මැඩ්රාස් සිකියුරිටි ප්‍රේමරත්න–ප්‍රේමලාල් යුගලය ගිලගත් හැටි?

සුරාබදු දෙපාර්තමේන්තුව තුළ සිදුවන බව කියන ආදායම් කාන්දුවීම් හා දූෂණ අක්‍රමිකතා මැඩපැවැත්වීමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට පත් කළ විශ්‍රාමික නාවික කොමදෝරු එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න සහ ආදායම් අධිකාරියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන නිහාල් ප්‍රේමලාල් යන නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව තුළ දැඩි ප්‍රශ්න මතුව තිබේ.
විශේෂයෙන්ම එම ප්‍රශ්න මතුවන්නේ ශ්‍රී ලංකාවේ මත්පැන් බෝතල් සඳහා ආරක්ෂිත ස්ටිකර් සහ ඩිජිටල් සලකුණු පද්ධතිය පවත්වාගෙන යන ඉන්දියාවේ Madras Security Printers (MSP) සමාගම වටා දීර්ඝ කාලයක් තිස්සේ පවතින විවේචන සහ විගණන නිරීක්ෂණ මධ්‍යයේය.
ප්‍රේමරත්න මහතා 2025 ජූලි මාසයේදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස වැඩ භාරගත්තේ ජනාධිපතිවරයාගේ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුවය.
එසේම එයට පක්ෂ සහය ද ලැබුනේ ඔහුගේ බිරිද වන මහාචාර්ය වසන්තා සුභසිංහ ද පක්ෂයේ ප්‍රධාන චරිතයක් බැවිනි.
එම පත්වීමේදී ඔහුගෙන් බලාපොරොත්තු වූ ප්‍රධාන කාර්යයක් වූයේ රජයට ලැබිය යුතු සුරාබදු ආදායම උපරිම කිරීම සහ සුරාබදු ක්ෂේත්‍රයේ දිගුකාලීනව පැවති ආදායම් කාන්දුවීම් පාලනය කිරීමය.
එහෙත් අද වනවිට ප්‍රශ්නය වී ඇත්තේ, එම අරමුණින් පත් කළ නිලධාරීන්ම MSP වටා ගොඩනැගී ඇති මතභේදාත්මක පද්ධතිය හා සම්බන්ධ තීරණවලදී එයට පක්ෂපාතීව කටයුතු කරමින් සිටීමය.
MSPට එරෙහි ප්‍රශ්න අද ඊයේ ඇති වූ ඒවා නොවේ
Madras Security Printers සමාගම ශ්‍රී ලංකාවේ සුරාබදු ආරක්ෂිත ස්ටිකර් සහ Track-and-Trace පද්ධතිය සම්බන්ධයෙන් 2019 සිට කටයුතු කරයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේම ප්‍රකාශිත තොරතුරු අනුව, MSP තෝරාගෙන තිබුණේ Build-Own-and-Operate (BOO) ආකෘතිය යටතේ ජාත්‍යන්තර තරගකාරී ක්‍රියාවලියක් මගිනි.
නමුත් එම පද්ධතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු සහ විගණකාධිපතිවරයා ඇතුළු රාජ්‍ය අධීක්ෂණ ආයතන ගණනාවක් ප්‍රශ්න මතු කර තිබේ.
පාර්ලිමේන්තුවේ Ways and Means කමිටුවේ වාර්තාවක සඳහන් වන්නේ MSP විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදුන් ස්කෑනර් 200ක් සහ UV උපකරණ 40ක් භාවිතයට නොගෙන තිබූ බවත්, එම උපකරණ ලබාදෙන අවස්ථාවේදී ඒවා නිසි ලෙස programme කර නොතිබූ බවට නිලධාරීන් පැමිණිලි කර තිබූ බවත්ය.
එම වාර්තාවේම ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබීම සහ එවැනි ව්‍යාජ ස්ටිකර් නිෂ්පාදනය වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රමාණවත් නීතිමය පියවර නොගැනීම පිළිබඳවද අවධානය යොමු කර තිබේ.
2026 ජූලි මාසයේදී Sunday Times අනාවරණය කළ තොරතුරු අනුව, MSP පද්ධතිය සම්බන්ධයෙන් printing defects, digital code කියවීමේ ගැටලු, field verification application අසාර්ථකවීම් සහ දත්ත කළමනාකරණය පිළිබඳ ප්‍රශ්න ද රජයේ ලේඛනවලින් හඳුනාගෙන තිබේ.
එම වාර්තාවට අනුව 2024 විගණන නිරීක්ෂණවලදී නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කළ මත්පැන් බෝතල් 8,446කට සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ නීත්‍යානුකූල ආරක්ෂිත ස්ටිකර් අලවා තිබීමද අනාවරණය වී තිබේ.
ඔක්කොම කණපිට
මෙහි ඇති විශාලතම ප්‍රශ්නය වන්නේ MSP සමඟ පැවති වත්මන් ගිවිසුම අවසන් වීමට ආසන්නව තිබියදී, රජය නැවතත් සුරාබදු ආරක්ෂිත ස්ටිකර් පද්ධතිය සඳහා දැවැන්ත නව ටෙන්ඩරයක් කැඳවා තිබීමය.
2026 අගෝස්තු මාසයේදී සුරාබදු දෙපාර්තමේන්තුව නව Security Features and Security Features Management System (SFSMS) සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත.
නව පද්ධතිය වසර පහක Build-Own-and-Operate ක්‍රමයකට ක්‍රියාත්මක කිරීමට නැවතත් යෝජනා කර තිබේ.
මෙම නව ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත වටිනාකම රුපියල් බිලියන 6.375ක් පමණ වන බවද වාර්තා වී තිබේ.
දැනට පවතින MSP පද්ධතියේ යන්ත්‍රෝපකරණ සහ යටිතල පහසුකම් රට පුරා ස්ථාපිතව තිබෙන බැවින්, නව තරගකරුවෙකුට එම යටිතල පහසුකම් නැවත ස්ථාපනය කිරීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවන අතර MSPට පවතින යන්ත්‍රෝපකරණ භාවිතයෙන් අඩු මිලක් ඉදිරිපත් කිරීමට හැකි වන බව කර්මාන්ත විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.
ඒ අනුව නව ටෙන්ඩරය සැබවින්ම විවෘත තරගයක්ද, නැතිනම් පැරණි සැපයුම්කරුට පවතින යටිතල පහසුකම් හේතුවෙන් ස්වභාවික වාසියක් ලබාදෙන තරගයක්ද යන්න මේ වනවිට ප්‍රධාන අවධානයට ලක්ව තිබේ.
ප්‍රේමරත්න–ප්‍රේමලාල් සම්බන්ධය කොතැනින් එන්නේද?
මෙතැනදී සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න සහ ආදායම් අධිකාරියේ අධ්‍යක්ෂ නිහාල් ප්‍රේමලාල් යන දෙදෙනාගේ භූමිකාව පිළිබඳවද සුරාබදු දෙපාර්තමේන්තුවට මෙන්ම පක්ෂ ප්‍රධානින්ටද ගැටලු මතුව ඇත.
අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව එල්ල වන චෝදනාව වන්නේ, MSP සම්බන්ධයෙන් දැනටමත් විගණන හා පාර්ලිමේන්තු මට්ටමින් ප්‍රශ්න මතුව තිබියදීත්, එම සමාගම සමඟ සම්බන්ධ ක්‍රියාමාර්ගවලදී මෙම නිලධාරීන් දෙදෙනා MSP වෙත අනුග්‍රාහක ස්ථාවරයක් ගෙන ඇති බවය.
රටේ සුරාබදු ආදායම ආරක්ෂා කිරීමට පත් කළ රාජ්‍ය නිලධාරීන්, එම ආදායම් ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් විවේචනයට ලක්ව ඇති පෞද්ගලික සමාගමකට නැවත තරගකාරී වාසියක් ලැබෙන ආකාරයට තීරණ ගැනීම මේවන විට අදාළ ක්ෂේත්‍රය පුරාම කතා බහට ලක්ව තිබේ.
රුපියල් බිලියන 60ක ප්‍රශ්නය
මෙය තවත් බරපතළ වන්නේ සුරාබදු ආරක්ෂිත ස්ටිකර් පද්ධතිය සම්බන්ධයෙන් රජයට සිදුවූ බව කියන ආදායම් අලාභය නිසාය.
2023දී පාර්ලිමේන්තු Ways and Means කමිටුව විසින් ව්‍යාජ ආදායම් ස්ටිකර් හේතුවෙන් රුපියල් බිලියන 60ක පමණ බදු ආදායමක් අහිමි වී ඇති බව සඳහන් කර තිබූ අතර, 2026දීද එම ප්‍රශ්නය නැවතත් MSP පද්ධතියේ කාර්යසාධනය පිළිබඳ විවාදයේදී මතුවිය.
තවත් වැදගත් කරුණක් වන්නේ, MSP සම්බන්ධයෙන් විවේචන තිබියදීත් එම සමාගමට නව ටෙන්ඩරයේදී පවතින යන්ත්‍රෝපකරණ සහ යටිතල පහසුකම් හේතුවෙන් වාසියක් ලැබිය හැකි බවට මේ වනවිටත් වෘත්තීය සහ මාධ්‍ය මට්ටමින් ප්‍රශ්න මතුව තිබීමය.
“කළු කාමර” මෙහෙයුමක්ද?
මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවන්නේ, MSP සම්බන්ධ විවේචන මධ්‍යයේ එම සමාගමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදු පෙරමුණට අයත් කළු කාමර මාධ්‍ය මෙහෙයුමක් ඔස්සේ ප්‍රේමරත්නට හා ප්‍රේමලාල්ට මෙන්ම ඔවුන්ට සහය දෙන අයටද දරුණු මඩ ප්‍රචාරයක් තියත් කර තිබූ බවයි.
(මේ සම්බන්ධ තොරතුරු හා එහි පසුපස සිටින චරිත ඉදිරියේදී අප විසින් හෙළි කිරීමට කටයුතු කරමු.)
රටේ ආදායම් ආරක්ෂණයට සම්බන්ධ රුපියල් බිලියන 6කට අධික වටිනාකමකින් යුතු නව පද්ධතියක් තෝරාගැනීමට යන අවස්ථාවක, ටෙන්ඩර් ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන්, තාක්ෂණික කමිටු, ඇගයීම් කමිටු සහ දේශපාලන මට්ටමේ තීරණ පිළිබඳව සම්පූර්ණ පාරදෘශ්‍යභාවයක් තිබේද යන්න මේ අනුව ප්‍රශ්නයක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *