දිට්වා සුළි කුණාටුව රටට සහ ජනතාවට සිදු කළ දැවැන්ත විනාශයත් සමග යලිත් වරක් පරිසර සංරක්ෂණයේ
වැදගත්කම ගැන අවධානය යොමුව තිබෙන බවක් පෙනෙන්නට තිබේ.මුහුදු මට්ටමේ සිට අඩි පන්දහසට වැඩි
උසකින් යුත් ප්‍රදේශවල පදිංචිය හෝ ඉදිකිරීම් තහනම් කෙරෙනු ඇතැයි කියැවෙන්නේ ඒ අනුවය.
අඩි පන්දහසට උසින් අඩු වුවත් අනාරක්ෂිත ,අවදානම් සහගත ස්ථානවල කිසිසේත්ම ජනතාව යලි පදිංචි නොකරන බවට ආණ්ඩුව සහතික වී තිබේ.කෙසේ වෙතත් ගංවතුරට ,නාය යෑම් වලට හේතුව කඳුකරය විනාශ කිරීම හෝ කැලෑ එළිකිරීම
පමණක් නොවන බව අප කවුරුත් තේරුම් ගත යුතුය.කඳු නොවන භූමිය සහ පරිසරය විනාශ කිරීමද ස්වාභාවික
ආපදාවන්ට හේතුවකි.
එහෙත් වත්මන් ආණ්ඩුවද තවමත් එය තේරුම් ගෙන තිබෙන බවක් පෙනෙන්නට නැත.අප එසේ කියන්නේ වසර 10 කට පමණ පෙර පන්නිපිටිය ප්‍රදේශයේ රැම්සා තෙත් බිමක පෝෂක ප්‍රදේශයක් මෙන්ම සරුසාර කුඹුරු ඉඩම් අනීතිකව ගොඩ කිරීමට ගනු ලැබූ උත්සාහයක් වර්තමානයේද ආණ්ඩුවේ ආශීර්වාදයද සහිතව ක්‍රියාත්මක වෙමින් පවතින නිසාය.
කොට්ටාව ,පන්නිපිටිය,ප්‍රගතිපුර ,දොලේ කඩේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හී සිට ගලා එන උල්පත් සහ වැසි
ජලය එක්වන්නේ පන්නිපිටිය බෝගහවත්ත ප්‍රදේශය මායිම්ව පිහිටි කුඹුරු බිමකටය.ඉන් පසු එම ජලය පුනීලයක
හැඩය ගත් මෙම කුඹුරු භූමියේ , බටය වැනි අග කොටසේ පිහිටි කුඹුරු ඉඩම් හරහා දියවන්නා ඔය වෙත ගලා
යයි.
ආචාර්ය සරත් කොටගම පෙන්වා දෙන ආකාරයට මෙම භූමිය , කොළඹ රැම්සා තෙත් බිමේ ජල පෝෂක
ප්‍රදේශයයි.මේ නිසා මෙම කුඹුරු යල මහ දෙකන්නයේම වගා කිරීමට ජල හිගයක් නොමැති අතර
සරුසාරත්වයෙන්ද අඩුවක් නොමැත. කෙසේ වෙතත් වසර 2016 සිට පාරිසරික වශයෙන් ඉතා වැදගත් මෙම කුඹුරු ඉඩම ගොඩ කිරීමේ අනවරත උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තිබේ.
එම පරිසර විනාශයේ මූලිකත්වය ගෙන තිබෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සෝමරත්න දිසානායක නැමැත්තාය.පැවති ආණ්ඩුවලින් වරදාන ,වරප්‍රසාද ලබා ගෙන ඔවුන්ගේ උපදේශකයෙකු ලෙස කටයුතු මෙම පුද්ගලයාට මේ සඳහා හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන වැනි ඉහලම බලවතුන්ගේ රැකවරණය සහ අනුග්‍රහය ලැබී තිබේ.
කෙසේ වෙතත් පරිසරයට ආදරය කරන සහ අසාධාරණයට එරෙහි ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගේ මැදිහත්වීම
නිසා මෙම ගොඩකිරීම සම්පූර්ණ කිරීමට හැකි වී නැත.එහෙත් මේ වනවිට ඇතැම් කුඹුරු කට්ටි හිතා මතා පුරන් වීමට
ඉඩ හැර ඇති අතර, කුඹුරු ඉඩම් මධ්‍යයේ විශාල පොකුණු ඉදි කර , කොස් ,අඹ වැනි විශාල සහ ස්ථීර බෝග වගා
කොට තිබේ.මෙම කුඹුරු ඉඩම්වල එළවලු වැනි වෙනත් භෝග වගා කරන බව පවසන නමුත් මේ දක්වා එවැනි
වගාවක් කර නැත.
2000 අංක 46 දරණ ගොවි ජන සේවා පනතට අනුව කුඹුරු ඉඩම ගොඩ කිරීම පමණක් නොව ,කුඹුරු ඉඩමක ස්ථීර භෝග වගා කිරීමද නීති විරෝධීය.එසේම මේ වන විට මෙම භූමියේ අනවසරයෙන් ට්‍රැක්ටර් පැන්නුමක් ද කර තිබේ.
ප්‍රදේශවාසීන් කොතරම් විරෝධය පලකල ද සෝමරත්න දිසානායක ඇතුළු පරිසර ඝාතකයන් මෙම කටයුතු කර
ඇත්තේ දේශපාලන රැකවරණයට අමතරව ,දූෂිත නිලධාරීන්ගේ මෙන්ම ඔහුගේ සිවිල් බලයට නැතුව සිටින මාධ්‍ය
නිහඬ වීමද උපයෝගී කර ගනිමිනි.
කණගාටුවට කාරණය වන්නේ සියලු ආකාරයේ දූෂණ,අක්‍රමිකතා ,අසාධාරණයන්ට එරෙහිව කටයුතු කරන බවත්
නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවත් කියමින් බලයට පැමිණි ජාති ජන බලවේග ආණ්ඩුව යටතේද
සෝමරත්න දිසානායකලාගේ අනීතික ක්‍රියාව කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වෙමින් තිබීමය.නව ආණ්ඩුව
පත් වීමෙන් පසු ඇතැම් දූෂිත නිලධාරීන් ඉවත් කොට නව නිලධාරීන් පවා පත් කොට තිබේ.එසේම එම නිලධාරීන්
මෙම වටිනා භූමිය රැක ගැනීමට ඔවුන්ගේ මට්ටමින් උපරිම ලෙස කටයුතු කරමින් සිටින බව ප්‍රදේශවාසීහු
පවසති.ඒ අනුව නව කෘෂි පර්යේෂණ නිලධාරියාගේ (කුපනිස ) මෙම භූමියේ කුඹුරු ඉඩම් කිහිපයක් වගා කරවීමට
පියවර ගෙන තිබේ.ඒවා ඉහල අස්වැන්නක්ද වාර්තා කොට තිබේ.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුවේ සිටින ඇතැම් මල්ලිලා සෝමේ අය්යාට එරෙහිව කටයුතු කරන්නට පැකිලෙමින්
සිටින බවක් දැනගන්නට තිබේ.එපමණක් නොව මීට එරෙහිව කටයුතු කරමින් සිටින ප්‍රදේශවාසීන් ඔවුන්ගේ
උදහසට පවා ලක්ව ඇතැයි දන ගන්නට ඇත.
ප්‍රදේශවාසීන් දිගින් දිගටම කරුණු දැක්වීම නිසා ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ ,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර ඇතුළු මැති ඇමති ,නිලධාරී පිරිසක් මේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ.එහිදී ක්‍රීඩා ඇමතිවරයා විමසා ඇත්තේ බත් කන්නට එළවලුත් අවශ්‍ය නොවේද යනුවෙනි.එසේම මෙම භූමියේ වැදගත්කම සහ එළවලු වගා කරන බවට කරන ප්‍රකාශ හුදු ප්‍රකාශ පමණක් බව ඇමතිවරයාට පෙන්වා දීමට ගිය ප්‍රදේශවාසීන්ගෙන් ඇමතිවරයා විමසා ඇත්තේ අපි මෝඩයෝ කියල තමුන්ලා හිතනවාද ? යනුවෙනි.
පසුව ප්‍රදේශවාසීන් මෙම ප්‍රශ්නය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට ඉදිරිපත් කළ විට එය සාකච්ඡාවට ගන්නවා
වෙනුවට දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාවට පෙත්සමක් යොමු කරන ලෙසය.ඒ අනුව පෙත්සම්
කාරක සභාවට පෙත්සමක් යොමු කර මාස දෙකක් පමණක් ගතව ඇතත් මේ දක්වා එය ලැබුණු බවක් හෝ දැනුම් දී
නැත.මෙම ප්‍රශ්නය ගැන ආණ්ඩුවේ උනන්දුව එයින් පැහැදිලිවෙන බව පෙන්වා දෙන පන්නිපිටිය ප්‍රදේශවාසීන්
පවසන්නේ මෙය තමන් කිහිප දෙනෙකුගේ ප්‍රශ්නයක් පමණක් නොවන බවය.තමන්ගේ මැදිහත් වීම නොවන්නට
ගොඩ කිරීම සම්පූර්ණව තිබුනේ නම් පසුගිය දිනවල ඇද හැලුණු මහා වර්ෂාවේ ජලය ගලා නොගොස් මෙම භූමිය
රැඳුනේ නම් බත්තරමුල්ල ,රාජගිරිය වැනි ප්‍රදේශ පවා ගංවතුර ගොදුරක් වන්නට තිබුන බවය.

