සමීප මිතුරා හා එරෙහි සතුරා අඳුරාගත නොහැකිව ඩිමෙන්ෂියා තත්ත්වයේ සිටන ආණ්ඩුව

ජාතික ජන බලවේගය බලයට පත් කරවීම සඳහා මතවාදීව සහයෝගය දැක්වූ බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හා අනිකුත් මාධ්‍ය ⁣ක්ෂේත්‍රයන්හි මාධ්‍යවේදීන් මේ වන විටත් මේ ආණ්ඩුවේ කෙරුම්කාරයන්ගේ කෙරුවාවන් ගැන දැඩි කළකිරීමකට ලක්වී සිටීයි.ඒ ජාතික ජන බලවේග ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඔවුන් පිළිබඳව දක්වන නොසැළකිල්ල නිසාය.මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් අතරින් ⁣වැඩි දෙනෙකු ජාතික ජන බලවේගය බලයට පත් කරවීම සඳහා මාධ්‍යකරණයේ නිරත වූයේ පෞද්ගලික වාසි අපේක්ෂාවෙන් නොවේ.අදටත් ⁣මේ සියල්ලන් ආණ්ඩුවෙන් තඹ දොයිතුවක උදව්වක් බලාපොරොත්තු වන්නේද නැත.
ජනතා විමුක්ති පෙරමුණේ පැරණි ක්‍රියාකාරිකයකු වූ වාරණ ආනන්ද සහෝදරයා මේ රටේ බොහෝ ප්‍රදේශවල ඇවිදිමින් සිය යූ ට්යුබයෙන් ජාජබය බලයට පත් කරවීමේ අදහස සමාජය තුළ වැපිරුවේ නිශ්සරණාධ්‍යාසයෙනි.
⁣නගරාන්තර දුම්රිය වල ,බස් රථ වල නැගී එසේත් නැති නම් නගර වල ඇවිද යමින් ඔහු ඒ ප්‍රචාරයේ නිරත විය.ඒ තමන් ගේ සිත තුළ රැඳි දේශපාලන සිහිනය රජ කර වීමේ අවශ්‍යතාව සඳහා මිස ගෝස්තරය හොයා ගනු පිනිස නොවේ.මේ වන විට වාරණ ආනන්ද ⁣සහෝදරයා රෝගාතුරව සිටීයි.අඩුම තරමේ ජාජබයේ පියුන් සහෝදරයෙකුවත් මේ මිනිසාට සිදු වූයේ කුමක්ද යන්න ගැන මෙතෙක් අවධානය යොමු කර නැත.ඒ එක මිටට සහෝදරවරුන්ගේ අකෘතඥ බව හා නොසැලකිල්ල ගැන එක උදාහරණයක් පමණය.ඔහු ඒ ගැන දුකින් සිටින මුත් ආණ්ඩුවට එරෙහිව කිසිදු දෝෂාරෝපනයක් එල්ල නොකිරීමද වටිනේය.
ඇතැම් විට ජනපති අනුර දිසානායක සහෝදරයා ඇතුළු ජාජබ මැති ඇමති මන්ත්‍රීවරුන් “දැන් අපට උඹලා වැනි දෙකයි පනහේ සිල්ලරයන්ගේ සහයෝගය අවශ්‍ය නැතැයි” සිතෙන මානසිකත්වයක සිටීදැයි අපි නොදනිමු.එහෙත් අපට එය එසේ යැයි සිතන්නට සිදු වී තිබේ.
බලයට පත් වීමට පෙර තමන් සමග ගණුදෙනු කළ ජාජබයේ ඉහළ ඇවරියේ කෙරුම්කාරයන් දැන් තමන්ගේ දුරකථන ඇමතුමකටවත් පිළිතුරු නොදෙන බව ⁣බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මැසවිලි නගයි.මේ මැසවිල්ල සිය හිතවතුන් එකිනෙකා අතර බෙදා හදා ගන්නවා විනා ඉන් විපක්ෂයට වාසි සලසා ගන්නට ඔවුන් ⁣ඉ⁣ඩ නොදේ.
මේ අතරේ සිටින එක් සමාජ මාධ්‍ය ක්‍රියා කරුවකු අප සමග පැවසුවේ තමන් හා ඉතා සමීපව ආශ්‍රය කළ ජාජබයේ ඉහල පෙලේ සහෝදරයකු ඇමතිවරයකු වීමෙන් පසුව ඔහු හට තමා අවස්ථා ගණනාවකදී දුරකථන ඇමතුම් ලබා ගත් නමුත් ඔහු කිසි විටක ප්‍රතිචාර නොදැක්වූ බවය.එපමනක්ද නොවේ.තමන් විසින් මැසේජ් සිය ගානකට ආසන්න සංඛ්‍යාවක් එම ඇමතිවරයා වෙත යවන ලද නමුත් ඒ කිසිවක් කියවීමටවත් ඔහු අවධානය යොමු කර නැති බවත් ඒ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා පැවසීය.
මේ තොරතුරු මඩ ගහන්නට ලියන අනාවරණය කිරීම් නොවේ.සිත් බරපතල විදියට රිදී ඇතත් ඒ සමාජ මාධ්‍ය ක්‍රියා කාරිකයන් තවමත් සිටින්නේ ජාජබ ආණ්ඩුව ආරක්ෂා කර ගත යුතුය යන අදහසේය.ආණ්ඩුව තුළ සිට්න පට්ට දූෂිතයන් ගැන හෙළිදරව් කරන විට ආණ්ඩුවේ කෙරුම්කාරයන් කෝප වන්නේ ඒ අනාවරණය කළ මාධ්‍යවේදියා හෝ සමාජ මාධ්‍යවේදියා සමගය.එවැනි අවස්ථාවන් කිහිපයක් ගැනද අප හට වාර්තා වී තිබේ.ඒ අතුරෙන් ජාජබ ආණ්ඩුව බලයට පත් කරවීම සඳහා විදේශගතව සිට මාධ්‍ය තුළ මරා ගෙන මැරෙන තරමට, මතවාදී හැසිරවීමේ මෙහෙයුමක් කළ ⁣ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු අප හට පෞද්ගලිකව කළ මේ ප්‍රකාශය හොඳටම සෑහේය.
“….මචං අහවලා වෙනද මේ රටට එද්දි ම⁣ට කතා කරල හම්බ ⁣වෙන්න එන්න කියල කියනවා.ඒත් බලය⁣ට පත් වීමෙන් පස්සෙ ඒ ගනුදෙනු එයා නතර කෙරුවා.කමක් නෑ.කෙළෙහිගුණයක් නැති කම ඉතාම ඉක්මනින් පෙන්වීම ගැන මම සතුටු වෙනවා.මට කණගාටු දූෂිතයන් මේ ආණ්ඩුව හසුරවන එක ගැන.මේ ආණ්ඩුව බිඳ වට්ටන්න ඕනෑ කමක් මට නෑ.⁣මොකද මේ ආණ්ඩුව බිඳ වට්ටල ඊලගට බලයට පත් කරවන්න තරමේ පක්ෂයක් හරි නායකයෙක් හරි තවමත් පේන තෙක් මානයක නෑ.නමුත් මේ යන විදියට ආණ්ඩුව ගමන් කරන්නෙ අතුරෙ යනවා වගේ.ආණ්ඩුව දැන් ලං කර ගෙන ඉන්න දූෂිතයො රැළ අවස්ථාව ආවහම ආණ්ඩුවට දෙනව ඇඩ්‍රස් නැතිවෙන්න.ඒ දවසට මෙයාල ආරක්ෂා කරගන්න එක ප්‍රාණියෙක් නැතිවෙයි.මෙයාල දැන් හිතං ඉන්න කැටයම් දාපු වචන වලින් විතරක් ආණ්ඩුව රැක ගන්න පුළුවන් වෙයි කියල. බලය ගන්න ඉස්සර මාර සහෝදරකම් පෙන්නුව මේ හාදයන් මේ විදියට වෙනස් වුනේ කෝමද කියල හිතා ගන්නවත් බැහැ…”
සැබැවින්ම බලයට ඒමට පෙර දේශපාලනිකව මාධ්‍යය ඉතා සමීපව ඇසුරු කළ නායක සහෝදරවරුන් සිතා ගත නොහැකි වෙනසකට පරිවර්තනය වී තිබෙන බව මේ වන විට අහු මුලු වල කතාබහ වෙමින් පවතී.ඒ ආණ්ඩුව එක මිටට තබා ගැනීමට පැලවත්තෙන් ප්‍රකාශිත මිල්ටෙරි ආඥාවන් නිසාදැයි සැකයකි.කෙසේ වෙතත් ආණ්ඩුවේ ස⁣හෝදරවරුන් මේ ආකාරයට මාධ්‍යය ගණු දෙනු අත් හැරීම ⁣නම් හොඳ වැඩක් නොවේ.ආඥාදායක දේශපාලනික හැසිරවීමෙන් මානුෂික බැඳීම් කඩා බිඳ දමන්නේ නම් එහි කෙළවර දැකිය හැකි වන්නේ අවාසනාවන්ත ඉරණමකි.
ජාජබ නායක සහෝදරවරුන් මාධ්‍ය සබඳකම් අත් හැර දැමීමේ ප්‍රතිඵළය දැක ගත හැකි වනු ඇත්තේ අද හෙට නොවේ.තව අවුරුදු දෙක තුනක් ගෙවී යද්දී ආණ්ඩුවේ රැස් වලල්ලේ විදුලි බුබුළු වල ආලෝකය ක්‍ර⁣මයෙන් අඩුවී යන විට එය දැක ගත හැකි වනු ඇත.
ජාජබ ආණ්ඩුව දැන් පත්ව ඇත්තේ තමන්ගේ සමීප මිතුරා කවුද හා තමන්ට එරෙහි සතුරා කවුද යන්න අඳුරාගත නොහැකි ඩිමෙන්ෂියා තත්ත්වයකට යැයි සැකයකි.ඒ බව තහවුරු කෙරෙන තොරතුරුද බොහෝය.මේ ඩිමෙන්ෂියාව නිසාම ආණ්ඩුවේ සහෝදරවරුන් උද්දච්ච ආකාර⁣යෙන් හැසිරෙන බවක්ද පෙනෙන්නට තිබේ.පහල සිට ඉහල දක්වා ගොනාට ඇන්දවීම් ගැනද අසන්නට ලැබේ.ජනපතිවරයා පවා තමන් ගේ සමීපතමයන්ගේ කයිවාරු අසා කිසිවක් සොයා නොබලා වචන මුදා හැරීම නිසා ආණ්ඩුවේ ක්‍රියාකාරකම් විහිළුවක් වීමේ ප්‍රවනතාවක්ද මතු වී ඇති බව පැහැදිලිය.මේ විහිළුව කෙහෙන් නතර වේදැයි සිතා ගන්නටත් නොහැකිය.
⁣කෙසේ වෙතත් ආණ්ඩුවේ නායක සහෝදරවරුන්ට නැවත ආපසු හැරී බලන්න යැයි අපි පවසමු.ඔබෙන් අත් හැරුණු සබඳතාවන් නැවත වැළඳ ගත යුතු බව අපි සිහිපත් කරමු.උද්දච්චකම් හා මෝඩකම් අහවර කර බලයට පත් වීමට පෙර මාධ්‍ය සමග කළ ආදරණීය ගණුදෙනු නැවතත් ඇරඹීමද වටීයි.අප එසේ ලියන්නේ ආණ්ඩුවට කෙල වුනහොත් ඒ කෙල වීම නතර වන්නේ රුධිරය ගංඟාවකින් බව අපට වැටහෙන නිසාය.
ආණ්ඩුවට සම්බන්ධව සිට්න දූෂිතයකු හෝ වෙනත් තක්කඩි ජාවාරමක් ගැන අනාවරණය කර විට ජාජබයේ ඉහළ ඇවරියේ ඇත්තන් මුහුණු කොරස්හට්ටියක් කර ගත යුතු නැත.
මේ ලියුම්කරු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරිය ගේ ආණ්ඩු කාලයේ විකල්ප පුවත්පතක ලියන ලද විවාදාත්මක ආරක්ෂක තොරතුරු අනාවරණය කිරීමකට මෙරට ආරක්ෂක ප්‍රධානීන් අවි අමෝරා ගත්හ.ආරක්ෂක කවුන්සිලයේදී එම ලිපිය සාකච්ඡාවට ගෙන මේ ලියුම්කරු අත් අඩංගුවට ගත යුතුය යන යෝජනාවද ජනපතිවරිය වෙත ඉදිරිපත් කෙරිණි.එහිදී ජනපතිවරිය පවසා ඇත්තේ වචන කිහිපයක් පමණි.
“…..ඔය හාදය ඇරස්ටි කරොත් මම මැරෙනකම්ම ඔය චෝදනාව මට එල්ල වේවි.ඊටත් වඩා ඔය ලිපි⁣යෙ තියෙන කරුණු ජිනීවා දක්වා යාවි.එතැන් ඉඳල ආණ්ඩුවට උත්තර දෙන්නත් සිද්ධ වේවි.මොකද ඒ ලිපියෙ අසත්‍ය තොරතුරු නැහැනේ.ඒ හන්ද සද්ද නැතුව කඩේ වහල දාල ඉන්න.එතකොට ලබන සති අන්තෙ ඊළඟ පත්තරේ ආවහම ඔය ලිපිය ගැන නොවෙයි සමාජය කතා කරන්නෙ අලුත් පත්තරේ තියෙන වෙනත් තොරතුරක් ගැන.ඒ නිසා අහක තියෙන ප්‍රශ්ණ තමුන්ලගෙ ඔඩොක්කු වලට දාගෙන වැඩේ අවුල් කරගන්න එපා..”
