COFE එකේදී මරික්කාර් “කඩවර”ට අදියි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර යනු සාම්ප්‍රදායිකව රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් එකතු වී තේ බොන අතරතුර ඝන සංඛ්‍යාලේඛන සහ සංකීර්ණ පනත් ගැන කතා කරන පාලු ස්ථාන විය. නමුත් මෑතක සිට මේ කාරක සභා කාමර එකවරම අධි-තීව්‍ර “දේශපාලන ක්‍රියාදාම නාඩගම්” රූගත කරන චිත්‍රාගාර බවට පත්ව තිබේ.
දශක ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රස්ථාර, සාර්ව ආර්ථික විද්‍යාත්මක මෝඩෙල් සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විපක්ෂයේ ප්‍රධාන ආර්ථික මොළකරු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂ ද සිල්වාගේ “ශාස්ත්‍රීය මෙහෙයුම” පැත්තකට තල්ලු කරමින්, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් විපක්ෂයේ ප්‍රධානතම “දූෂණ විරෝධී ප්‍රහාරකයා” ලෙස කරළියට පැමිණ සිටී.
ලංකා ආර්ථිකය නගා සිටුවීමට හර්ෂ අභිබවා මරික්කාර්
ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එස්. එම්. මරික්කාර් යනු විපක්ෂයේ එකම කාසිය දෙපැත්ත වැනිය. ආචාර්ය හර්ෂ යනු පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සිටිමින්, පිරිසිදු ඉංග්‍රීසියෙන් සහ තාක්ෂණික ශබ්දකෝෂවලින් ආර්ථිකය ගැන කතා කරන ප්‍රතිපත්තිමය උගතුන්ගේ ප්‍රියතම චරිතයයි. ඔහු උද්ධමන අනුපාත, විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය, වරාය නගර ගිවිසුම් සහ පද්ධතිමය ප්‍රතිසංස්කරණ ගැන කතා කරමින් වෘත්තිකයන් අතර ප්‍රතිරූපය ගොඩනගද්දී, එම සංකීර්ණ ආර්ථික විද්‍යාව සාමාන්‍ය ජනතාවට තේරුණේ “උසස් පෙළ ආර්ථික විද්‍යා උපකාරක පන්තියක්” ලෙසිනි.
මෙන්න මේ දේශපාලනික හිඩැස නිවැරදිව අල්ලාගත් මරික්කාර් මන්ත්‍රීවරයා, යටිතල පහසුකම් හා මූලෝපායික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිධූරයට පැමිණ තමන්ගේ ජනප්‍රිය ප්‍රහාරය දියත් කළේය. හර්ෂගේ සංකීර්ණ ආර්ථික සූත්‍ර වෙනුවට මහජනතාවට සෘජුවම දැනෙන, තේරෙන මාතෘකා අල්ලාගත් මරික්කාර්, ආක්‍රමණශීලී සහ සෘජු ප්‍රසම්පාදන පදනම් කරගත් විවේචන රටාවක් තෝරාගත්තේය. ආචාර්ය හර්ෂ “සාර්ව ආර්ථික සමතුලිතතාවය” ගැන පාලි භාෂාවෙන් මෙන් කතා කරද්දී, මරික්කාර් කාරක සභා කාමරයේ සිට “ගල් අඟුරු නැවට මොකද වුණේ?”, “අරක්කු බෝතලේ ස්ටිකරයෙන් කොපමණ ගැහුවද?” සහ “ඩිජිටල් හැඳුනුම්පත පිටුපස ඉන්නේ කවුද?” යනුවෙන් සෘජුවම ප්‍රශ්න කරමින්, බහුජන මාධ්‍ය සහ බිම් මට්ටමේ දේශපාලන සංවාදයේ මුල් පුටුව අත්පත් කරගත්තේය.
දූෂණ විරෝධයේ නාමයෙන් කෙරෙන මහා පරිමාණ බිස්නස් එක
කෙසේ වෙතත්, මෙම හදිසි දූෂණ විරෝධී නාඩගමේ තිරයෙන් පිටුපස ඇති සැබෑ යථාර්ථය දෙස බලන විට පෙනී යන්නේ මෙය හුදෙක් රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය සුරැකීමේ පිරිසිදු උත්සාහයක් නොවන බවයි. ඇත්ත වශයෙන්ම සිදුවෙමින් පවතින්නේ මරික්කාර්ලා වැනි දේශපාලනඥයන් දූෂණ විරෝධය ගැන මහ ඉහළින් කතා කරමින්, එම අදාළ විෂයන් සම්බන්ධයෙන්ම මහා පරිමාණ “ඩීල්කරුවන්” බවට පත්වීමයි. ජනතාවට පෙන්නන්නට පාර්ලිමේන්තු කාරක සභා ඇතුළේ කෑගසන අතරතුර, පිටතදී සිදුවන්නේ දූෂණ විරෝධය මාර්කට් කරමින් තමන්ගේම බිස්නස් එක සරු කරගැනීමේ මහා නාඩගමකි.
මෙයට හොඳම උදාහරණය වන්නේ පාර්ලිමේන්තුවම කැළඹූ බාල ගල් අඟුරු සිද්ධියයි. මරික්කාර්ලා එක දිගට ගල් අඟුරු නැව් 19 ක බාල ගල් අඟුරු තිබූ බවටත්, රාජ්‍ය භාණ්ඩාගාරයට ඩොලර් මිලියන ගණනක අලාභයක් වූ බවටත් මාධ්‍ය ඉදිරියේ මහා කෑගැසීමක් කළහ. නමුත් මෙම දැවැන්ත “දූෂණ විරෝධී කැම්පේන් එක” පිටුපස ඇති සැබෑ රහස නම්, එය හුදෙක් ඊළඟ ගල් අඟුරු ටෙන්ඩරය ලබාගැනීමට මානබලන වෙනත් මාෆියා ආයතනයක කොන්ත්‍රාත්තුවක් වීමයි! ඊළඟ ටෙන්ඩරය තමන්ගේ නමට ලියාගැනීමට බලාපොරොත්තු වන අදාළ සමාගම විසින් මෙම මුළු මාධ්‍ය සහ දේශපාලන ප්‍රචාරණය සඳහා කෝටි ගණනින් මුදල් පොම්ප අතර, මරික්කාර්ලා කරන්නේ අනුන්ගේ සල්ලිවලින් දූෂණ විරෝධී වීරයන් ලෙස රඟපාමින් අදාළ සමාගමේ ටෙන්ඩර් කැම්පේන් එක මෙහෙයවීමයි.
කෝටි ගණන් කැම්පේන් කරන අරුම පුදුම රට
මෙය ශ්‍රී ලාංකේය දේශපාලනයේ පවතින ඉතාමත් හාස්‍යජනක මෙන්ම උපහාසාත්මක යථාර්ථයයි. දූෂණයට එරෙහිව සටන් කිරීමට යැයි කියමින්, ඊළඟ ටෙන්ඩරයෙන් කෝටි ගණන් කොමිස් ගැසීමට බලාපොරොත්තු වන ජාවාරම්කරුවන්ගෙන්ම කෝටි ගණන් මුදල් ලබාගෙන “දූෂණ විරෝධී ප්‍රචාරණ ව්‍යාපෘති” ක්‍රියාත්මක කරන ලොව එකම අරුම පුදුම රට ශ්‍රී ලංකාව විය යුතුය. අතීතයේදී බලයේ සිටින විට ටෙන්ඩර් කොමිස් දෙස ඇස් පියාගෙන සිටි අය, අද ඊළඟ ඩීල් එක සෙට් කරගැනීම වෙනුවෙන් කාරක සභා කාමර ඇතුළේ සිට “ෆොරන්සික් විගණකවරුන්” මෙන් රඟපාති.
අවසානයේදී, මත්පැන් බෝතලයේ ස්ටිකරයේ සිට, ගල් අඟුරු නැව සහ ඩිජිටල් හැඳුනුම්පත (SLUDI) දක්වා කෙරෙන මෙම සංවාද මහජනතාවට පෙනෙන්නේ දූෂණයට එරෙහි පරිශුද්ධ සටනක් ලෙසිනි. නමුත් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ පැරණි ඩීල්කරුවන් එලවා අලුත් ඩීල්කරුවන්ට පාර කපාගැනීම සඳහා “දූෂණ විරෝධය” නමැති ලේබලය භාවිත කිරීමයි. කැමරා ඉදිරියේ සිදුකරන මෙම දේශපාලන රංගනය සැබෑ ප්‍රසම්පාදන ප්‍රතිසංස්කරණයක් නොව, ඊළඟ ටෙන්ඩරයේ කොමිස් මුදල වෙනුවෙන් කෙරෙන තවත් එක් සූක්ෂම ව්‍යාපාරයක් පමණි.
මේ පිළිබදව අප ඉදිරියේදී දත්ත සහිතව හෙළිකරන්නෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *