දිත්වා සුළිකුණාටුවෙන් පසුව ආණ්ඩුව විසින් පැවැත්වූ අති සාර්ථක ජන රැලියක් පසුගිය 8 වෙනිදා මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. එම රැළිය පිළිබදව පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මීට සති 6 කට පෙර කීවේ අපේ ශක්තිය අපි මාර්තු 8 වෙනිදා පෙන්වන බවයි.
ඒ අනුව 20000 කට අධික කාන්තා සහභාගීත්වයෙන් පැවති එම රැළියෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ය. ඔහු පුරුදු පරිධිම ඉතා උද්වේගකර කතාවක් කළේය. ඒ හැම වචනයකම තිබුනේ රට ලෝකයේ ඉහලම තැනක තබන බවය.
රැස්වීම නිමවී පැය 48 ක් යන්නට මත්තෙන් වසර 62 ක් ආයු වැළදා ලංකා විදුලි බල මන්ඩලයට මියගොස් තිබුණි. එය මියයාමක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම අනුව හිතාමතාම කරන ලද මිණීමැරුමකි. මෙම ඝාතනය සිදුකිරීමට මූලික අඩිතාලම දැමුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඒ මොහොතේ විපක්ෂයේ සිටි අනුර කුමාර දිසානායක මන්ත්‍රී වරයා කීවේ විදුලි බල මණ්ඩලයට මෙම ඉරණමට ගොදුරු වීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි. විදුලි බල මණ්ඩලයේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායක වත්මන් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් කීවේ විදුලි බල මණ්ඩලයට මෙම විනාශය කරන්නට වෙන්නේ තමන්ගේ මළ සිරුර මතින් බවය.
ඇත්තට අනුර කුමාර දිසානායක මිය ගියේ 2024 නොවැම්බර් 23 වෙනිදා ය. ඒ ඔහු රටේ ජනාධිපති වූ දිනය. එදා සිට ඔහු ක්‍රියාත්මක වන්නේ විපක්ෂයේ සිටියදී ගනන් මිමි ඇතිව කරුණු ඉදිරිපත් කල අනුර කුමාර දිසානායක ලෙස නොව ඇමරිකාවේ සහ ඉංදියාවේ නූල් සූත්තරය ට නටන රූකඩ අනුර කුමාර දිසානායක ලෙසටය.
මාර්තු 8 වෙනිදා අතිසාර්ථක රැළිය පවත්වා පැය72 ක් යන්නට පෙර ඊලග ප්‍රතිපලය නිකුත් විය. ඒ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 13 කින්ද බහුතරයක් පාවිච්චි කරනු ලබන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 24 කින්ද ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 22 කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 25 කින්ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 24 කින්ද වැඩි කර තිබුණි. ඒ එසේ මිළවැඩි නොකරන බව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මාර්තු 4 වෙනිදා ස්තිර ලෙසම ප්‍රකාශ කර සිටියේ අතරතුරදීය.
ඔවුන් පුනපුනා කීවේ ඉදිරි දින 37 ක් සදහා තෙල් සංචිත ඇති බවයි. ඒත් තෙල් මිල වැඩි කළේය. 2024 නොවැම්බර් 23 මිය ගිය විපක්ෂයේ සිටි දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක අද ජීවත්ව සිටියා නම් ආණ්ඩුව සතුව ඇති තෙල් සංචිත ගැන අන්තිම තෙල් බිංදුව දක්වා නිවැරදි ලෙසටත් එම තෙල් ගෙන ඒමට වියදම් වූ පිරිවැය අන්තිම ශතයටත් එයින් රජයට ජනතාවට සාධාරණ ලාභයක් ගෙන ලබා දිය හැකි මිළද, රජය එය පසෙකලා ජනතාව පීඩාවට පත්කරමින් ඔවුන් කල රුපියල් කෝටි 1000 කට අධික ගල් අඟුරු හොරකමේ පාඩුව පියවා ගැනීමට අයුතු ලාභ ලබා ගනිමින් තෙල් මිළ ඉහල නැන්වූ බව සංඛ්‍යා ලේඛන සහිතව ජනතාවට කියාදෙනු ඇත.
රටේ සහ ජනතාවගේ කරුමයට සහ අවාසනාවට අනුර කුමාර දිසානායක මිය ගොස් ය. ඉදිරි දිනක එවැනි අනුර කුමාරයෙක් මේ රටේ දේශපාලන පිටියේ බිහිවනු ඇත. ඌට පුටුව ලැබෙන තෙක් බොරු කියමින් ගනන් හදමින් ඌ ජනතාව රවටා පුටුවට ගියපසු මියයනු ඇත. ජනතාවත් සැමදාම බොරුවලට රැවටී එදාවේලට වින්දනයක් ලබා ණය කරුවන්ලෙස මියැදෙනු ඇත.
( දේශපාලන ලියුම්කරු)

