පහල සිදුවන දේ ගැන නිසි දැනුමක් ඇද්දැයි සැක මතුවේ. ලොව භාණ්ඩවල මිළ අඩුම රට ලෙසට ප්‍රසිද්ධ වන්නේ ඩුබායි රාජ්‍යයයි. එයට ප්‍රධාන රහස වී ඇත්තේ එම රටෙහි රේගු බදු ක්‍රමය සහ පවතින නීතියයි. එහි රේගු බද්ද මූලික වටිනාකමින් 5% කි. එසේම යම් අයෙකු නියමිත වටිනාකම සඟවා යම් භාණ්ඩයක් ආනයනය කර අසුවුවහොත් දඩය මුල් වටිනාකම මෙන් 5 ගුණයකි. ඒ නිසා කිසිම අයෙකු නියමිත වටිනාකම සඟවා භාණ්ඩ ආනයනය කරන්නේ නැත.

ලංකාවේ ගුවන් තොටුපලේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ විකිණීමට ඇති ඇමරිකන් ඩොලර් 1000 ක්වන අත් ඔරලෝසුවක් ඩුබායි ගුවන් තොටුපලේ තීරුබදු රහිත සංකීර්ණයේදී එය ඇමරිකන් ඩොලර් 300 කට මිළදී ගත හැක. එයම එහි සාමාන්‍යය වෙළද පොලේ ඇමරිකන් ඩොලර් 350 ත් 400 ත් අතරය. රටවල් දෙකක පවතින තීරුබදු වල වෙනස නිසා ආනයනික භාණ්ඩවල මිළ වෙනස්වීම හොඳින් පැහැදිලිය. මෑතදී ජපානය ප්‍රසිද්ධියේ කීවේ ජපානයෙන් ලංකාවට ආනයනය කරන වාහනවලට අයකරනු ලබන බදු ප්‍රමාණය ඉතා අධික බවයි.

 ඊළගට ලංකාවට ප්‍රධාන ලෙස  නිමි ඇඳුම් ආනයනය කරන්නේ චීනය, ඉංදියාව ,බංගලිදේශය සහ තායිලන්තය යන රට වලිනි. එම රට වලින් තායිලන්තයට හිමිවන්නේ මූලික තැනකි. එයට හේතුව එම රටට යාමට වීසා අවශ්‍ය නොවීමයි. බංගලිදේශයේ සිට නිමි ඇදුම් ආනයනය කිරීම තනි පුද්ගලයන් සිදු කරන්නේ නැත. එය සිදුකරන්නේ දේශීය විශාල වෙළද සංකීර්ණ ඇති අය සහ ලංකාවේ ෆැක්ටරි පවත්වා ගෙන ගිය දැනට එම ෆැක්‍ටරි බංගලිදේශයේ පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්‍ ය. චීනය සහ ඉංදියාවේ සිට නිමි ඇඳුම් ආනයනය කරනු ලබන්නේ වැඩියෙන්ම ව්‍යාපාරිකයන්‍ ය. තායිලන්තයට යාමට වීසා අවශ්‍ය නොවන නිසා එහි සංචාරයේ යෙදෙන අය සේම ඉංදියාවේ ( දඹදිව) සංචාරයේ යන ව්‍යාපාරිකයන් නොවන දේශීය සංචාරකයන් තම වියදම් ආවරණය කර ගැනීමට නිමි ඇඳුම් යම් ප්‍රමාණයක් රැගෙන ඒම සිදුකරයි.

එසේ ගෙන එන සහ ඍජුවම නිමි ඇඳුම් ආනයනය කරන ව්‍යාපාරිකයන් සදහා ගුවන් තොටුපලේ රේගු නිලධාරින් ක්‍රම දෙකකට තීරුබදු අයකරනු ලබයි. එය නම් ඇඳුම් ගැන එම ප්‍රමාණයට සහ බර කිරා බරට තීරුබදු අයකිරීමය. ක්‍රම දෙකක් පාවිච්චි කිරීම සහමුලින් වැරදි ක්‍රමයකි. එය දැන  දැනම එසේ කරනු ලබන්නේ ආණ්ඩුව නිසි නීති පද්ධතියක් හදුන්වා නොදීම නිසාය. ජනාධිපති ලේකම් වරයා එය හොඳින්ම දන්නා නෙනෙකුව සිට ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම සුළුවෙන් තැකිය නොහැක.

ව්‍යාපාරිකයන් ගෙන එන ඇඳුම් වලට බර අනුවත් සාමාන්‍යය සංචාරයේ යෙදෙන අය ගේන ඇඳුම් වලට ගේන ප්‍රමාණය ගනනය කර බදු අය කිරීමයි. ව්‍යාපාරිකයන් ගෙනඑන නිමි ඇඳුම් කිලෝ එකකට රුපියල් 1900 ක්ද සාමාන්‍යය පුද්ගලයකු ගෙනඑන ඇඳුම් වලට එක් ඇඳුමකට රුපියල් 600 ක් අය කිරීම කරන බව රේගු නිළධාරීන් කියයි. එය කොතරම් අසාධාරණද සාමාන්‍යයෙන් ටී සර්ට් 4.5 ක් එක කිලෝ එකකි එවිට 1900/4.5 = 423 ( එක් ටීසර්ට් එකකට. වැඩිපුර ගේන එක් කිලෝ එකක් සදහා ගුවන් සමාගමට රුපියල් 2400 ක් ගෙවිය යුතුය .එවිට 2400/4.5 = 534 කි එවිට ව්‍යාරිකයෙක් රට තුලට ගෙන එන එහි රුපියල් 1000 ක් වන ටීෂර්ට් එකක් 1000+423+534= 1957 කි එයට ගුවන් ටිකට් පත් සහ ඉදුම් හිටුම් වලට ගිය වියදම එකතුකල විට රුපියල් 1000 ක ටී ෂර්ට් එකක් පිටකොටුවේ තොග වෙලද පොළට එනවිට රුපියල් 2500 කට ආසන්නවේ. සිල්ලරට එම ටීසර්ට් එක පාරිභෝගිකයා අතට යනවිට රුපියල් 5000 ක ආසන්න මුදලක් වේ. එය පාරිභෝගිකයන්ට දරා ගැනීමට බැරුවාසේම ව්‍යාපාරිකයාට තම ව්‍යාපාරය පවත්වාගෙන යාමටද බැරිය.

 එයට කදිම පිළිතුර ලබා දී ඇත්තේ ආණ්ඩුව නොව රේගු නිළධාරීන්ය. අද කිලෝවකට රුපියල් 1900 ක් අය කලද පෙරදී එය රුපියල් 900 කි. බිමේ අත්දැකීම් නැති වත්මන් ආන්ඩුවේ තියරි පමනක් දන්නා මුදල් ඇමති ලෙස ජනාධිපති වරයාද නියෝජ්‍ය මුදල් ඇමතිවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මහාචාර්ය හර්ෂන සූරියප්පෙරුම තිදෙනා රටේ බදු ආදායම වැඩි කිරීමට කියා රුපියල් 900 ක බදු මුදල රුපියල් 1900 කරාට බලාපොරොත්තු ආදායම ලැබුනාද යන්න පැහැදිලි ප්‍රශ්න යකි. විදේශීය නිමි ඇඳුම් අපනයනයට රේගු බදු වැඩිකරේ දේශීය කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීමට කියා ආණ්ඩුව තවත් මෝඩ තර්කයක් ඉදිරිපත් කරයි. දේශිය ව්‍යාරිකයන් මසන්නන් වලේ ඇඳුම් මැසුවාට ඒවා මිනිස්සු ගන්නේ නැත. මිනිස්සු හොයන්නේ බ්‍රෑන්ඩඩ් ඇඳුම්‍ ය. දේශීය ව්‍යාපාරිකයා එය නිමවා වෙළද පොලට එවූ පසු පාරිභෝගික ආරක්ෂක අධිකාරිය පැමිණ එය අත් අඩංගුවට ගන්නා නිසා ව්‍යාපාරිකයන් ඒවා ගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගැනීමට කැමති නැත. ඒ නිසා ව්‍යාපාරිකයන් අකමැත්තෙන් වුවද රේගු නිළධාරීන් ගේ යෝජනාවට එකගවී තම ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලබයි. ඒ යෝජනාව නම් ගෙන එන බඩු ප්‍රමාණයට පෙර ගෙවූ කිලෝවක් සදහා රුපියල් 900 ක් වනසේ රේගු බදු අය කිරීමය. හැබැයි ඒ සදහා ඔවුනට සංතෝෂම් ගෙවිය යුතුය. කිලෝවක් සදහා රුපියල් 900 වනසේ රේගු බදු ගන්නේ ඔවුන්ගේ සංතෝෂම් මුදලේ එකතුවද සමගය. බිමේ තත්වය නොදැන මුදල් ඇමති සහ නියෝජ්‍ය ඇමති වරු රේගු බදු මුදල් වැඩි කරාට ඒ මුළු මුදලම භාණ්ඩාගාරය වෙත එන්නේ නැත. අයකරනු ලබන මුළු මුදලම එක ශතයක් අඩු නැතිව භාණ්ඩාගාරය වෙත ගලා ඒමට නම් පහත කරුණු යටතේ නීති පැනවිය යුතුය. ගෙන එන සෑම භාණ්ඩයක් නිමි ඇඳුමක් සදහාම ඉන්වොයිස් රැගෙන ආයුතුය. එම භාන්ඩ සදහා සාධාරණ රේගු බද්දක් පැනවිය යුතුය. එසේ නොකරන තාක් කල් ආණ්ඩුව කරන්නේ භාණ්ඩාගාරය වෙත යායුතු මුදලින් කොටසක් රේගු නිළධාරීන් සාක්කුව වෙත හරවා යැවීමය. එය ජනාධිපති වරයාගේ දූෂණයට එරෙහි දැක්මට ගැලපෙන්නේ කෙසේද යන්න ඔහුට උපදෙස් දෙන බිම ගැන නොදන්නා ටයි කෝට් අඳින කේවට්ටයන් රටට පැහැදිලි කල යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *