ස්වාභාවික විපත් වැඩි උනේ කාගේ වරදින්ද?

පසුගිය 27 සිට ලංකාවේ බොහෝ ප්‍රදේශ “දිට්වා'” නම් සුළි කුණාටුවට ගොදුරු වීම ඇරඹුණි. මේ වන විට මියගිය සංඛ්‍යාව 123 ඉක්මවා ගොස් ඇත. සත්‍ය ලෙසටම මෙම අනතුරු ප්‍රමාණය පාලනය කර ගැනීමට නොහැකි වූයේ කාගේ වරදින් දැයි විමසා බලමු.
කදුකරයේ බොහෝ ස්ථානවල නායයෑම් ඇතිවිය. කදුකරයේ ප්‍රධාන මාර්ග අසල කදු කඩාගෙන වැටීම ඇතිවිය. එම කදු කඩාගෙන වැටීම සිදුවූයේ අදාල මාර්ග පලල් කිරීමට සිදුකල සංවර්ධන කටයුතු වල ප්‍රතිපලයක් ලෙසය. එම මාර්ග පලල් කර සකස්කිරීමට පසුගිය කාලයේ කොන්ත්‍රාත් ලබාදී තිබුනේ එම කාර්ය පිළිබදව මනා නිපුනත්වයක් ඇති සහ නවීන තාක්ෂණය භාවිතා කරනු ලබන ආයතන වෙනුවට කිසිම නිපුනතාවයක් නොමැති ආයතන වලටය. ඉතිහාසයේ දී කළු ගල් කැඩුවේ බෝර දමා හෝ ඩයිනා දමාය. ඒ සදහා කුහරයේ ගැබුර උපරිමය අඩි 3 කි. ඒ එක කුහරය විදීම සිදුකරේ දෑත උපයෝගී කරගෙන වීමයි. එවිට එම පිපිරීමෙන් විශාල හානියක් නොවුනත් ගල් කෑලි විසිවීම ඇතිවන විශාල ශබ්දය පරිසර හානියක් සේ සැලකිනි. මාවනැල්ල සිට කඩුගන්නාව දක්වා සහ නුවර සිට හසලක දක්වා මාර්ගය පලල් කර සංවර්ධනය කිරීමේදී විශාල ලෙස ගල් පර්වත කැඩීමට සිදුවිය. අදාල කොන්ත්‍රාත්තුව ලබා ගත් අය සතුව නවීන තාක්ෂණ ලෙසට තිබුනේ වෝට්ර් ජෙල් දමා කළුගල් පර්වත කැඩීම පමනි. එහිදී ගල් බෝර හෝ ඩයිනා දැමූ විට ඇතිවන ශබ්දය සහ ගල් කැබලි විසිවීම සිදුනොවුනද පර්වතයේ මුලට සහ කන්දට ඇති වූ හානිය අති මහත්‍ ය.
වෝටර් ජෙල් දැමීම සදහා අධි සම්පීඩනයක් යොදමින් කළුගල් පර්වතය අඩි 20 ත් 30 අතර ගැඹුරට පර්වතයේ අඩියෙන් අඩියට විදිනු ලබයි. එහිදී ඇතිවන දෙදරීම කළුගල් පර්වතයේ මුලට පර්වතය සෙලවීමක් සිදුවේ. වෝටර් ජෙල් දමා පර්වතයේ කොටසක් ඉවත්කලද එය කිරීම සදහා මුල් කාර්ය නිසා සිදුවූ හානිය ඒ මොහොතේ දකින්නට නොමැති වීම අභාග්‍යකි. වැඩේ නිමවා මාස කීපයක් ගිය තැන ඇතිවන වර්ෂාව හේතුකොට ගෙන සෙලවුන කළුගල් පර්වතයේ කොටස් පහලට තල්ලු වීම සිදුවේ. ඊට පසු එයට පිලියමක් ලෙසට නැවත නාය යෑම නැවතීමේ දම්වැල් ඇදීම කොන්ක්‍රීට් කොටු ඇදීම සිදුකරයි. ඒසදහා වෙනම ටෙන්ඩරයකි.
මුල් වැඩේට සහ දෙවෙනි වැඩේට වෙන වෙනම කොමිස් ලැබේ. දියුණු රටවල මෙසේ පර්වතයක් කපා පාරක් පලල් කරපු ස්ථානයක ලංකාවේ මෙන් නාය යෑමක් හෝ කදු කඩා වැටීමක් සිදු නොවේ. එයට හේතුව වන්නේ එම රටවල මෙවැනි කළුගල් පර්වත කැඩීම වෙනුවට අධික ජල සම්පීඩතාව මගින් එම කළුගල් පර්වත කපා ඉවත් කිරීමයි. එයින් පර්වතයේ ඉවත් නොකරන කොටසට කිසිදු හානියක් නොවීමය.
කිසිම දිනක සිදුනොවූ ලෙසට මහවැලි ගඟ මහියංගණය වේරගංතොට පාලම අසලින් සහ වස්ගමුව පිහිටි නිපෝන් පාලම අසලදී පාලමෙන් උඩට ජලකඳ උතුරා ගියේ ඇයි. මහවැලි ගඟේ ඉතිහාසයේ වැඩිම ජල ධාරිතාවයක් ඇතිවූයේ 1978 දී නැගෙනහිර ප්‍රදේශය මුල් කරගෙන ඇතිවූ සුළිසුළං අවස්ථාවේදීය. එම මොහොතේදී වේරගංතොට පාළමට අඩි 10 කට වඩා යටින් එම ජල කද ගලා ගියාය. ඒත් මෙවර එසේ නොවුනේ ඇයි? මහවැලි ගඟ මුලින්ම හරස් කරන්නේ 1975 ජනවාරි මස 8 වෙනි දින පොල්ගොල්ල වේල්ලෙනි. ඉන් පසුව 1985 අප්‍රේල් 14 දින සිට වික්ටෝරියා වේල්ල මගින් නැවත මහවැලි ගඟ හරස් කරන ලදි. ඉන් පසුව 1986 දී නැවත රන්දෙණිගල දී මහවැලි ගඟ නැවත හරස් කිරීම නිසා එතැනින් පහලට ගලා යන ජල ධාරිතාවය ඉතාමත් සීමා සහිත විය. එය ඉතාමත් දරුණු ලෙසට ගඟේ පැවැත්මට බලපෑම් ඇති කළේය. ගඟ මැද කුඩා දූපත් ලෙසට වැලිකදු ඇතිවූ අතර ඒවායේ ස්ථිර ගස් පැලවුනි. අවුරුදු 40 කට ආසන්න කාළයක් ගඟ මැද හටගත් ගස්වල ප්‍රමාණය ඔබට සිතාගත හැක. ඒවා කැපීමට යාන්ත්‍රික කියත් භාවිතා කල යුතුය. එම ගස් නිසා ගඟ හරහා ගලාගෙන යන ජල ධාරිතාවය සීමාවීම හේතුවෙන් මෙවර මහවැලි ගඟේ ජලය ඉතිහාසයේ පලමු වතාවට වේරගංතොටිං සහ නිපෝන් පාලමින් පිටාර ගැලුවාය.
කොළඹ ගංවතුර පාලනය කිරීම තවමත් නිසිලෙස සිදු නොවන්නේ ඇයි?
ඉතිහාසය අනුව කොළඹ නගර ගොඩනගන්නේ පෘතුගීසින් විසිනි. ඔවුන් කොළඹ බලකොටුව තුල සිට පාලනය කරන සමයේදී කොළඹ ගංවතුර පාලනය කිරීමට විශේෂ උපක්‍රමයක් යෙදුවාය. ඒ කැළණි ගඟේ ජලය වැඩිවන විට එම ජලයෙන් විශාල කොටසක් අඹතලේ දී මෝය කටක් හරහා මුල්ලේරියාව වැවට හැරවීමය. මුල්ලේරියාව වැව යනු පෘතුගීසින්ට මරු කැදවූ මුල්ලේරියාව වෙළය. ඉතිහාගත එහි භූම් ප්‍රමාණය අක්කර 528 කි. අවාසනාවක තරම අද එහි අක්කර 28 ක හෝ වගුරු බිමක් ඉතිරි නොවීමය. දේශපාලකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් තරගයට එම වැව ගොඩකරා පමණක් නොව ඓතිහාසික මුල්ලේරියාව වැව් භූමියට ඔප්පුද හැදුවාය. මෙම වැව ප්‍රතිසංස්කරණය කොට කොළඹ ගංවතුර පාලනය කිරීමට යමක් කල යුතුයැයි මතක ඉතිහාසයේ දී කටයුතු කිරීමට සිතුවේ හෝ නාගරික සංවර්ධන අධිකාරීයේ හිටපු සභාපති වරයෙකු වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න දහනායක මහතා පමණි. ඔහු මෙම වැව් භූමියේ තාවකාලික ලෑලි නිවාස සාදාගෙන සිටි 30 කට අඩු පවුල් ප්‍රමාණයක් ඉවත් කිරීමට උත්සහ කරත් එයට දේශපාලන අධිකාරීය විරුද්ධවීම නිසා රැකියාව ද අත් හැර දමා නැවත ඕස්ට්‍රේලියාවට ගියේය. 2010 ට පෙර ඔහු ඉවත් කිරීමට උත්සහ කල ලෑලි නිවාස 30 ට අඩු ප්‍රමාණය වෙනුවට අද එහි ගලින් සහ කොන්ක්‍රීට් වලින් නිමවූ ස්ථිර නිවාස ප්‍රමාණය 100 කට අධිකය. ඒ තුල වැව ගොඩකර තැනූ ස්ථිර පාරවල්‍ ය. සමහර තැනක කන්ටේනර් යාඩ්‍ ය. වෙනත් කර්මාන්තය ශාලාය. ඒ සෑම නිවසකටම කර්මාන්තය ශාලාවකටම රජය මගින් ජලය සහ විදුලිය ලබාදී ඇත. නිසි අවසරයක් නොමැතිව සෑදූ එම ගොඩනැගිලි වලට රජය නොනිල අනුමැතිය ලබා දී ඇත්තේ එලෙසය.මේවාට අනුමැතිය දුන්නේ කවුද කියා කවුරුත් දන්නේ නැත. එකාට එකා බෝලය පාස් කරමින් සිටී. පෘතුගීසින් විසින් මුල්ලේරියාව වැව පිරී ඉතිරී ගියොත් එහි වැඩිවන ජලය නැවත රඳවා ගැනීමට ගොතටුව වැව සෑදුවාය. මීටර් 500 කට ආසන්න දිගකින් යුත් ගොතටුව වැව් බන්ට් එක අදටත් ඇත ඒත් වැව නැත. ඒ වෙනුවට ඇත්තේ නිවාසය. ඒ සෑම නිවසකටම ජලය සහ විදුලිය රජය මගින් සපයා ඇත.
මිනිස්සු විසින්ම සර්පයන් ඇතිකරගෙන දැන් උන් කෑවෝ කෑවෝ කියමින් වටේ දුවමින් සිටීයි. ස්වභාව ධර්මයට අනුකූල නොවන ලෙසට ස්වභාව ධර්මයට එරෙහිව කටයුතු කල අයට ස්වභාව ධර්මය විසින් දඩුවම් කරමින් සිටීම දෛවයේ සරදම් නොවේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *