පොලිසිය තුළ වලියකට ලින්ටන්ට පුටුව අහිමි වෙයි

වැටලීම් සිදු කරමින් ජනතාවගේ ආරක්ෂාව රකින පොලිස් නිලධාරීන්ට එල්ල වන පීඩන හිරිහැර ස්ථාන මාරු එමටයි. නවතම සිදුවීම වාර්තා වන්නේ බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා පොලිස් රෝහලට මාරු කර යැවීමයි. එයට පාදක වී ඇති සිදුවීම අළු යට ගිනි පුපුරු මෙන් මේ වන විට පවතී.

 පසුගියදා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දොළ මුල්ල විසින් වාහන සොරකම් කර විකුනන ජාවාරම් කණ්ඩායමක සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.එම තිදෙනා අවස්ථා තුනකදී අත්අඩංගුවට ගත්තද ඔවුන් එක් දිනකදී කාර් රථයක් තුළ සිටියදී සන්තකයේ පතුරම් තිබූ බව පවසමින් අත්අඩංගුවට ගත් බවට සටහන් යොදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහි අධ්‍යක්ෂකව සිටින සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න නියෝග කර ඇත.

අනීතික  නියෝග ක්‍රියාත්මක කිරීමට තමාට නොහැකි බවට සටහන් යෙදීමෙන් පසු එයට උරන වූ අධ්‍යක්ෂකවරයා පොලිස් පරීක්ෂක අංජන ලවා පතුරම් සමඟ අත්අඩංගුවට ගත් බවට සටහන් යොදා ඇත. මෙහි එක් සැකකරුවෙකුගේ පියා සපු ගස්කන්ද පොලිසියේ සැරයන්වරයකු වන අතර ඔහු මේ වන විට අදාළ උසස් නිලධාරීන් දැනුවත් කර ඇත. ප්‍රධාන පොලිස් පරීක්ෂක දොළ මුල්ලට නීති විරෝධී අණ නොපිළිපදින ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා උපදෙස් දී ඇති බවට  සිතා කුපිත වූ අධ්‍යක්ෂකවරයා විසින් උසස් නිලධාරීන් ලවා මෙම ස්ථාන මාරුව කර ඇති බව පොලිස් නිලධාරීන් අනාවරණය කරයි.

මෙම  අධ්‍යක්ෂකවරයා ඇඹිලිපිටිය පොලිසියේ ස්ථානාධිපතිව සිටියදී තරුණයකු මහල් නිවසකින් බිමට තල්ලු කර ඝාතනය කළ බවට එල්ල වූ චෝදනාවෙන් නිදහස් වූ  අයෙකි. පොලිස් පරීක්ෂක අංජන රුපියල් කෝටි තුනහමාරක් ව්‍යාපාරයකට යොදවා එම මුදල් ආපසු නොලැබීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව පිළිබඳව කරුණූ පොලිසිය විසින් අනාවරණය කරගෙන  ඇත.රුපියල් කෝටි තුනහමාරක් පොලිස් පරීක්ෂකවරයෙකුට ලැබුණු ආකාරය පිළිබඳ සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *