අවතැන්වුවන්ට ලැබුණු ආධාර කල් ඉකුත්විමට පෙර නොබෙදුවොත් එවා විනාශ කිරිමටත් රජයේ මුදල් වැය කිරිමට සිදුවෙයි

 අවතැන්වුවන්ට ලැබුණු ආධාර කල් ඉකුත්විමට පෙර නොබෙදුවොත් එවා විනාශ කිරිමටත් රජයේ මුදල් වැය කිරිමට සිදුවෙයි

දිත්වා ආපදාවෙන් විපතට පත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් දෙස් විදෙස් වශයෙන් මානුෂීය ආධාර ලෙස ලැබුණු භාණ්ඩ විශාල තොගයක් තවමත් ගබඩාවල ගොඩ ගැසී තිබෙන බව වාර්තාවේ.

ඇඳ ඇතිරිලි,කොට්ට මෙට්ට,ඖෂධ ඇතුළුව විපතට පත් ජනතාවට එදිනෙදා භාවිතයට අවශ්‍ය කෙරෙන අත්‍යවශ්‍ය සහ හදිසි බඩු භාණ්ඩ රාශියක් විදේශ රාජ්‍යන් ,සංවිධාන මෙන්ම විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්ද පරිත්‍යාග ලෙස ලැබී තිබේ.ඒවා යම් ප්‍රමාණයක් බෙදා හැර තිබෙන නමුත් තවමත් සැලකිය යුතු ප්‍රමාණයක් ඔරුගොඩවත්තේ පිහිටි ආපදා සහන සේවා ගබඩා සංකීර්ණයේ ගොඩ ගොඩගැසී තිබෙන බව දැනගන්නට ඇත.

මෙම භාණ්ඩ විධිමත්ව සහ විනිවිද භාවයෙන් යුතුව බෙදා හැරීමට යැයි කියමින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය යටතේ පසුගිය දෙසැම්බර් 08 දා විශේෂ කමිටුවක්ද පත් කෙරිණ .එම කමිටුවේ ප්‍රධානියා වන්නේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරය.කමිටුව පත් කිරීමෙන් පසු දෙසැම්බර් 2 දා ඔරුගොඩවත්තේ ගබඩා සංකීර්ණයයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියා සිටියේ එම භාණ්ඩ ක්‍රමාණුකූලව සහ විධිමත්ව අවශ්‍ය හැම කෙනෙකුටම ලැබෙන බව සහතික වන පරිදි බෙදා දීමට කටයුතු කරන බවය.කෙසේ වෙතත් එතැන් සිට මාසයක පමණක් කාලයක් ගතවී ඇතත් තවමත් විශාල භාණ්ඩ තොගයක් ගබාවල ගොඩ ගැසී තිබෙනු දැකගත් හැකිය.

දිත්වා ආපදාවෙන් මාස දෙකක පමණ කාලයක් ගතව ඇති නමුත් ජීවත් වීමට නිශ්චිත ස්ථානයක් නොමැති ,සහ තිබුනත් අවදානම් සහගත බව නිසා තමන්ගේ නිවාස වෙත නැවත යා නොහැකි සැලකිය යුතු පිරිසක් තවමත් සුරක්ෂා මධ්‍යස්ථානවල රැදී සිටිති.එසේම තමන්ගේම නිවාසවලට ආපසු ගොස් ඇතත් සිය ජීවිකාව අහිමි වූ විශාල පිරිසක්ද සිටිති.

අවතැන් වුවන් පෞද්ගලිකව විපතට පත් ජනතාවට ආධාර ලබා දුන්නා හැරුණු විට ආණ්ඩුවේ සහනාධාර තමන්ට නියමාකාරයෙන් නොලැබුණු බවට මෙම ජනතාවගෙන් චෝදනාද නැගී තිබේ.මානුෂීය ආධාර ලෙස ලැබුණු භාණ්ඩ නොබෙදා ගබඩාවල ගොඩ ගසා තිබෙන්නේ එවැනි තත්ත්වයක් තිබියදීය.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් රජයේ නිලධාරියෙකු සඳහන් කළේ හදිසියේම බෙදීම සඳහා ලබා දුන් භාණ්ඩ මෙලෙස දීර්ඝ කාලයක් මෙම භාණ්ඩ ගබඩාවල ගොඩ ගසා තිබීම නිසා ඒවා භාවිතයට නුසුදුසු තත්ත්වයට පත්වීමට ඉඩ තිබෙන බවය.සුනාමි ආපදාවෙන් පසුද මේ ආකාරයට ගොඩ ගසා තිබූ භාණ්ඩ කල් ඉකුත් වීම සහ වෙනත්හේතුන් නිසා භාවිතය නුසුදුසු වීමෙන් පසු ඒවා විනාශ කිරීමට විශාල මුදලක් වැයකරන්නට ආණ්ඩුවට සිදු වූ බවද ඔහු සිහිපත් කළේය.නොමිලයේ ලැබුණු භාණ්ඩ ජනතාවගේ ප්‍රයෝජනයටද නොගෙන විනාශ කිරීම මෙන්ම ඒ වෙනුවෙන් මහජන මුදල්ද වැය කිරීමට සිදුවුව හොත් එය නාස්තියක් මෙන්ම මහජන මුදල අවභාවිතයක්ද වනු ඇති එම නිලධාරියා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *