වසර හතරකට වරක් පැවැත්විය යුතු පලාත් පාලන ජන්දය වසර 6 කට පසුව 2025 වසරේ මැයි මස 6 වෙනි දින පැවත්වූයේ රටේ පවතින පලාත් පාලන ආයතන 341 න් 339 සදහා සභිකයින් තෝරා ගැනීමට ය. ඒ මහ නගර සභා 28 ක් නගර සභා 36 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් වශයෙනි .
මෙම මැතිවරණයේ දී බහුතරයක් පලාත් පාලන සහ කොට්ඨාස ජයග්‍රහණය කලේ 2018 පැවති පලාත් පාලන මැතිවරණයේ දී කිසිදු පලාත් පාලන ආයතනයක බලය හිමි නොවූ වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජන බලවේගය නොහොත් මාලිමා පක්ෂයයි.
2018 සහ 2025 සසදා බලමු.
ජාතික ජන බලවේගය 2018 මැතිවරණයේ දී රටේ සමස්ථ ප්‍රකාශයට පත්වූ ජන්ද වලින් ලැබුවේ 5.75% ක ප්‍රමාණයකි. එයින් සභිකයින් 434 ක් තේරී පත්විය.
2025 මැතිවරණයේ දී සමස්ථ ජන්ද වලින් 4503930 ක් එනම් 43.26% ලබා ගනිමින් සභිකයින් 3927 ක් තේරී පත්විය.
විපක්ෂය දිනා ගත් කොට්ඨාස සහ ලයිස්තු අපේක්ෂක සංඛ්‍යාව වැඩියෙන්ම දිනා ගත්තේ සමගි ජන බලවේගය විසිනි. ඒ සමස්ථ ජන්ද වලින් 21.69% ලබා සභිකයින් 1767 ක් ජයග්‍රහණය කල අතර සැලකිය යුතු පලාත් පාලන ආයතන කීපයක බහුතර බලය හිමි කර ගත්තේය.
2018 මැතිවරණයේ දී සභිකයින් 3436 තේරී පත්වූ පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවට සභිකයින් 742 ක් තේරී පත්වී 9.17% ක ප්‍රමාණයකින් සෑහීමකට පත්වීම සිදුවිය. ඔවුනට එකම පලාත් පාලන ආයතනයක වත් බහුතර බලයක් හිමි නොවීය.
එක්සත් ජාතික පක්ෂයට පෙර තිබූ සභිකයින් 2433 වෙනුවට පත්විය හැකි වූයේ සභිකයින් 381 ක් වූ අතර එය 4.69% ක ප්‍රතිශතයකි.
පොදුජන එක්සත් පෙරමුණේ තත්වය ඊට භයානක විය. පෙර සභිකයින් 1048 සිටි ඔවුන්ට යාන්තමින් සභිකයන් 300 ක් තේරී පත්වූ අතර ප්‍රතිශතය 3.72 කි. ඔවුන්ට ද කිසිම පලාත් පාලන ආයතනයක් ඔවුන්ට හිමි නොවීය.
උතුරු නැගෙනහිර සැලකිය යුතු පලාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය හිමිකර ගත්තද ද්‍රවිඩ එක්සත් සංවිධානයට පෙර සිටි සභිකයින් 417 වෙනුවට සභිකයින් 377 කගෙන් සහ 2.96% ප්‍රතිශතයකින් සෑහීමට සිදුවිය.
සමස්ථ ප්‍රතිපලයේදී කිසිදු බලපෑමකින් තොරව දේශපාලන පක්ෂ සදහා බලය පිහිටුවීමට හැකි වූයේ පලාත් පාලන ආයතන 161 ක පමණි. එම පලාත් පාලන ආයතන වල බලය ජූනි මස 2 වෙනි දින පිහිටවූවිය.
ඉතිරි පලාත් පාලන ආයතන 178 ක බලය පිහිටුවීම දේශපාලන පක්ෂ අතර සංග්‍රාමයක් විය. බොහෝ ආයතන වල බහුතරයක් සභිකයන් සිටින පක්ෂයට වඩා විපක්ෂයේ සභිකයින් සංඛ්‍යාව වැඩිය. එවැනි ආයතනයන්හි බලය පිහිටු වීමට එම ආයතන වලට තේරී පත්වූ ස්වාධීන කන්ඩායම් සමග හෝ විරුද්ධවාදී දේශපාලන පක්ෂ සමග හොර දීග කෑමට ආරම්භ කෙරිණි. හොදම උදාහරණයක් වූයේ ගාල්ල මහ නගර සභාවයි. බහුතර සභිකයින් සිටි ජාතික ජන බලවේගය එහි බලය තහවුරු කර ගැනීමට තනි සභිකයකු පත්වූ පොදුජන පෙරමුණ සමග ඩීල් දැමිය. නගරාධිපති ජාතික ජන බලවේගයට හිමිවන විට නියෝජ්‍ය නගරාධිපති ධූරය පොදුජන එක්සත් පෙරමුණ ට හිමිවිය. කොළඹ නගර සභාවේ බලය පිහිටු වීමට ජාතික ජන බලවේගය මාලිගාවත්තේ කුඩුලාල් ගේ පුතුන් දෙදෙනා සහ කණ්ඩායම් නායකයා ජයග්‍රහණය කල ස්වාධීන කණ්ඩායමේ සහය ලබා ගත්තේය.
එවැනි අභ්‍යන්තර ඩීල් දමා 178 ක් වූ තනි පක්ෂකට බහුතර බලය හිමි නොවූ පලාත් පාලන ආයතන බහුතරයක බලය වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජන බලවේගය විසින් පිහිටුවන ලදි.
අපි කා සමග වත් ඩීල් දාන්නේ නෑ කියා මයික් ඉදිරියේ කීවාට බලය පිහිටුවීමට ඔවුන් ඩීල් දැමිය. ඒ සහය දෙන අයට යම් යම් වරප්‍රසාද සහ වරදානයන් දෙන පොරොන්දු මතය. මුල අමතක කිරීම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජානමය දෝෂය නැවත එලියට පැමිණියේය. පොරොන්දු වූ කිසිවක් ඉටු නොකිරීම නිසා එසේ බලය පිහිටුවීමට සහය දුන් පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් අදාල පලාත් පාලන ආයතනයන්හි මංගල අයවැය අවමංගල අයවැයක් බවට පත් කරමින් පෝලිමේ පරාද කරමින් සිටීයි.
එසේ පරාද වනවාට වත්මන් ආණ්ඩුව කැමතිය. ඒ එම ආයතනවල බලය පවත්වාගෙන යාමට සභිකයින් අසමත් වන්නේ නම් එම ආයතනවල බලය නාගරික කොමසාරිස් වරයකු අතට පත්කර පාලනය කිරීමට ආණුඩුවට හැකියාව ලැබෙන නිසාය. නාගරික කොමසාරිස් යනු රජයේ සේවකයෙකි. ඒ අනුව ඔහු හෝ ඇය ලවා ආණ්ඩුවට අවැසි ලෙස අදාල ආයතන පවත්වාගෙන යා හැකිය. එසේම එම පලාත් පාලන ආයතන සදහා ජනතාව විසින් ජන්දය දී පත්කර ගත් නියෝජිතයන් නිස්ක්‍රිය කිරීම ආණ්ඩුව විසින් හිතාමතාම කරනු ලබයි. ඒ අපිට කරන්න බැරිනම් තොපි එකෙකුට වත් කරන්න දෙන්නේ නෑ නියායෙනි. එය කොතරම් සාධාරණද යන්න මධ්‍යස්ථව සිතා බැලිය යුතුය.
( කොළඹ නගර සභාවට තරග කළ අපේක්ෂකයෙකු විසින් එවු ලිපියකි)

