මහනුවර පිහිටි ආගමන වගමන කාර්යාලයේ විදෙස් ගමන් බලපත් නිකුත් කිරීමේ දී නව නීතී ක්‍රමයක් නිසා අළුයම 3 00 සිට තම සියලු අවශ්‍ය ලිපි ලේඛණ සකස් කරගෙන විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සඳහා දිගු පෝළිමේ සිට කාර්යාලය තුළට යාමට පෙ ව. 9 30 වන විට අවස්ථාව ලද මහජනතාවට ජාතික හැඳුනුම්පත පැරණි බව පවසා ඔවුන්ව ආපසු හරවා යවන එම කාර්යාලයේ නිලධාරිනියක් හේතුවෙන් දුර බැහැර සිට පැමිණෙන මහජනතාව දැඩි අපහසුතාවයට පත්වන බව ඔවුන් පවසයි.
මෙම කාර්යාලයේ ප්‍රධාන නිලධාරිනිය ලඟට ගියවිට ජාතික හැඳුනුම්පතේ ඉල්ලුම්කරු හඳුනා ගත නොහැකි බව පවසමින් , කොළඹ ගොස් නව ජාතික හැඳුනුම්පතක් රැගෙන එන ලෙස එම නිලධාරිණිය තමන්ට පවසන නිසා තමන් ඉතා අසරණ වන බවද විදෙස් ගමන් බලපත් ඉල්ලුම්කරුවන් සදහන් කරයි.
බොහෝ ඉල්ලුම්කරුවන් පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඔවුන් වෙත නිකුත් කර ඇති රජයේ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරන සෑම අවස්ථාවකම මෙම නිලධාරිණීය අලුත් හැඳුනුම්පත සකස් කරගෙන එන්නැයි පවසා ඉල්ලුම් කරුවන් රැසක් ආපසු හරවා යැවූ බව මහජනතාව පැවසූහ.
මේ සම්බන්ධයෙන් එම කාර්යාලයේ නිලධාරිණියගෙන් තොරතුරු දැන ගැනීම සඳහා නිල දුරකතන අංකයට ඇමතීම් දහයක් පමණ ලබා ගත්තද එයට ප්‍රතිචාර ලබා ගත නොහැකි විය.
මෙම කාර්යාලයේදී වැඩිම අපහසුතාවයට ලක්වන්නේ නුවරඑළිය හැටන් මාතලේ ලග්ගල මහියංගනය හසලක කෑගල්ල ,අවිස්සාවේල්ල යන පලාත් වලින් පැමිණෙන විදෙස් ගමන් බලපත් ඉල්ලුම් කරුවන්ය.ඔවුන්ගේ පැරණි හැඳුනුම්පත වෙනුවට අලුත් හැඳුනුම්පතක් ඉදිරිපත් කරන ලෙස මහනුවර කාර්යාලයේ සහකාර පාලක වරිය දන්වා සිටීම නිසා එම ජනතාව කිසිත් කර කියා ගත නොහැකිව දැඩි අපහසු තාවයටද පත්වෙති.