වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුව ත්රිකුණාමලයේ දී නීතිය නවමින් සිටීයි. එම දෙපාර්තමේන්තුවේ ත්රිකුණාමලය කාර්යාලයේ උසස් නිලධාරියකු වන රඹුක්වැල්ල, හිටපු ජනපති මහින්ද රාජපක්ෂක ගේ බිරිඳ ගේ ළඟම ඥාති පුත්රයෙකි. එම නිසා ත්රිකුණාමලය වෙරළ කලාපයේ ඉදිකිරීම් සොයා නඩු දැමීමේ දී පොහොට්ටුවේ හා පොහොට්ටුවට සම්බන්ධ අයද දෙමළ ව්යාපාරිකයන්ට ද නීතිය නවයි.
පොහොට්ටු ප්රබල ක්රියාකාරිකයෙකු මෙන්ම මෙවර ත්රිකුණාමලය මහ නගර සභාවට ස්වාධීනව තරගකර පත්වු මන්ත්රී සමිත් දර්ශනගේ නිවස ද ආරියවතී ගලප්පත්ති ගේ තෙමහල් නිවසට ද පත්තානම්බර් සල්ලි, සාම්බල්තීව්, තිරුකඩලූර් හී දෙමළ ව්යාපාරිකයන්ට ද නීතිය ක්රියාත්මක නොකර මගහැර යමින් සිටී.


ආණ්ඩුවේ ආයාසය නීතියේ ආධිපත්යය සැමට එකලෙස ගෙන ඒම වුවද රඹුක්වැල්ල ගේ හා පොලිසියේ ආයාසය ලොකු එකාට නීතිය නවමින් පොඩි එකාට නීතිය ක්රියාත්මක කිරීමය.
මුදල් බලය ඇති එකාට ඕනෑම දෙයක් කරගන්නට ඉඩදෙන න්යායකට මාරුවී ඇති වෙරළ සංරක්ෂණ නීතීය ත්රිකුණාමලයේ දී රඹුක්වැල්ල ගේ නීතිය බවට පත්වීම ආණ්ඩුව කෙරෙහි පොදු මහජනයාගේ අප්රසාදය වැඩිවෙමින් පවතින්නට හේතුවකි
ත්රිකුණාමලය වෙරළ කලාපයේ පිහිටි පත්තනම්බාර්, සල්ලි සාම්බල්තීව් තිරුකඩලූර් යන පෙදෙස් වල ඇති ප්රබල ව්යාපාරිකයන්ගේ නිවාස හා කෝවිල් ස්ථිරවම වෙරළ කලාපයේ පිහිටියද ඒවාට කිසිවකුත් නීතිය ක්රියාත්මක නොකරයි.
වෙරළ සංරක්ෂණ පනත, සමුද්රගම, මනයාවෙලි, තිරුකඩලූර්, නිලාවේලි අහිංසක ධීවරයගේ වාඩි හා නිවාස වලට පමණක් ක්රියාත්මක වේ.
ශ්රී ලංකාවේ වෙරළ කලාපය ආරක්ෂා කිරීම සඳහා නීති ගෙන ආවේ ජාතික පාරිසරික පනත හා සමකාලීනව එනම් 1981අංක 57 දරන වෙරල සංරක්ෂණ පනතෙනි. එයට සංශෝධනයක් ගෙන ආවේ 2011අංක 49 දරණ සංශෝධන පණතෙනි. එවක් පටන් එය “වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනත” නම් විය.
මෙම පනත ප්රාකාරව නීතිය සැමට එකසේ ක්රියාත්මක විය යුතු වුවද දැන් එය ක්රියාත්මක වන්නේ දෙබඩි පිළිවෙතකිනි. ජනාධිපතිවරයා මඩකළපුවේ දී කියා සිටියේ ද වෙරළ සංරක්ෂණ පනත යටතේ නීතිය ක්රියාත්මක කිරීමේ දී ගැටලු ඇති නොවනසේ සිදුකරන්නටය. පක්ෂාග්රාහීව කටයුතු නොකරන්නට ය. ඇතිහැකි එකා අතැර නැතිබැරි එකාට පමණක් නොකෙලවන්නටය.
නමුත් ජනාධිපතිවරා නොදන්නා දේ නම් ත්රිකුණාමලයේ වෙරළ සංරක්ෂණ නිලධාරීන් වන පායිස් හා රඹුක්වැල්ල පොහොට්ටුවට හා මහා පරිමාණ කුඩු ජාවාරමින් ඉපැයූ මුදලින් ගොඩනැගූ වෙරළ කලාපයේ ගොඩනැගිලි වලට නීතිය ක්රියාත්මක නොකරන බවය.

පොලීසිය හා වෙරළ සංරක්ෂණ නිලධාරීන් එක්ව පසුගිය මාස කිහිපය පුරාවටම වෙරළ කලාපයේ ඉදිකිරීම් වලට එරෙහිව ත්රිකුණාමලයේ ක්රියාත්මක කල නඩු පැවරීම් හා කඩා දැමීම් වලට වෙරළ කලාපයේ ඉදිකිරීම් කර ඇති නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමතිනී ආරියවතී ගලප්පත්ති ගේ හා ඔවුන්ගේ නෑයන්ගේ තෙමහල් නිවාස හෝ පොහොට්ටු ක්රියාකාරික ත්රිකුණාමලය මහ නගර සභා මන්ත්රී ගේ නිවස හෝ දෙමළ ව්යාපාරික ලොක්කන්ගේ නිවාස හා ව්යාපාරික ස්ථාන ඇතුළත් නොවිමය.
මේවා සියල්ල පක්ෂාග්රාහීව හා ජාතිවාදී පදනමින් සිදුකළ ඒවා බව මාලිමා ආණ්ඩුවේ මහජන නියෝජිතයන් නොදන්නවා විය යුතුය. නැතිනම් ඒවා දැන දැන ද නොදන්නා සේ සිටිනවා විය යුතුය.
කෙසේ වෙතත් වෙරළ සංරක්ෂණ නිලධාරීන් ගේ මේ දෙබඩි පිළිවෙත නිසා අපහසුතාවට පත්වන්නේ ද කෙලවාගන්නේ ද ආණ්ඩුවම බව ජනාධිපතිවරයා හෝ තේරුම් ගත යුතුය.

