කොල්ලුපිටියේ මුහුද අද්දර පිහිටි “ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය” වසර 125 ක සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියපායි.
මුහුදු සුළඟේ බලපෑම් එම පාසලේ පැවැත්මට එල්ල වූ වගක් එම ඉතිහාසය පුරාවට වාර්තා වී නොමැත.
කෙසේ වෙතත් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන්නට වූ දා සිට මේ පාසල ක්‍රමක්‍රමයෙන් බිඳ වැටෙන්නට පටන් ගෙන තිබෙි.
මෙහි ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමිකව අඩු වන්නේ මුහුදු සුළඟේ ගසා ගෙන ගොස් නම් නොවේ. කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් මේ පාසල, තම පටු අරමුණු මුදුන්පත් කර ගැනීමට යොදා ගැනීම තුළ මාපියන් විසින් තම දරුවන් දිනෙන් දින පාසලෙන් ඉවත් කර ගනිමින් සිටියි.
මීට වසර කිහිපයකට පමණ පෙර 2,500 ඉක්මවූ මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව අද වනවිට 1,020 ක් දක්වා අඩුවී ඇත.
2025 වසරේ අප්‍රේල් මාසයේ විදුහල්පතිවරිය ස්ථාන මාරු වී ගිය පසුව මෙතෙක් එම ධූරයේ 04 දෙනකු රාජකාරි කර ඇත්තේ වැඩබලන පදනම යටතේයි. විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයකු වන වත්තුහේවා මහතාගේ බිරිඳ වන දැනට වැඩබලන විදුහල්පති M. G. A. දිල්රුක්ෂි මහත්මිය විසින් අමුතු වැඩකට මුල පුරා තිබෙි.
ඒ සුළං බාධක ව්‍යාපෘතියක් සහ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහාය. (Wind Break Project & Sport Complex).
මුහුදු වැලි බිමක මෙබඳු සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට පෙර ශක්‍යතා අධ්‍යයනයක් අනිවාර්යයෙන් කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ.
එහෙත් එවැනි අධ්‍යයනයක් තබා විෂයගත ව්‍යාපෘතිය පිළිබඳ යෝජනාවක් හෝ කිසිදු තැනක සාකච්ඡාවකට වත් බඳුන්ව නොතිබිය දී වැඩබලන විදුහල්පතිවරිය විසින් අරමුදල් රැස් කිරීම ආරම්භ කර ඇත. ඒ 1,020 ක් වන පාසලේ සිසුන් ලවායි.
රුපියල් 100 ක් වන කොටු 50 ක් සහිත කාඩ් පත්‍රයක් මේ වෙනුවෙන් මුද්‍රණය කැ ඇත.
එම එක් කාඩ් පත්‍රයක කොටු සියල්ල සලකුණු වුවහොත් එමඟින් රුපියල් 5,000 ක මුදලක් ආවරණය වේ.
පාසලේ සෑම ශිෂ්‍යාවක් අතටම මේ වනවිට කාඩ් පත් දෙක බැගින් ලබා දී ඇත්තේ වැඩබලන විදුහල්පතිවරියගේ අත්සන සහ නිල මුද්‍රාව සහිතවයි.
2026 ජුනි මස 30 ට පෙර කාඩ්පත් ආපසු පාසලට ලබා දිය යුතු අතර, එසේ බාර නොදෙන්නේ නම් එහි වටිනාකම වන රුපියල් 5,000 පාසලට ගෙවිය යුතුයි.
ඉතා ඉක්මනින් හා වැඩි කාඩ්පත් ප්‍රමාණයක් සම්පූර්ණ කර දෙන අයවළුන්ට ත්‍යාග ලබා දීමේ “කැසිනෝ – ජැක්පොට්” ගණයේ ප්‍රවර්ධනයක්ද ක්‍රියාත්මක කිරීමට තරම් ප්‍රඥා සම්පන්න වී ඇති වැඩබලන විදුහල්පතිවරිය ඒ බව මෙම කාඩ්පත් වල සඳහන් කිරීමට තරම් විනිවිදව කටයුතු කිරීම හාස්‍යයට කරුණක්.
ඒ අනුව ත්‍යාග ලබා ගැනීමේ අරමුණ පෙරදැරිව හෝ පාසල තුළ තමන් අසමාන සැලකුම් වලට ලක්වේය යන බිය මත පදනම්ව සියළුම අය තමන් වෙත ලබා දී ඇති කාඩ්පත් දෙකම සම්පූර්ණ කර බාර දෙන්නේ නම් (10,000 x 1,020) එමගින් අරමුදල තරවන තරම අනුමාන කළ හැකිය.
මෙය පාසල් ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් රැස් කිරීමේ නියමු (Pilot) ව්‍යාපෘතියක් ලෙස ගැනිය හැකි වුවද, රටේ පවතින නීතිය අනුව පාසල් වල දෙමව්පියන්ගෙන්, දරුවන්ගෙන් හෝ දරුවන් ලවා මුදල් එකතු කිරීම තහනම් වෙනවා.
එමෙන්ම මේ ක්‍රියාවලිය තුළ දරුවන්ව සුදුවට පොළඹවාලන ගති ලක්ෂණ තිබියදී මෙම කොටු කාඩ් පත් සිසුන් අතරේ බෙදා දීමට අනුමැතිය දුන් පළාත් අධ්‍යාපන අධ්‍යාපන දෙපාර්තමේන්තුව, සූදුවට බර මතු පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වී සිටින්නේ දැයි සොයා බැලීම වැදගත් වෙි.
ගුරු විදුහල්පති සංගම් චෝදනා කර සිටින්නේ, වැඩබලන විදුහල්පතිවරියගේ මෙම කාඩ් සෙල්ලම සේම, ඇය එම තනතුරට පත්කිරීමද අසම්මත, අනීතික ආකාරයට සිදුවූවක් බවයි.
එම අශිෂ්ඨ ක්‍රියාවලිය ද ඉදිරියේදී හෙළිදරව් කරමු.
2026-05-27

