දිට්වා සුලි කුනාටුවෙන් පසු ආණ්ඩුවෙන් ලබා දුන් සහන අතරට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකල තහඩුවක් ගියත් ලක්ෂ 05 ක් දෙනවා යැයි කල ප්‍රකාශය වඩා කතා බහට ලක්විය .එහිදී ඔහු අදහස් කලේ තාවකාලික ගෙවල් හෝ අර්ධ ස්ථිර නිවාස සඳහා ලක්ෂ 05 ක මුදල ලබා දුනහොත් එම නිවාස හිමියන් ස්ථිර නිවසක් ඉදිකර ගැනීමට එම මුදල් යොදවා ගැනීමට හැකියාව ඇති බවයි .එය බැලූ බැල්මට වරදක් නැත.
එහෙත් මේ ආකාරයට ගෙවීම් කිරීමට ආපදාවකදී සිදුකරන ගෙවීම් පිළිබඳ ,නීති රීති හරස් වී ඇත.එම නියෝග වල දැක්වෙන්නේ ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදා කමිටුව මගින් කරන තක්සේරුවක් අනුව පමණක් ගෙවීම් සිදුකල යුතු බවයි .ඊට පරිබාහිර ගෙවීම් සිදුකල හොත් එයට මුල්වන නිළධාරීන් වගකීම් දැරිය යුතුය .මෙම තත්වය මත අදාල ගෙවීම් සිදුකිරීමට නිළධාරීන් පසුබා සිටියහ
මේ පිළිබඳව අවධානය යොමු කල අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුය්ය කොන්තා මහතා නව චක්‍ර ලේඛයක් නිකුත් කරමින් ලක්ෂ 05 දීමනාව අදියර 02 කින් ගෙවීමට යම් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
එමගින් අප මුලින් සඳහන් කල තාවකාලික හෝ අර්ධ ස්ථිර නිවාස සඳහා ලක්ෂ 05 සිට ඉදිරියට ගෙවීම් කිරීමට බාධාවක් නැතත් ගැටළුවක් වී ඇත්තේ යම් සුළු හානි සිදු වූ මහා මන්දිරයකට වුවද තක්සේරුවකින් තොරව ලක්ෂ 05 දිමනාව ලබා දීමට සිදු වීමයි .ඇත්තටම එලෙස සුලු හානියක් සිදු වු නිවාස හිමියන් රජයෙන් ආධාරයක් අපේක්ෂා නොකලත් නව චක්‍ර ලේඛය යටතේ ලක්ෂ 05 දීමනාව ඉල්ලා සිටීම නොවැළැක්විය හැකිය .මෙය බරපතළ අපරාධයකි. සැබෑවටම සුලි කුණාටුවෙන් සිදුවු මහා විනාශය තාමත් යථා තත්වයට පත් නොවී තිබියදී නිකරුනේ රටේ ධනය මෙලෙස ගෙවීමට නිළධාරීන්ට බල කිරීම් සිදුවීම විනිවිද යැයි ප්‍රකාශිත ආණ්ඩුවකට තරම් නොවටීයී.මේ තත්වය මත බොහෝ දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම් වරු,ග්‍රාම නිලධාරීන්,තාක්ෂණ නිලධාරීන් හා ආපදා නිලධාරීන් ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගේ බල කිරීම් මත දැඩි අපහසුතාවකට ලක්ව සිටිති .මන්ද කෙදිනක හෝ වෙනත් ආණ්ඩුවක් යටතේ හිරේ විලංගුවේ ලගින්නට සිදු වන්නේ එම නිළධාරීන්ට වන බැවිනි .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දී ඇති ඩොලර් මිලියන 200 ක මුදල මෙලෙස ආපදා සහන දීමට යෙදවීමට පමණක් යොදවන ලෙසට ඇතැම් විට කොන්දේසි පනවා ඇති. එහෙත් එලෙස ලබා දුන් පමණින් රාජ්‍ය මුදල් වෙස්සන්තර ලෙසින් නිකරුණේ බෙදීමට ආණ්ඩුවට සදාචාර සම්පන්න අයිතියක් නැත..එසේ බෙදා දුන්නා කියා සිදුවන ආර්ථික වර්ධනයක් නැත.

