සෞඛ්‍ය අමාත්‍යාංශයට  අනුබද්ධ කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ ඡායාරූප ශිල්පියාගේ ක්‍රියා කළාපයෙන් සේවකයින් නොසන්සුන්

සෞඛ්‍ය අමාත්‍යාංශයට  අනුබද්ධ කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සේවය කරන ප්‍රධාන පෙළේ ඡායාරූප ශිල්පියෙකු ආණ්ඩු බලය සහ දේශපාලන හිතවත්කම් පදනම් කරගනිමින් රාජකාරිය පැහැර හරිමින්, රාජ්‍ය දේපොළ අවභාවිත කරමින් සහ ආයතනික සේවකයන්ට පීඩනය එල්ල කරමින් කටයුතු කරන බවට තොරතුරු අනාවරණය වේ.

​නලින් හේමන්ත නැමැති මෙම ඡායාරූප ශිල්පියා රජයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්ගේ සමීප හිතවතෙකු ලෙස පෙනී සිටිමින් ආයතනය තුළ අනිසි ලෙස බලය පාවිච්චි කරන බවට එහි සේවකයෝ චෝදනා කරති. අදාළ නිලධාරියා තමන්ට අවනත නොවන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට ස්ථාන මාරුවීම් ලබාදෙන බවට තර්ජනය කරමින්, පදනම් විරහිත පෙත්සම් ඉදිරිපත් කිරීම නිසා ආයතනය තුළ දැඩි භීතිකාවක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.මොහු විසින් යොමු කරන ලද පෙත්සම් හේතුවෙන් බොහෝ පිරිසකට නිකරුණේ  විමර්ශන සඳහා නිකරුණේ කාලය වැය කිරීමට සිදුවීමද බරපතළ ගැටලුවක් බවට පත්වී ඇත.

​රාජකාරිය පැහැර හැරීම සහ රාජ්‍ය දේපොළ අවභාවිතය මරණ පරීක්ෂණ සඳහා අවශ්‍ය ඡායාරූප ගැනීම මෙම ශිල්පියාගේ ප්‍රධාන රාජකාරිය වුවද, ඔහු නිසි ලෙස එම කටයුතුවලට සහභාගී නොවන බව පැවසේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස අධිකරණ වෛද්‍යවරුන්ට තමන්ගේ පෞද්ගලික ජංගම දුරකථන භාවිත කරමින් මරණ පරීක්ෂණ ඡායාරූප ලබා ගැනීමට සිදුවී ඇති බවද අනාවරණය වේ.

​මීට අමතරව, ආයතනය සතු අධි තාක්ෂණික කැමරා සහ උපකරණ භාවිත කරමින්, රාජකාරි වේලාවන් තුළ පෞද්ගලික විවාහ උත්සව සහ උපන්දින සාද ඡායාරූපකරණය සඳහා පිටතට යන බවටද ඔහුට එරෙහිව බරපතල චෝදනා එල්ල වේ. සමාජ මාධ්‍ය ජාලා හරහා ආයතනය සහ උසස් නිලධාරීන් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් හැසිරුණද, මොහුගේ දේශපාලන බලපෑම් හමුවේ ආයතන ප්‍රධානීන් හා උසස් නිලධාරීහු නිහඬ පිළිවෙතක් අනුගමනය කරති.වසර තිස් දෙකක් කිසිදු ස්ථාන මාරුවක් නොලබා එකම ආයතනයේ සේවය කරන මෙම පුද්ගලයා විසින් සිදු කරන තවත් අකටයුතුකම් බොහොමය.දේශපාලන වුවමනාවන්මත ලංකාව තුළ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම්වල තොරතුරු සහ ඡායාරූප විවිධ පාර්ශ්වවලට ලබාදීම ඔහුට එල්ල වෙන බරපතල චෝදනාවකි.එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වුවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ දේශපාලන බලපෑම මත බවද කියැවේ.විමර්ශන කටයුතු අඩාළ කිරීම සඳහා යම් යම් සිදුවීම්වල සංවේදි තොරතුරු සමාජ මාධ්‍ය හරහා හෙළිකිරීමද රජයේ සේවකයෙකු වශයෙන් මොහු සිදු කරන්නේ බරපතළ වරදකි.මේවා පිළිබඳව

​පාලනාධිකාරියේ අවධානය යොමු නොවන්නේ ඇයි දැයි සේවකයින් ප්‍රශ්න කරයි.

රජයේ සේවකයන්ගේ මහජන අප්‍රසාදය වැඩිවීමට මෙවැනි ක්‍රියාකාරකම් සෘජුවම බලපාන බවත්, ආයතනයේ කීර්තිනාමයට සහ කාර්යක්ෂමතාවයට දැඩි හානියක් සිදුකරන මෙවැනි දූෂිත ක්‍රියා සම්බන්දයෙන්වහාම පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් අදාළ ආයතනයේ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සේවක මණ්ඩලය පාලනාධිකාරියෙන් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *