NPP සභාපතිත් හොරු සමඟ හෙළුවෙන්

හොරු වංචනිකයෝ ධීවර සංස්ථාව හූරන් කති.

අවිධිමත් පරිපාලනයක් සහිතව පාඩු ලබමින් තිබූ ධීවර සංස්ථාව වත්මන් පරිපාලනය

යටතේ තව දුරටත් පරිහානියට පත් වෙමින් තිබෙන බව සංස්ථා සේවකයෝ

පවසති.සේවකයන් පෙන්වා දෙන්නේ හොරු අල්ලන බව බලයට පත් ජාතික ජනබල වේග

ආණ්ඩුව පත් කළ සභාපතිවරයා සංස්ථාවේ හොරු ආරක්ෂා කරමින් ඔවුන්ගේ

යැපෙන්නෙකු බවට පත්ව සිටීම මීට හේතු වී ඇති බවයි.

ධීවර සංස්ථාවේ වත්මන් සභාපතිවරයා වන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන

ජේ.ඒ.කේ.මාර්ක් නමැති අයෙකි.ඔහු ජාතික ජනබල වේගයට අනුබද්ධ විශ්‍රාමික පොලිස්

සාමුහිකය ආරම්භ කිරීමට මුල් වූවෙකි.

කලක් තිස්සෙම සංස්ථාවේ සේවකයන් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල වෙත

සාමාජික මුදල් තැන්පත් කිරීම ක්‍රමවත්ව සිදුව නැත.එපණක් නොව සම්පූර්ණයෙන්ම

සේවක වැටුපෙන් කපා ගන්නා සේවා නියුක්තිකයන්ගේ අරමුදල සඳහා වන සාමජික

මුදල ගෙවීමද සිදුව තිබෙන්නේ ද එලෙසමය.කෙසේ වෙතත් මීට ඉහත පැවති

පරිපාලනයන් යටතේ වරින් වර හෝ සාමජිකත්ව මුදල් තැන්පත් කිරීම සිදුව ඇතත්

ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ පසු ගිය වසරේ අගභාගයේ සිට මේ දක්වා

අඛණ්ඩව මෙම අරමුදල් වෙත මුදල් තැන්පත් කිරීමට සංස්ථාව අපොහොසත් වී ඇත.මේ

අනුව මේ දක්වා මෙකී අරමුදල් වෙත බර කිරීමට තිබෙන හිඟ මුදල රුපියල් කෝටි

69කට අධිකය.මෙලෙස දායක මුදල් නොගෙවීමෙන් සේවකයන්ට සේවක අර්ථසාධක

අරමුදලේ ශේෂයෙන් 30% ණය මුදලක් ලබා ගැනීමේ පහසුකමද අහිමි වී ඇත.

විශ්‍රාම ලබා සිටින සේවකයන් සඳහා පාරිතෝෂික වශයෙන් සංස්ථාව විසින් ගෙවිය යුතු

මුදල රුපියල් කෝටි දෙකකට අධිකය. සිය පාරිතෝෂික ලබා ගැනීම සඳහා සේවකයන්ට

කම්කරු අධිකරණයේ පිහිට පතන්නට සිදුව තිබේ.සේවක අර්ථසාධක ,සේවා

නියුක්තිකයන්ගේ අරමුදල සහ පාරිතෝෂික හිඟ මුදල් ගෙවීම සඳහා ණය මුදලක් ලබා

දීමට ධීවර අමාත්‍යාංශය පියවර ගෙන ඇතත් සංස්ථාවේ ගිණුම් අක්‍රමවත් වීම සහ

වර්තමානය වන විට වගකිව යුතු ගිණුම් බලධාරියෙකු සංස්ථාවේ නොසිටීම නිසා එම

ණය මුදල ලබා ගැනීමටද නොහැකි වී ඇත.වත්මන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂ

මණ්ඩලය ඒ සම්බන්දයෙන් කිසිඳු සැලකිල්ලක් දක්වන බවක් ද පෙනෙන්ට නොමැති බව

සේවකයෝ චෝදනා කරති.

මේ වන විට සංස්ථාවේ විධානයන් ( ප්‍රාදේශීය මෙහෙයුම් ඒකක ) අතරින් ලාභ

උපයන්නේ මීගමුව,මහනුවර සහ කෑගල්ල යන විධානයන් පමණකි.සංස්ථා පරිපාලනයේ

දක්ෂතාව කොතරම් දැයි කියන්නේ නම් වැනි ධීවර කර්මාන්තය පදනම්ව තිබෙන

බේරුවල විධානයේ සේවකයන්ට මාස කිහිපයකින් වැටුප් ගෙවා ගත නොහැකිව තිබේ.

සේවකයන් චෝදනා කරන්නේ සේවක අර්ථසාධක ගෙවීම් වැනි ව්‍යවස්ථාපිත ගෙවීම්

ඇතුළුව සංස්ථාවේ ණය බර රුපියල් කොටි 120 ඉක්මවා ඇතත් වත්මන් පරිපාලනයට

ඒ සම්බන්දයෙන් කිසිඳු වැඩපිළිවෙලක් නොමැති බවටය.එසේම සංස්ථාවේ විනාශයට

හේතු වී තිබෙන දූෂණ ,වංචා වැළැක්වීමට පියවර නොගැනීම නිසා එම වංචනික ක්‍රියා

තව දුරටත් සිදුවෙමින් පවතින අතර මේ නිසා සංස්ථාව තව තවත් අගාධයට යමින්

තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.

වත්මන් සභාපති විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මාර්ක්ගේ ක්‍රියා පිළිවෙතට විරෝධය පල

කරමින් නව ආණ්ඩුව බලයට පත් වූ පසු ධීවර සංස්ථාව සඳහා පත් කෙරුණු අධ්‍යක්ෂ

මණ්ඩලයේ සෙසු සාමාජිකයන් සිය තනතුරු අත්හැර ගොස් ඇතත් කිසිඳු වගකිව

යුත්තෙකු ඒ සම්බන්දයෙන් සොයා බැලීමක් හෝ කර නැත.අධ්‍යක්ෂ මණ්ඩලය සිය

තනතුරු අතහැර යාමෙන් පසු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කොට ඇත්තේ මාස තුනක

පමණ කාලයකින් පමණ පසුවය.එතෙක් තිබී ඇත්තේ සභාපති පාලනයකි.

ධීවර සංස්ථාව කාලයක් තිස්සේ එහි ඉහල කළමනාකරණයේ කිහිපදෙනෙකුට ආදායම්

මාර්ග සපයා දෙන තැනක් වී තිබූ අතර වත්මන් පාලනය යටතේද එකී අක්‍රමිකතාවන්ට

දඩුවම් නොමැති අතර එම ජාවාරම් එලෙසින්ම සිදු වෙමින් පැවතීම

සම්බන්දයෙන් සේවකයෝ විමතිය පළකරති.සේවකයන්ගේ වඩාත් විමතියට කාරණය

වන්නේ සංස්ථාවේ තත්ත්වය සහ වත්මන් සභාපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්දයෙන්

ජනාධිපතිවරයාගේ සිට පහලට සියලු බලධාරීන් දැනුවත්ව සිටියද කිසිඳු පියවරක

නොගැනීම ගැනය.

සංස්ථාවේ කුප්‍රකටම වංචාව වන්නේ කොමිස් වංචාවය.සේවකයන් පවසන අන්දමට මෙම

වංචාව රුපියල් කෝටි අටකට අධිකය.ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ලංකා ධීවර

පොදු සේවක සංගමය මේ සම්බන්දයෙන් පසුගිය මැයි මස 27 දින අල්ලස් කොමිසමට

පැමිණිලි කර තිබේ.එහෙත් දූෂණ චෝදනා යටතේ මේ දිනවල දිගට හරහට

දේශපාලකයන් සහ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා අල්ලස් කොමිසමද මේ දක්වා මෙම

පැමිණිල්ල සම්බන්දයෙන් නිහඬය.

සංස්ථාවේ නියමයන්ට අනුව සේවකයන්ට කොමිස් ලබා දෙන්නේ කිසියම විධානයක දළ

ලාභය 20% ඉක්මවන්නේ නම් පමණකි.එහෙත් ලාභ ප්‍රතිශතය 10- 13 % අතර තිබෙන

මීගමුව ,කෑගල්ල සහ මහනුවර විධානයන් හී කළමනාකරුවන්ට දිගින් දිගටම කොමිස්

මුදල් ගෙවා ඇත.එසේම රෝහල් සඳහා මාළු සැපයීමේ ටෙන්ඩර හිමිවන්නේ කැබිනට්

තීරණයකට අනුව නිසා රෝහල් සඳහා මාළු අලෙවියෙන් උපයන මුදල කොමිස් ගෙවීම

සඳහා ගණන් ගන්නේ නැත.එහෙත් කෑගල්ල සහ නුවර කළමනාකරුවන් ( මෙම

විධානයන් දෙකම ක්‍රියාත්මක වන්නේ එකම කලමනාකරිනියක් යටතේය ) රෝහල්

සැපයුම් වෙනුවෙන්ද කොමිස් මුදල් ලබා ගෙන ඇත.මේ බව හෙළිදරවු වීමෙන් පසු කලින්

ආණ්ඩුවේ පරිපාලනය විසින් කොමිස් ගණනය කළ නිලධාරිනිය ඉවත් කොට එම

රාජකාරිය වෙනත් නිලධාරියෙකුට පවරා ඇත.පුදුමයට කාරණය වන්නේ දූෂණයට

,වංචාවට එරෙහි ජාතික ජන බලවේග ආණ්ඩුව පත් වූ වහාම එම ස්ථාන මාරුව

අවලංගු කිරීමට පියවර ගැනීමය.එහෙත් සේවක විරෝධය නිසා එම ස්ථාන මාරුව තවමත්

ක්‍රියාත්මක වී නැත.එහෙත් මීගමුව,කෑගල්ල ,සහ මහනුවර කළමනාකාරවරුන් මෙන්ම

වත්මන් සභාපතිවරයා ද කොමිස් ගණනය කරමින් දූෂණයකට,වංචාවකට හවුල් වූ

නිලධාරිනිය යලි එම රාජකාරිය සඳහා පත් කිරීමට දිගින් දිගටම බලපෑම් කරමින් සිටින

බව වාර්තා වේ.

ධීවර සංස්ථාවේ වත්මන් පරිපාලනය ආණ්ඩුව අනුව යමින් දූෂණයට ,වංචාවට එරෙහිව

කටයුතු කිරීම ගැන තවත් අපූරු නිදර්ශනයක් වන්නේ වැකුම් යන්ත්‍රයක් මිලදී ගැනීමේ

අක්‍රමිකතාව සම්බන්දයෙන් කටයුතු කරන ආකාරයයි.

2021 වසරේ දී සංස්ථාව සඳහා රුපියල් මිලියන පහකට අධික මුදලක් වැය කරමින්

වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීමක් සිදුව තිබේ.එහෙත් මේ දක්වා එම යන්ත්‍රයෙන්

සංස්ථාවට කිසිම ප්‍රයෝජනයක් ගෙන නැත.එසේම මෙම මිලදී ගැනීමේදී විධිමත්

ප්‍රසම්පාදන පියවර අනුගමනය කර නැති බවට චෝදනා එල්ල වීමෙන් පසු එවකට

සැපයුම් කළමනාකරු වශයෙන් සේවය කරමින් සිටි කේ.එච්.විජිත් පුෂ්පකුමාර යන අයට

එරෙහිව මිලදී ගැනීමෙන් වසර තුනකට පමණ පසු එනම් 2024 මාර්තු 18 දින විධිමත්

විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.එම පරීක්ෂණයේ දී සැපයුම් කළමනාකරුට

එරෙහිව නගා තිබූ චෝදනා පහටම ඔහු වැරදිකරු බව සනාථ වී ඇති අතර එම

පරීක්ෂණ වාර්තාව 2024.දෙසැම්බර් මස 06 දින වත්මන් සභාපතිවරයා වෙත භාර දී

තිබේ.එම වාර්තාව මත පදනම්ව රුපියල් ලක්ෂ 50 කට අධික මූල්‍ය වංචාවකට

වැරදිකරු වූ අයෙකුට දඩුවම ලෙස මානව සම්පත් සහ පරිපාලන නියෝජ්‍ය

සාමාන්‍යාධිකාරීවරයා අධ්‍යක්ෂ මණ්ඩලයට නිර්දේශ කර ඇත්තේ වැටුප් වාරික තුනක්

අත් හිටුවීමට පමණකි.දූෂණය,වංචාවට එරෙහි ආණ්ඩුවක අධ්‍යක්ෂ මණ්ඩලයද එම

නිර්දේශය පිළිගෙන ඇත.ලොකුම විහිළුව වන්නේ සභාපතිවරයා සමග කටයුතු කිරීමට

නොහැකි බව පවසමින් අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්ව ගිය පසු පත් කෙරුණු වත්මන් නව

අධ්‍යක්ෂ මණ්ඩලය එම වැටුප් වර්ධක තුනක් අත්හිටුවීමේ දඩුවම වැටුප් වර්ධක එකක්

අඩු කිරීම දක්වා ලිහිල් කිරීමය.එක වැටුප් වර්ධකයක් යනු රුපියල් 700 /- පමණ

මුදලක් අහිමි කිරීමකි.රුපියල් ලක්ෂ 50කට අධික වංචාවකට දඩුවම රුපියල් 700 ක්

ගෙවා නොසිටීම පමණකි.

මේ සම්බන්දයෙන් සොයා බලා නිසි පියවර ගන්නා ලෙස සංස්ථාවේ ලංකා ධීවර පොදු

සේවක සංගමය,කාර්මික සහ සාමාන්‍ය කම්කරු සමීතිය,ශ්‍රී ලංකා නිදහස් සේවක

සංගමය යන වෘත්තීය සමිති එක්ව ධීවර නියෝජය අමාත්‍යවරයාගෙන් ඉල්ලා

තිබේ.අමාත්‍යංශ ලේකම්,විගනාකාධිපති දෙපාර්තමේන්තුව, සංස්ථා සභාපති සහ අධ්‍යක්ෂ

මණ්ඩලයට පිටපත් සහිතව මෙම ලිපිය යොමු කොට ඇත්තේ මේ වසරේ මාර්තු 04

දිනය.මාස හතරකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් ඒ සම්බන්දයෙන් කිසිඳු

පියවරක් ගෙන නොමැත .සේවකයන් විමසන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හොරු ඇල්ලීමද

නැතහොත් හොරු රැකීමද යන්නය.

වත්මන් පරිපාලනයද හොරු රකින බවට තවත් උදාහරණයක් වන්නේ 2016 වසරේ

බේරුවල විධායකයේ කළමනාකරු විසින් සිදු කළ අයතා ගනු දෙනු සම්බන්දයෙන් මේ

දක්වා කිසිම පියවරක් නොගැනීමය.2016 වසරේ බේරුවල විධායකයේ කළමනාකරු

ලෙස සේවය කර ඇත්තේ ජී.බණ්ඩාර රත්නසිරි නම් අයෙකි.ධීවර කර්මාන්තය පවතින

ප්‍රදේශවලදී සංස්ථාව මිලදී ගැනීම් කළ යුත්තේ අදාළ ප්‍රදේශයේ වැල්ලෙනි.එහෙත් මෙම

කළමනාකරු කොළඹ සැපයුම්කරුවෙකුගෙන් ආනයනික මාළු අත්පිට මුදලට මිලදී ගෙන

මිලදී ගැනීම බේරුවලින් සිදු කළ බවට හැගවීමට කූට ලේඛන සකස් කොට සංස්ථාවේ

නමින් පවුද්ගලික මාළු ගනු දෙනුවක් සිදු කොට මුදල් උපයා ඇත.මේ බව හෙළිදරවු

වීමෙන් පසු ඔහු පොලීසිය මගින් ඇත අත්ඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පවා පත්කොට

ඇති අතර ඒ පිලිබඳ නඩු විභාගය තවමත් අවසන් නැත.කෙසේ වෙතත් මූල්‍ය

වංචාවකට චෝදනා ලබා රිමාන්ඩ් භාරයට් පවා පත් වූ ඔහුට වැටුප පවා ගෙවා

ඇත.මෙම නිලධාරියා සම්බන්දයෙන් විනය පියවර ගත යුතු බව අභ්‍යන්තර විගණන

අංශය නිර්දේශ කර ඇතත් මේ දක්වා කිසිඳු විනය පියවරක් ගෙන නොමැත.

විගණන නිර්දේශය අනුමත කරමින්ද ආයතනයේ විනය නියෝග මාලාවට අනුව අදාළ

නිලධාරියාට එරෙහිව පියවර ගැනීමට අවශ්‍ය තරම් ප්‍රතිපාදන තිබෙන බව නීතිපති

දෙපාර්තමේන්තුව 2023 වසරේ නොවැම්බර් මස සංස්ථාවේ සභාපතිවරයාට දැනුම් දී

තිබේ.

සේවකයන් පවසන්නේ එවකට හිටපු ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ගේ මැදිහත්වීම

මත මෙම නිලධාරියාට එරෙහිව විනය පියවර ගැනීමක් සිදු නොවූ බවය.එහෙත් තව

දුරටත් ඔහුට එරෙහිව පියවර නොගෙන සිටින්නේ කාගේ මැදිහත් වීම මත දැයි ඔවුහු

ප්‍රශ්න කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *