වත්මන් ආණ්ඩුවේ නායකාදීන් බොරු කීවේ බලය ලබා ගැනීමට පමනක් කියා අපි සිතුවත් ඔවුන් බලය රැක ගැනීම සදහා චේතිය බොරු කියන තත්වයට පත්වී ඇත. පසුගිය දිනක නුවරඑළියේ දී පැවති රැස්වීමක්දී ජනාධිපති අනුර කුමාර දිසානායක කීවේ 2026 වසර සැමට එක නීතියක් ක්‍රියාත්මක කිරීමේ වසර බවට පරිවර්තනය කරන බවයි.
එම ප්‍රකාශයට සතුටු නොවී සිටිය හැක්කේ මළමිණියකට පමණි. එහි සැඟවුන අර්ථය ගතවූ වසර වලදී නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක වී නැති බවයි. එය අප කවුරුත් පිළිගන්නා සත්‍යයකි. මෙතෙක් නීතිය යනු පාලකයාගේ කැමැත්ත ය. ජනාධිපති වරයා මොන තරම් කැටයම් දමා එය කීවත් තවමත් නීතිය ක්‍රියාත්මක එලෙසමය. එහි කිසිදු වෙනසක් නැත.
උදාහරණය කීපයක් මෙසේය. වෘත්තීය සමිතියකට අයත් ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස්කර විකිණීම පිළිබදව වත්මන් කැබිනට අමාත්‍ය වසන්ත සමරසිංහ , නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන තිදෙනාට එරෙහිව පැමිණිල්ල ඇත. එය අපරාධමය චෝදනාවකි. එම නඩුව විභාග වූයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ය. මේ තිදෙනා අඩුම තරමින් අදවන තෙක් අධිකරණයේ නියෝග ක්‍රියාත්මක කර නැත. ඒ තිදෙනාම මේ වනතෙක් පැමිණිල්ල විමර්ශනය කරන නිළධාරින් වෙත ප්‍රකාශයක් ලබා දී නැත. වත්මන් ආන්ඩුව කරේ ප්‍රකාශ ලබා දෙන ලෙසට නියෝග කල මහේස්ත්‍රාත් තුමියව ජ්‍යෙෂ්ඨත්ව ධූරාවලියෙන් පහල කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත මාරුකර යැවීමයි
දෙවැන්න වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න 2023 දී බීමත්ව රිය පදවා අනතුරු කීපයක් කිරීම සම්බන්දව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේම නඩුකරයක් පැවතුණි. අදාල නඩු විභාගය අතරතුරදී විත්තිකාර රවී සෙනවිරත්නගේ නීතීඥයා මහේස්ත්‍රාත් තුමිය වෙත නොනිල තර්ජනයක් කලාය. ඒ බීමත්ව රිය පැදවීමේ චෝදනාව ඉල්ලා අස්කර ගැනීමට පොලීසිය සූදානම් නිසා එයට අවස්ථාව ලබාදෙන ලෙසත් එය ඉටුකිරීමට නොහැකි නම් නඩුව වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ විමසන ලෙසත් ය. එයට විරුද්ධ වූයේ ඉහත නිදසුනේම පෙන්වා දුන් මහේස්ත්‍රාත් තුමියයි. පොලිස් නිළධාරින් රවී සෙනවිරත්නව හදුන්වන්නේ අමු බේබද්දෙකු ලෙසය. අනික බීමත්ව රිය පදවා රිය අනතුරක් කල එකම පුද්ගලයා ඔහු නොවන නිසා මෙවැනි නඩුවක් සදහා ඔච්චර දැගලීමට අවශ්‍ය නැත. කල වරද බාරගෙන නියම කරනු ලබන දඩය රජයේ මුදලට බැර කරන ලෙසට ඉල්ලීමක් අධිකරණය වෙත ඉදිරිපත් කලවිට එයට අධිකරණය අවසර ලබාදීම සාමාන්‍ය දෙයකි. හිටපු පොලිස්කාරයකු වූ ඔහු එය නොදන්නවා නම් ඔහු සිට ඇත්තේ හොරා පොලිස් කන්ඩායකම ය. එම නඩුව ඇසීම නවතන ලෙසට ඔහු අභියාචනාධිකරණය වෙතින් අතුරු තහනම් නියෝගයක් ද ලබාගෙන ඇත.
තුන්වැන්න මෑතකදී රන්වල මන්ත්‍රීවරයා විසින් රිය අනතුරක් සිදුකිරීමෙන් පසු පොලීසියේ සහ ආන්ඩුවේ හැසිරීමයි. රන්වල මන්ත්‍රීවරයා බීමත්ව සිටියා කියා පිරිසක් කියනවිට ඔහු බීමත්ව සිටියේ නෑ කියා පලමුවෙන්ම කීවේ කැබිනට් මණ්ඩලයේ සිටින හොඳම ඩෝපර් ලාල්කාන්ත ය. පොලීසිය රන්වල මන්ත්‍රීවරයා බීමත්ව නොසිටි බවට වෛද්‍ය වාර්තාව ගන්නේ රිය අනතුර වී පැය 72 කට පසුවය. පොලීසිය කල යුතුව තිබුනේ මන්ත්‍රීවරයා රෝහල් ගතවන මොහොතේම අධිකරණ වෛද්‍ය පෝරමයක් ඉදිරිපත් කර වාර්තාව ලබා ගැනීමය. නමුත් එසේ නොකරන ලෙසට පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කලේ කවුද?
එහිම අනෙක් පැත්ත කෙසේද? එම රන්වල මන්ත්‍රී වරයාගේ බිරිඳ ගමන් ගත් වාහනය වෙනත් වාහනයකින් අනතුරක් සිඳුකර තිබුණි. පොලීසිය අත්ඩංගුවට ගත් එම රියදුරාව ඒ මොහොතේම අධිකරණ වෛද්‍ය පෝරමයක් මගින් වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඔහු බීමත්ව සිටිබව මාධ්‍ය වෙතද කීවෙිය. වත්මන් ආණ්ඩුව සැමට එකම නීතියක් ක්‍රියාත්මක කරන්නේ එලෙසය.
ඊට අමතරව මෑතදී ආන්ඩුවේ ඇමතිවරු 6 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි විභාග කරන බවට මහත් ප්‍රචාරයක් මාධ්‍ය හරහා ලබා දුන්නේය. ලැබී ඇති තොරතුරු අනුව එය හුදු මාධ්‍ය සන්දර්ශණයක් පමණි. අදාල පැමිණිලි අසත්‍ය නම් එම පැමිණිලි කල අයට විරුද්ධ බොරු පැමිණිලි කිරීමේ චෝදනා යටතේ නඩු පැවරිය යුතුය. හිටපු මහාධිකරණ විසුරුවකු වූ අල්ලස් කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කෙසේ ක්‍රියාත්මක වෙන්නේදැයි අපි විමසිලිමත් ව සිටින්නෙමු.
තවද ජනාධිපති අනුර කුමාර දිසානායකව ගෙදර යවන්න මිලියන 500 ක් වියදම් කල නිස්ශංක සේනාධිපතිට අද කිසිම අවුලක් නැත. සමාජ මාධ්‍ය අනාවරණය කර තිබූ පරිදි ඔහුගේ රැකවරණය සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සැදී පැහැදී සිටී. ඒ නිසා නිස්ශංක සේනාධිපති ලා ගැන කතා නොකර ඉදිම වටියි.
විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශයේ සිදුවූ අකටයුතුකම් ගැන හිටපු ඇමති මනූෂ නානායක්කාර වගකිව යුතුය. පරිසර අමාත්‍යාංශයේ සහ ඌව පලාත් සභාවේ සිදුවූ අකටයුතුකම් වලට චාමර සම්පත් වගකිව යුතුය. ඒත් එකල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සිදුවූ ඊ විසා වංචාව. පාස්පෝට් ඇනවුම් කිරීමේ අක්‍රමිකතා වලට වගකිව යුත්තේ එවකට සිටි ඇමති ටිරාං අලස් නොව ආගමන විගමන පාලක ඉලුක්පිටිය ය.අනුර මල්ලී ටිරාං අයියා වෙනුවෙන් සැමට නීතිය ක්‍රියාත්මක කරන්නේ එලෙසටය.
මෙම ආණ්ඩුව පවතින තාක්කල් මෙම ආණ්ඩුවට සම්බන්ද කිසිම කෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත. නීතිය ක්‍රියාත්මක වන්නේ වෙනත් ආන්ඩුවක් බලයට පත්වූවාට පසුවය. වත්මන් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ පෙර ආන්ඩුව වල වැරදි වලට පමණි. ඒසේ කරන්නේද තැලීමට හැකි උන්ට එරෙහිවද පමණි. රට බංකොලොත් කිරීමේ වරදට ශ්‍රේෂ්ඨාධිකරණය වරදකරුවන් කල එකෙකුට එරෙහිව වත්මන් ආණ්ඩුව කිසිවක් කරන්නේ නැත. හැබැයි උන් ආන්ඩුවක් ගත්තු දාට ජනාධිපති අනුර කුමාරගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා උන්ට කෙළවනවාමය.
(නීතීඥ ධනුෂ්ක සේනානායක)

