උඩවත්තට අභියෝගයක්.තවත් “කැළෑ SLAS” තරුවක් අම්පාරෙන්

“කැලෑ SLAS”  යන වදන් දෙක ශ්‍රී ලංකා පරිපාලන සේවය තුළ භාවිත වන්නට මුල පිරෙන්නේ 2000 වසරේ සිටයි. ඒ ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථාවට පටහැනිව ලබා දෙන තනතුරු කිහිපයක් හේතුවෙනි.

එවක පැවති යුද්ධය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් අනාරක්ෂිත ගම්මාන ආශ්‍රිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල රාජකාරියට යැම ප්‍රතික්ෂේප කළ බැවින්, එම සේවාවට බදවා ගැනිමේ තරග විභාගයෙන් අසමත් පිරිසක්ද බඳවා ගෙන, අනාරක්ෂිත ප්‍රදේශ වල සේවයට යොමු  කළේය.

සෙසු SLAS පිරිස අතරේ පිළිගැනීමට ලක් නොවන මේ විශේෂිත පිරිස රාජකාරි කරන්නේ තමන්ටම ආවේණික ක්‍රමයකටයි. සිවිල් පරිපාලනය නමට හෝ පවත්වාගෙන යාමට පත් කරන මේ පිරිස මධ්‍යම ආණ්ඩුවේ ඇහැට වැළි ගසා අදාළ ප්‍රදේශවල වැළි පමණක් නොව වනාන්තර වල ගස්ද හොඳින් රැක බලා ගෙන ඇති බව මහනුවර, අම්පාර දිස්‌ත්‍රික්‌ක වල ඔවුන් ඉදිකර ඇති මහා මන්දිර වලින් පිලිබිඹු වනවා.

“කැළෑ SLAS” ක්‍රමය පිළිබඳ කතා බහ මැතකදී කරළියට එන්නේ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත අනුගමනය කළ  ත්‍රාඩ පිළිවෙත සමගයි.

එහි උණුසුම මැකී යන්නට පෙර අම්පාර දිස්‌ත්‍රික්‌ ලේකම් අනූපම මංගල වික්‍රමාරච්චි “කැලෑ SLAS” ක්‍රමය ප්‍රකට කරන්නට මුල් පුරනවා. ඒ ජුනි මස අගහරුවාදා (27) පැවැති එම දිස්‌ත්‍රික්‌  සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි .

තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම්වරයා භාරයේ පවතින අක්කර 4,000 කින් සමන්විත දිස්‌ත්‍රික්‌කයේ එකම තෘණ භූමිය, ලබන කන්නයේ සිට වී ගොවිතැන් සදහා මුදා හැරීමට දිස්ත්‍රික් ලේකම් විසින් යෝජනාවක් ඉදිරිපත් කරන්නේ එම තෘණ භූමිය, තෘණ භූමියක් ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කරමින්, දින 35 කට පෙර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර තිබියදීයි.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ප්‍රාදේශීය ලේකම්වරයා හට අදහස් දැක්වීමට හෝ අවස්ථාවක් ලබා නොදී, යෝජනාව සම්මත කර ගන්නා අනූපම මංගල වික්‍රමාරච්චි දිස්ත්‍රික් ලේකම්වරයා එයින් ප්‍රකට කොට සිටින්නේ, ඉන්දික උඩවත්තට තමන් සමග ලොකු සටනක් දෙන්නට සිදු වන බවකුයි.

ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මානව හිමිකම් කොමිසම වෙත යොමු කරන වාර්තාවේ සඳහන් පරිදි “වට්ටමඩු” නම් අදාළ තෘණ භූමියේ ගොවිතැන් කිරීමට අවසර ඉල්ලන්නේ,  එහි ඉඩම් වල අයිතිය කියා පෑමට තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිකුත් කළ බව පවසමින් කූඨ ලේඛන ඉදිරිපත් කරමින් සිටින 525 දෙනෙකි. එම කූඨ ලේඛන විධිමත් පරීක්ෂණයක් මගින් අනාවරණය කර ගන්නේ මීට වසර 05 කට පෙර බවද ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මානව හිමිකම් කොමිසම වෙත සැළ කර සිටියි. අපරාධ වැරදි අල්ලස් කොමිසමට පවා  අල්ලස්දි යට ගසා ගත හැකි ඉතිහාසයක් රටේ පැවැතියද, මේ වර්තමානය එහෙව් එකක් නොවේ.

එමෙන්ම දේවාල වලින් අල්ලස් ගැනීම බදු අපරාධ වරදවල් පවා කාලාවරෝදයට  හසු නොවන බැවින් සිදු විය යුත්තේ “වට්ටමඩු” තෘණ භූමියේ අයිතිය කියා පෑමට හොර බලපත්‍ර ඉදිරිපත් කරන ලද 525 දෙනා හා ඒවා සැකසු මහ මොළකරුවන් නීතිය හමුවට ගෙන ඒමයි.

රාජ්‍ය සේවයේ “සුපිළිපන්” ප්‍රතිඥාව දීමට පමනක් සීමා නොවී, මානව හිමිකම් කොමිසම වෙතද වාර්තාවක් ඉදිරිපත් කර තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් රාජකාරියට මුල පුරා තිබියදී, ගව මහීෂාදීන් 50,000 ක් පමණ පෝෂණය වන තෘණ භූමියක් ලෙසම මැන වෙන් කළ පිඹුරුපත්ද සහිත තෘණ භූමිය, “හොර බලපත්‍රකරුවන්ට” වගා කටයුතු කිරිම සඳහා, මුදා හැරීමේ “කැලෑ SLAS” ක්‍රමයට එරෙහිව කන්නලව් කල යුත්තේ කවර දේවොලක වැඩ සිටින කන්දසාමිට දැයි යන්න තිරුක්කෝවිල් කිරි ගොවීන් හමුවේ ඇති ගැටළුවයි. එම පාරම්පරික කිරි ගොවිතැන සිය වසරකටත් එහා ඉතිහාසයකට හිමිකම් කියන ජාතික ආර්ථිකයට වටිනාකම් එකතු කරන්නකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *