ශ්‍රිලංකන්ඩේ, ඩබල් කැබි ව්‍යාපෘති මුදල් ව්‍යසනයට දී දේශපාලන සෞඛය හදාගන්න

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය  තවමත් ගන්නන් බලා නැත.ජීවිත හානිය කිසිසේත්ම ගණනය කළ නොහැකිය.මහාමාර්ග , රජයේ දේපල සහ පෞද්ගලික දෙපලට සිදු වූ හානිය නිශ්චිතව ගණන් බැලීමට තව සෑහෙන දවසක් ගත වනු ඇත.කෙසේ වෙතත් මෙම හානිය ඇති විශාල රුපියල් බිලියන ගණනක හානියක් බවට කිසිදු සැකයක් නැත.

දැනටමත් මාහා මාර්ග පිලිසකර් කිරීම් ආරම්භ කොට තිබෙන නමුත් සියල්ල පැවතී ආකාරයෙන් නිම කිරීමට සෑහෙන කාලයක් මෙන්ම ඇති විශාල ධනයක්ද අවශ්‍ය වනු ඇත.විපතට පත් ජනතාවගේ ආහාර සහ සෞඛ්‍ය පහසුකම් වැනි හදිසි මූලික අවශ්‍යතා සඳහා රටේ ජනතාව මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ද හැකි උපරිමයෙන් සහය දක්වමින් සිටින අතර විදෙස් රටවලින්ද ආධාර ලැබෙන බව දක්නට තිබීම සතුටට කරුණකි.

ප්‍රශ්නය ඇත්තේ විනාශ වී ගිය මං මාවත් , පාලම් ,වැවු අමුණු , රෝහල් ,පාසල් , යලි ඉදි කිරීම  කිරීම සහ නාය යාමෙන් සිය නිවාස දේපල අහිමි වූ ජනතාවට නිවාස සපයා දීම සහ ඔවුන් යලි පදිංචි කරවීමය.එසේම තව දුරටත් අවදානම් සහගත ස්ථානවල පදිංචි වී සිටින ජනතාව එම ස්ථානවලින් ඉවත් කොට ඔවුන්ව සුදුසු තැන්වල පදිංචි කරවීමද ඒ සමගම කළ යුතුව තිබේ.මෙම ක්‍රියාවලිය සඳහා අති විශාල මුදලක් අවශ්‍ය වනු ඇත.ආණ්ඩුව එම මුදල් කන්දරාව සපයා ගන්නේ කෙසේද ?

මේ වන විට Re -Build Sri -Lanka යනුවෙන් අරමුදලක් ආරම්භ කොට තිබෙන නමුත් එමගින් ප්‍රමාණවත් තරම් මුදලක් සපයා ගනු හැකි වනු ඇත්දැයි තවමත් කිව නොහැකිය.රටේ ජනතාව සියලුම දෙනා ආර්ථික අර්බුදයක වින්දිතයන් වී සිටින තත්ත්වයක් තුළ කොතරම් අවශ්‍යතාවක් සහ හැගීමක් තිබුනද ඔවුනට කළ හැකි සීමාවක් පවතින බැවිනි.යම් හෙයකින් ආණ්ඩුව රට නැවත ගොඩ නැගීම පෙරට ගෙන තව දුරටත් බදු වැඩි කිරීම සහ දැනට පවතින අවම සහන කප්පාදු කිරීමට පියවර ගතහොත් රටේ ජනතාව කබලෙන් ලිපට වැටෙනු ඇත.එසේම එවැනි පියවරයන් මෙම ආපදාවේ හානි අවම කර ගැනීමට පූර්ව පියවර නොගත්තේ යැයි චෝදනා එල්ල වී තිබෙන ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයටද එතරම් හිතකර නොවනු ඇත.

මෙම ස්වාභාවික ආපදාව පිලිබඳ පූර්ව අනතුරු හැඟවීම් නොසලකා හැර සිටීමෙන් ආණ්ඩුව සිතා මතා රටත් ජනතාවත් ව්‍යසනයකට ලක් කළ බවට දැනටමත් ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ.ඒ අතරේ පසු ආපදා කළමනාකරණයේ දී ද ආණ්ඩුව අසමත් වී ඇති බවට ද චෝදනා එල්ල වෙමින් තිබේ.ආණ්ඩු පාර්ශවය කෙසේ සාධාරණීකරණය කරන්නට උත්සාහ කළ ද මෙම චෝදනා විපක්ෂයේ හුදු චෝදනා පමණක් යැයි කිව නොහැකිය.

මේ නිසා ආණ්ඩුව මේ වන විට මුහුණ දී සිටින බරපතලම අභියෝගය වන්නේ පසු ආපදා කළමනාකරණය  පලදායී ලෙස මෙහෙයවමින් , ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසා නාය යමින් පවතින මහජන විශ්වාසය යලි ගොඩ නංවා ගනිමින් ,මහජන කෝපය සහ  .විරෝධය සමනය කර ගැනීමට කටයුතු කරන්නේ කෙසේද යන්නය.

ආණ්ඩුවට රාජ්‍ය පාලනයේ පළපුරුද්දක් සහ අත්දැකීම් නැති නමුත් ඔවුන් කිසිවෙකුගේ උපදෙස් ,යෝජනා පිළි නොගන්නා උද්දච්ඡ මානසිකත්වයක සිටින නමුත් ,මෙම අභියෝගයට මුහුණ දීම සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

පළමු යෝජනාව වන්නේ ජනාධිපතිවරයා නායකත්වය දරණ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලෙන් සැලකිය යුතු මුදලක් රට ගොඩ නැගීමේ අරමුදලට පිරිනමන ලෙසය.වර්තමානය වන විට රටේ විශාලතම පක්ෂ අරමුදල හිමිව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණටය.වාර්තා වී තිබෙන ආකාරයට එහි ශේෂය රුපියල් බිලියන 10කට ආසන්නය.ඇතැම් විටෙක පසුගිය මැතිවරණ සඳහා ලැබුණු පරිත්‍යාග ,වසරක් තිස්සේ මන්ත්‍රීවරු 159කගේ වැටුප් සමග මෙම ශේෂය මීට වඩා ඉහල ගොස් තිබෙන්නටද හැකිය.

ආපදා අවස්ථාවේ දීද මෙම පක්ෂ අරමුදලෙන් ජනතාවට කන්නට බොන්නට දෙන ලෙස ඉල්ලීම් ඉදිර්පත්ව තිබෙනු අපි දුටුවෙමු.

රටේ ජනතාවට එලෙස කියන්නට අයිතියක්ද තිබේ.මෙම අරමුදලේ වැඩි ප්‍රමානයක් නැත හොත් සැලකිය යුතු කොටසක් මන්ත්‍රී වැටුප් හෙවත් මහජන මුදලින් සම්පූර්ණ වී තිබෙන බැවිනි.එවැනි තත්ත්වයක් තුල ආණ්ඩුවේ නායකයන්ට  රට ගොඩ නැගීමට ජනතාවගෙන් මුදල් ඉල්ලීමට සදාචාරමය අයිතියක්ද නැත.එනිසා ජනතාවගේ මුදල් ජනතාවට යැයි කියමින් පක්ෂ අරමුදලෙන් කිසියම් ප්‍රමාණයක් රට ගොඩ නැගීමේ අරමුදලට පරිත්‍යාග කලහොත් , මතු වෙමින් පවතින මහජන විරෝධය සමනය කර ගැනීමට මහත් පිටිවහලක් වනු ඇත.එවැනි පියවරක් ගන්නට තරම් ජවිපෙ නායකයන් නිර්ලෝභී වන්නේ නම් එය ඔවුන්ට එරහිව නැගෙන ජනතා විරෝධය සමනය කරගන්නට පමණක් නොව රට ගොඩ නැගීමේ අරමුදලට ජනතා දායකත්වය ඉහල නංවන්නටද ප්‍රභල උත්ප්‍රේරකයක් සපයනු ඇත.

අපගේ තවත් යෝජනාවක් වන්නේ යෝජිත ශ්‍රී ලංකා දිනය සැණකෙළිය අවලංගු කර ඒ වෙනුවෙන් වෙන්කොට තිබෙන මුදල රට ගොඩ නැගීමේ අරමුදලට බර කරන ලෙසය.මේ මස 12 සිට 14 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත මෙම සැණකෙළිය සඳහා රුපියල් මිලියන 300 ක මුදලක් ආණ්ඩුව වෙන්කොට  තිබේ.රටට සිදු තිබෙන හානියේ ප්‍රමාණය අනුව බලන කල රුපියල් මිලියන 300 ක් යනු සොච්චමකි.එහෙත් සැණකෙළිය අවලංගු කර එම මුදල මේ සඳහා යෙදවිය හැකි නම් ඉන් ආණ්ඩුවට උපයා ගත හැකි සමාජ ප්‍රාග්ධනය විශාලය.

ශ්‍රී ලංකා දිනය නමින් සැණකෙළියක් සංවිධාන කොට තිබෙන්නේ ජාතීන් අතර මිත්‍රත්වය,සහෝදරත්වය ,සංහිදියාව ,සාමය ප්‍රවර්ධනය කිරීම සදහා  යැයි කියන නමුත් ඇත්ත වශයෙන්ම මෙය මාලිමාවේ  දේශපාලන ව්‍යාපෘතියකි.මහජන මුදලින් එවැනි පක්ෂයක් දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නොකළ යුත්තකි.එසේම මාලිමාව බලයට පැමිණියේ ද එවැනි අවභාවිතයන් නොකරන බවට පොරොන්දු දෙමිනි.මීට පෙර එවැනි භාවිතයන් පවතී ඇතැම් දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද ආණ්ඩුව මේ වන විටත් පියවර ගෙන තිබේ.එනිසා මේ අවස්ථාවේ ශ්‍රීලන්කන් ඩේ නමැති ජෝගිය නවතා ඒ සඳහා වෙන්කොට තිබෙන මුදල රට ගොඩ නැගීමේ අරමුදල සඳහා අවශ්‍ය නම් එම මුදල උතුරු නැගෙනහිර කිසියම් ප්‍රතිසංස්කරණ කාර්යයකට හෝ වෙන් කිරීම පළමුව රට ගොඩ නැගීම සඳහා ආණ්ඩුවේ කැපවීම පෙන්නුම් කිරීමට සාක්ෂියකි, දෙවනුව අනාගතයේ මේ ආණ්ඩුවේ උත්තමයනට නිල්පාට බස් එකේ යන්නට තිබෙන අවස්ථාවක් වලක්වා ගැනීමකි.

මේ සියල්ලට වඩා වැදගත් සහ වැඩි මුදලක් ලබා ගත හැකි යෝජනාව වන්නේ කුප්‍රකට ඩබල් කැබ් මිලදී ගැනීම නවතා දැමීමය.

මෙවර අය වැයෙන් කැබ් මිලදී ගැනීම සඳහා වෙනකොට තිබෙන මුදල රුපියල් මිලියන 12,500 කි.එහෙත් වසර පහක් තුල මෙම කැබ් රථ වෙනුවෙන් ලීසිං ගෙවා අවසන් කරන විට වැය කරන්නට සිදු වන මුදල රුපියල් බිලියන හතළිහකට අධිකය.එනම් රුපියල් කෝටි 4200 කට වැඩි මුදලකි.මෙම වාහන වෙනුවෙන් රක්ෂණ ආවරණ ලබා ගැනීම ,නඩත්තු ,අලුත් වැඩියාවන් ආදී කටයුතු සඳහා කොතරම මුදලක් වැයවනු ඇත්ද ? ඒ අනුව බලන විට කැබ් මිලදී ගෙන නඩත්තුව වෙනුවෙන් මහජන මුදලින් රුපියල කෝටි කීයක් වය කරන්නට සිදු වනු ඇත්ද ?

ආණ්ඩුව මෙම මිල දී ගැනීම නම් දෙවරක් නොසිතා අවලංගු කළ යුතුය.කල් දැමීමක් නොව අවලංගු කළ යුතුය.දැනටමත් කවරෙකු හෝ කොමිස් මුදලක් හෝ ලබා ගෙන ඇත්නම් කරන්නට දෙයක් නැත. රට ආපදාවකට ලක් නොවුනත් මෙම කැබ් මිලදී ගැනීම අනවශ්‍ය බරකි.මාලිමාවේ මන්ත්‍රීලා බලයට පැමිණියේ බස් එකේ කෝච්චියේ ගොස් රාජකාරි කරන බව පවසමිනි.ඔවුන්ට එසේම වැඩ කරන්නට දිය යුතුය.මන්ත්රීලාට පමණක් වාහන ගෙන්වීමට නොහැකි නිසා ආණ්ඩුව මෙම කැබ් ගෙන්වන්නේ රජයේ ආයතනද සඳහා යැයි කියන නමුත් රාජ්‍ය ආයතනවලට එතරම් වාහන අහේනියක් තිබිය නොහැකිය.එසේ තිබේ නම් ආණ්ඩුව කළ යුතුව තිබුනේ රජයේ වාහන වෙන්දේසි නොකර සිටීමය.එලෙස වාහන වෙන්දේසි කිරීමන් පසුවද පොලීසිය සහ ආරක්ෂක අංශ හැර රජයේ වාහන සංචිතය අටදහසකට ආසන්නය.හරියටම කියන්නේ නම් හත්දහස් නවසීයකි.එනිසා වාහන නැතැයි කියා ආණ්ඩුව නිලධාරීන්ට කිව නොහැකිය.නිලධාරීන් වාහන නැතැයි කියා රාජකාරි  කරන්නට නොහැකි බවක් කියා ඇති බවක් ද දන ගන්නට නැත.

ආණ්ඩුව මෙම වාහන මගඩිය නවත්වන්නේ නම් එයද ආණ්ඩුවේ අනාගත දේශපාලන සෞඛ්‍යට හිතකර වැඩකි.මන්ද යත් දැනටමත් මෙම වාහන ගනුදෙනුව දූෂිත එකක් බවට හෙළිදරවු වී තිබෙන නිසාය.යම් හෙයකින් මෙම ගනු දෙනුව සිදු වුවහොත් බලයේ සිටිය දීම කට කාටත් උසාවි යන්නට සිදු වනු ඇත.එනිසා එවැනි නව නින්දාවන් නොවිද කැබ් මිලදී ගැනීම නවතා දමන්නට මෙම ආපදා අවස්තාව ආණ්ඩුවට මසුරන් අවස්ථාවකි.

ඉන් පසු අප රට වෙනුවෙන් කැබ් ලබා ගැනීමේ අවස්තාව කැප කළෙමු යැයි රටට කිව හැකිය.බලයට පැමිණීමට පෙර දූෂිතයන් නොවන සහ අවංක පිරිසක් බවට ජවිපෙට සහ මාලිමාවට තිබූ   කීර්ති නාමය යලි උපයා ගැනීමට එම තීරණය ප්‍රබල සාධකයක් වනු ඇත.එසේම රට ගොඩ නැගීම සඳහා අප විශාල කැපකිරීමක් කර ආදර්ශයක් දී ඇතැයි රටට පෙන්විය හැකිය.ආණ්ඩුව ඊට සූදානම් නම් 1971 ට පෙර හයිඩ් පිටියේ පැවති ජවිපෙ පළමු ප්‍රසිද්ධ රැස්වීමේ දී කාන්තාවන් තම අත කණකර පක්ෂ අරමුදලට පරිත්‍යාග කළ ආකාරයටම මෙරට ජනතාව ඉතාමත් සද්භාවයෙන් යුතුව කුසගින්නේ සිට හෝ රට ගොඩ නැගීමේ අරමුදලට පරිත්‍යාග සිදු කරනු ඇත.

පූර්ව ආපදා කළමනාකරණය පමණක් නොව පසු ආපදා කලමනාකරනයේ දී පවා අසමත් ආණ්ඩුව මෙවැනි අවම පියවරයන් කිහිපයක් හෝ නොගන්නේ නම් මෙම ආපදාවත් සමග ආරම්භව තිබෙන ආණ්ඩුවේ දේශපාලන නාය යෑම වලක්වා ගන්නවා බොරුය.

(විශේෂ ලියුම්කරුවෙකු විද්‍යුත් තෑපෑලට යොමු කළ ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *