නිසි ශක්‍යතා වාර්තාවක් නොමැතිව මීගමුව කලපුවට යාබදව ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් ඉදිකිරීමට සැලැසුම් කර තිබූ VENEZIA – NEGOMBO නිවාස ව්‍යාපෘතියේ නිවාස මිලදීගත් පිරිස අලි අමාරුවක වැටී ඇතැයි වාර්තා වේ.
ඒ ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් එම නිවාස ව්‍යාපෘතියට කිසිදු අවසරයක් නොගෙන ජනතාව රවට්ටා මුදල් ලබාගෙන තිබීම නිසාය.
අඩි 12ක් පමණ පටු මීගමුව කුරණ සී.එම්. ප්‍රනාන්දු මාර්ගයේ කෙරවලේ කලපුවට මායිම්ව ද විශාල කඩොලාන රක්ෂිතයක් මධ්‍යයේද ඇති අක්කර 08ක මේ භූමියේ නිවාස 400ක් හදන බව කියමින් අදාළ ආයතනය මේ මුදල් ලබාගෙන තිබේ.

කෙසේවුවද, මේවන විට අදාළ ව්‍යාපෘතියේ 78%ක්ම නිවාස විකිණී ඇති අතර එසේ විකුණූ වැඩි නිවාස ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ ප්‍රයිම්ලාගේ කඩදාසි හීනවලට නැති නම් කොළකෑලි, ත්‍රීඩී චිත්‍ර හා ත්‍රීඩී වීඩියෝපටවලට රැවැටී බවද වාර්තා වේ.




මේ අතර, මෙම සියලු නිවාස විකුණා ඇත්තේ පාරිභෝගිකයන්ට අවම වශයෙන් අදාළ ඉඩම පෙන්වා හෝ නොවීම ද විශේෂ සිද්ධියකි.
අදාළ ව්‍යාපෘතියට මේවන විටත් ප්‍රදේශවාසීන්ගේ විරෝධය මතුව ඇති අතර “දේශය සුරැකීමේ සිවිල් සංවිධානය” විසින් අදාළ විරෝධය ගොනුකරමින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළනාකරණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් ලිඛිත විරෝධයක් දක්වා තිබේ.
එම සංවිධානය පෙන්වා දී ඇත්තේ අදාළ ඉඩමට පිවිසීමට ඇති අඩි 12ක් පමණ මාර්ගය දිගේ ඉදිකිරීමේ අමුද්‍රව්‍ය ප්‍රවාහනය හා එහි අවශ්‍යතා සපුරා ගැනීමට යාමෙන් එහි ඇතිවන වාහන තදබදය නිසා එහි ප්‍රදේශවාසීන්ට දැඩි අපහසුතා මතුවන බවයි.
එසේම තවත් පිරිසක් පවසන්නේ මේ මාර්ග තුළ ටිපර් වැනි විශාල වාහන ගමනා ගමනය නිසා එම මාර්ග කැඩී බිඳීයාමේ අවදානමක්ද ඇති බවයි.
තවද, මෙවැනි දැවැන්ත නිවාස ව්‍යාපෘතියකට විදුලිය හා ජලය ලබා ගැනීමේදී එම පටු මාර්ගවල ඇති පද්ධති කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද ඔවුහු පෙන්වා දෙති.
මේ අතර මේ ව්‍යාපෘතිය පාරිභෝගිකයන්ට අලෙවි කිරීමේදී අදාළ ඉඩමේ පිහිටා ඇති අධි සංවේදී පාරිසරික පද්ධතියක් වන කඩොලාන රක්ෂිතය ද ව්‍යාපෘති සැලැසුම්වලට ඇතුළත් කර ඇති බවට ද ඔවුහු චෝදනා කරති.
මේ ව්‍යාපෘතියට ප්‍රධාන වශයෙන් සහ සම්බන්ධිත මීගමු කලපුවට සම්බන්ධ වන කෘතිම ඇළ මාර්ගය හරහා නිවාස 400ක පමණ ප්‍රමාණයක අප ජලය ස්වභාවික පරිසර පද්ධතියට එකතුවීමේ දැඩි අවදානමක් ගැන ද දේශය සුරැකීමේ සිවිල් සංවිධානය පෙන්වා දී තිබේ.
පිරිසක් නැවත සල්ලි අරන්
VENEZIA – NEGOMBO නිවාස ව්‍යාපෘතියට අනුමැතිය ලබා ගැනීමේ ගැටලු ඇති බව දැනගත් පාරිභෝගිකයන් පිරිසක් ඔවුන්ගේ මුදල් නැවත ඉල්ලාගෙන ඇති බවද වාර්තා වේ.මේ අතර, මේ ව්‍යාපෘතිය අනුමත කිරීමට නම් අවම වශයෙන් අඩි 30ක හෝ පිවිසුම් මාර්ගයක් අදාළ ඉඩමට තිබිය යුතු බැවින් ප්‍රදේශවාසීන්ගෙන් එම ඉඩමට සමස්ත ලෙස ඇති අඩි 8ක පමණ මාර්ගය විශාල කර ගැනීමට එහි බලධාරීන් විශාල වෙහෙසක් දරමින් සිටින බවද පැවසේ.
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් ප්‍රවීන ගෘහ නිර්මාණ ශිල්පියකු කියා සිටියේ මීගමුව ප්‍රදේශයේ සමස්ථයක් ලෙස පිහිටා ඇත්තේ ඉතා කුඩා මාර්ග බවත්, එම නගරය පුරා ජීවත්වන බොහෝ පිරිසකට ඇත්තේ ඉතා කුඩා ඉඩම් කැබලි බවත්, මේ නිසා මෙවැනි ව්‍යාපෘතියකක් සකස්කර ගැනීමට පවතින පාරවල් විශාල කර ගැනීමට උත්සාහ කිරීම හීනයක්ම බවයි.
මේ නිවසක මිල ආරම්භ වන්නේ රුපියල් 58,000,000 කින් වන අතර, මෙහි නිවාස විකිණීම ආරම්භ කරන ලද්දේ 2024 ඔක්තෝබර් මාසයේ සිට පමණ වන අතර, අදාළ අනුමැතීන් නොලැබීම නිසා මේ දක්වා අදාළ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කිසිදු මූලික ආරම්භයක් තබා නොතිබීම ද විශේෂිතය.
කවුද මේ කට්ටිය

ප්‍රයිම් ලෑන්ඩ්ස් හි සමූහ සභාපතිවන්නේ, බ්‍රහ්මණගේ ප්‍රේමලාල්ය, එහි සමූහ සම සභාපති ලෙස සඳමිණී පෙරේරා කටයුතු කරන අතර, අධ්‍යක්ෂවරුන් ලෙස නලින්ද හීනටිගල අධ්‍යක්ෂකවරුන් හා වරියන් ලෙස අනුර පතිරගේ, දිනූෂා ප්‍රනාන්දු හා ෂෙහානා බ්‍රහ්මණගේ කටයුතු කරන බව ප්‍රයිම්ලෑන්ඩ්ස් නිල වෙබ් අඩවියේ සටහන්කර තිබේ.එසේම මෙහි අධ්‍යක්ෂවරුන් ලෙස තවත් නම ගිය පිරිසක් වන මහාචාර්ය ආනන්ද ජයවර්ධන, මහාචාර්ය සම්පත් අමරතුංග,ධම්මික කලපුගේ හා දීපාල් සූරියආරච්චි වැනි පිරිස්ද යොදවා ගෙන ජනතාවට සැක නොඋපදින ලෙස මෙම ඉඩම් විකිනීමේ කටයුතු කරනු ලබයි.
ඇත්තෙන්ම අදාළ අධ්‍යක්ෂවරුන් වැටුප් මත එම තනතුරේ කටයුතු කරන අය පමණක් බවද අප කළ සොයා බැලීමකදී හෙළිවිය.
කෙසේවුද, මෙවැනි බාල වැඩවලට මුදල්වලට හෝ හූමිටි තැබීමට අදාල පුද්ගලයන් එක්වීමෙන් ඔවුන් මෙතෙක් රැකගෙන තිබෙන ගෞරවයට ද අවසානයේ වන්නේ හානියකි.



