වර්තමාන ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකකි.එම කාලය තුළ රටට හිතැති කාර්ය්යන් රැසක් ඉටුකලා සේම අනාගත් වැඩද ගණනාවකි.ජනාධිපතිවරයා අපට තාමත් රාජ්යය දිනා ගැනීමට නොහැකි වූවා යැයි කියන්නේද මෙලෙස අනාගත් වැඩ තව දුරටත් සිදුවෙන නිසා විය හැකිය .පහත ඇත්තේ එවන් වැඩ කීපයකි.
ඉඩම් ඔප්පු ලබා දීම
රනිල් වික්රමසිංහ රජයේ උරුමය ඔප්පු වැඩ සටහන නවතා මේ ආණ්ඩුව හිමිකම නමින් ඔප්පු ලබා දීම ආරම්භ කලේය .අවුරුදු 02 ක් ගෙවී ගියද මේ වැඩසටහන පටන් ගත් තැනමය.ප්රාදේශීය ලේකම් කාර්යාල හා ඉඩම් අමාත්යාංශය මේ ගැන දක්වන්නේ උදාසීන ප්රතිපත්තියකි.ජනාධිපතිවරයා තම පාලන කාලය තුළ ඔප්පු ලක්ෂ 30 ක් දෙන බව පොලොන්නරුවේදි කීවේය .එහෙත් මෙවැනි ඉබි ගමනක් යන ඉඩම් අමාත්යාංශය හා ප්රාදේශීය ලේකම් කාර්යාල සමඟ ඔප්පු ලක්ෂ තිහේ කතාව තවත් එක් ප්රලාපයක් පමණක් වනු ඇත .
ජාතික හැදුණුම්පත් ලබා දීම
අපේ රටේ ජනතාවට අද ජාතික හැදුණුම්පතක් නොමැතිව පොදු වැසිකිළියකට හෝ යා නොහැකිය .හැදුනුම්පත් දෙපාර්තමේන්තුව ඩිජිටල් හැදුනුම්පතක් දෙන බවට කයිවාරු ගහන්නේ වසර කීපයක සිටය .එහෙත් සාමාන්ය සේවය යටතේ ඔවුන් හැදුනුම්පතක් දීමට වසරකට වැඩි කාලයක් ගත කරති.ඩිජිටල් ගැන නොකී කාලයක හැදුනුම්පතක් මාස 2,3 කින් පුද්ගලයා අතට පත් වුවද දැන් එය වසරකටත් වැඩි කාලයක් ඇදී යාම හාස්ය ජනකය .අනෙක් අතට පාසැල් දරුවන්ට ඔවුන් ලබා දෙන්නේ තාවකාලික කොලයකි.එය එම දරුවන්ට වසර කීපයක් යන තෙක් (වයස 18 තෙක්) පරිස්සම් කර ගැනීමට සිදුවේ.හැදුනුම්පත් දෙපාර්තමේන්තුව සතු ප්රධාන කාර්යාලය හා කුරුණෑගල හා ගාල්ල පිහිටි ප්රාදේශීය කාර්යාල මගින් ඇති හැකි අයට රුපියල් තුන්දහසක (3000)ට එක්දින සේවාව යටතේ හැදුනුම්පත් නිකුත් කරති .එහෙත් එසේ යා නොහැකි ඈත ගම්වල මිනිසුන් තම හැදුනුම්පත එනතුරු හූල්ලමින් බලා සිටිති.
රියදුරු බලපත්ර හා අංක තහඩු නිකුත් කිරීම
මෙයද පෙර සඳහන් කල කාරණා දෙකටම සමානය .මෝටර් රථ දෙපාර්තමේන්තුව රියදුරු බලපත්ර හා අංක තහඩු ලබා දීමට විශාල මුදලක් අය කරන නමුත් ඒවා නිකුත් කිරීම ඉතා ප්රමාදය.අළුතින් මෙරටට ගෙනා වාහන බොහොමයක් භාවිතා කරන්නේ විවිධ තැන්වලින් සකසා ගත් වාහන අංක තහඩුය.ඊටද වාහන හිමියන් අතිරේක මුදලක් වැය කල යුතුය .
මෙම කරුනු ජනතාවට ඉතා සංවේදී කාරණාය. මෙම දෙපාර්තමේන්තු තුල පවතින අකාර්යක්ෂමතාව හෝ වෙනත් දූෂණ ක්රියා නිසා මෙබඳු දුර්වලතා දිගින් දිගටම සිදුවීම ආණ්ඩුවේ ගමනට සුබ නැත.