ඉන් අනතුරුව ජනපතිවරිය කර්තෘ වරයාට ඇමතුමක් ගෙන ලියුම්කරු ගැන විමසා රාජ්‍ය ආරක්ෂාව ගැන වගකීමෙන් කටයුතු කරන ලෙසට ඔහුට දන්වන්න යැයි සුහදව උපදෙස් දී ප්‍රශ්ණය නිරාකරණය කෙරුවාය.කර්තෘවරයාද ඒ දිනවල චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරියගේ සමීපතමයෙක්ද විය.
කෙසේ වෙතත් ජනපතිවරියගේ දේශපාලනික දුර දැක්ම හා පරිනත බව ඉහළ බව ඒ ආදර්ශය තුළ තහවුරු වේ.
එහෙත් ⁣මේ ආණ්ඩුවට එරෙහිව එවැනි අනාවරණයක් කෙරුවේ නම් ලියන්නා පොලීසියෙන් කුදලා ගෙන යන්නේ ආණ්ඩුවේ කෙරුම්කාරයන්ගෙන්ද ⁣නොවිමසාය.ඒ තරමට දැන් පොලීසිය ස්වෛරී වී ආණ්ඩුව ජනතාවගේ වෛරයට පත් කරවන ආකාරයේ “වැඩ කිඩ” පෙන්වමින් සිටී.ඒ ගැන ආණ්ඩුවේ කෙරුම්කාරයන්ගේ සොයා බැලිල්ලක්ද නැත.එසේ යමක් සොයා බලන්නේද පොලිස් කෙරුවාවකින් ආණ්ඩුවට මුහුණ දෙන්නට බැරි තරමට ප්‍රශ්ණයක් උද්ගත වූ විටය.
මෙරට පැවැති ආණ්ඩුවල දේශපාලන බලධරයන් කිසි විටක තමන් සමග පැවැති මාධ්‍ය සම්බන්ධතා අත් නොහලේය.එහෙත් ජාජබ ආණ්ඩුවේ කෙරුම්කාරයන් ගේ භාවිතය කෙළෙහි ගුණයක් නොදන්නා තරමේය.
⁣කෙසේ වෙතත් මේ ආණ්ඩුව බලයට පත් කරවීමට සිය මාධ්‍ය භාවිතය හැසිරවූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකු අද දවස වන විට ආණ්ඩුව පිළිබඳව පවතින ඒ සිත් රිදුම ගැන ජාජබයේ ඡ්‍යෙෂ්ඨයන් වහා අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. නැතහොත් සෙවෙච්ඡාවෙන්ම ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රචාරාත්මක කාර්ය භාරයක් ඉටු කරමින් සිටින මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් පදාසයක්ම නුදුරේදී ගැලවී යන්නට ඇති ඉඩ හැකියාව බොහෝය.අතිරසත් තිත්ත වන්නේත් පැණි වරකාවට හෙණ වදින්නේත් එවිටය.
එළු අත්තනගලු වංශයේ රාජ්‍ය පාලකයන් සම්බන්ධයෙන් කර ඇති මේ සඳහන දැන් මේ ආණ්ඩුවේ කෙරුවාවට සමීප යැයි අපට සැකයකි.
“….රාජ්‍ය නැමති සුරා මදයෙන් මත් වූ සමහර කෙනෙක් සභා නැමති විලට කණ කොකුන් වූවාහු,බොරු ස්තූතියෙහි දක්ෂ වූ කපුටන් විසින් රවටනු ලබන්නාහු ඔවුන් කියන සියල්ල ඇත්ත යැයි ආරෝපනය කරගන්නා ලද තුච්ඡ අභිමාන ඇත්තාහු,දෙවියන්ගේ අංශයකින් උපන්නවුන් මෙන්ද ,දෙවියන් සහිත වූවන් මෙන්ද,මිනිස් බව ඉක්මවූවන් මෙන්ද තමන්ගේ ආත්ම මදයෙන් තුමූම මත් වී ඉදිමෙන්නාහුය…”
ඒ අතරේම කෝලම් කූට්ටමේ දැක්වෙන පරිදි ” රජුන් ඇමතියන් කියන කියන දේ දෙකට නැමී ලියා තුනට නැමී ඔප්පු කොට වරදක් තිබුණොත් හතරට නැමී යාප්පු වන ලියන අප්පු ලාගේ ලෙව කන කලාවට වඩා” අපේ ලේඛන කලාව වෙනස් බවත් ආණ්ඩුව තේරුම් ගැනීමද වටී.
( මාධ්‍යවේදියෙකු විසින් අප වෙත එවන ලද ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *