“ආලවකගේ” පුරෝහිත රාජ්‍ය සේවය ගොම ගාමින් පතිවෘතා පිරික්සුමක

පසුගිය ජුනි 26 වනදා පස්‌වරුවේ තමන් කාර්යාලයේ නොසිටි අතරතුර සිදු වූ “අපරාධ වරදකට” අදාළව ගම්පොල “උඩ පළාත ප්‍රාදේශීය ලේකම්” ආත්මා දිල්රුක්ෂි ජයරත්න එදින රාත්‍රියේ පොලිසිය වෙත පැමිණිලි කරනවා.
එම වරද වනුයේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ නියෝග මත යැයි පවසමින් පැමිණි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය අභ්‍යන්තර විගණන නිලධාරීන් තිදෙනෙකු විසින් උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාමර තුනකට පිළිගත් ක්‍රමවේදයෙන් බැහැරව මුද්‍රා තබා එම කාමර වල තිබු භාණ්ඩ තොග ලේඛන සහ යතුරු රැගෙන යෑමයි.
පසුදින අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ, අදාළ කාමර තුන පරික්ෂා කිරීමට ප්‍රාදේශීය ලේකම්වරියගේ සහාය ඉල්ලා සිටි අවස්ථාවේදී ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ පෙර දින සිදුවූ අපරාධ වරද සම්බන්ධයෙන් පරීක්ෂණයක් මුලින්ම සිදු විය යුතු බව අවධාරණය කරමින්.
අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා ආපසු හැරී යන්නේ කාමර තුනේ යතුරු ගම්පොල පොලිසියට භාර දෙමින්. පසුදින උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය මාධ්‍ය සංදර්ශනයකට තෝතැන්නක් වනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්, එම කාර්යාලයේ ගණකාධිකාරි හා පොලිසිය අදාළ යතුරු ප්‍රාදේශීය ලේකම්වරිය වෙත භාර කර, අනීතික ලෙස මුද්‍රා තැබූ කාමර තුන පරික්ෂා කිරීමට බලහත්කාරය උපරිමයෙන් මුදා හරිනවා.
එහිදී ප්‍රාදේශීය ලේකම්වරිය නොසැලී සිටින්නේ තම සහෝදර සේවකයන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරමිනි.
සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ආලේක බණ්ඩාර වෙත පැමිණිලි කළ ප්‍රාදේශීය ලේකම්වරියව එම අමාත්‍යාංශය වෙත කැඳවන ලේකම්වරයා ප්‍රාදේශීය ලේකම්වරිය ඉල්ලා සිටින පරීක්ෂණය පවත්වනු වෙනුවට ඇයට බලපෑම් කරන්නේ අදාළ යතුරු භාර ගන්නා ලෙසටයි.
එහෙත් සිය ස්ථාවරය වෙනස් නොකරන ප්‍රාදේශීය ලේකම්වරිය වෙත මධ්‍යම පළාතේ වෙනත් සුදුසු තනතුරක් ලබා දෙන ලෙස රාජ්‍ය සේවා කොමිසම විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට ජුලි මස 06 වනදා දැනුම් දෙනවා. අමාත්‍යාංශය එදිනම ලේකම්වරිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සංචිතය වෙත මාරු කරන්නේ ඇයට ලබා දීමට තනතුරක් මධ්‍යම පළාතේ නොමැති බව සදහන් කරමින්.
ජුලි මස 09 වනදා සිට උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ධුරයේ වැඩ බැලීමට පැමිණෙන හතරලියද්ද ප්‍රාදේශීය ලේකම්වරයා සිය පලමු රාජකාරිය ලෙස කරන්නේ දින 17 ක් පුරාවට දිස්ත්‍රික් ලේකම්වරයා අනීතික ලෙස ළඟ තබා ගෙන සිටි යතුරු ගෙන්වා ගෙන අදාළ කාමර හෝ ඒවායේ තිබෙන භාණ්ඩ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොදරන වනිතා කටයුතු පිළිබඳ නිලධාරිනියන් දෙදෙනෙකුට අදාළ යතුරු බලහත්කාරයෙන් බාර දීමයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිපාලන නිලධාරීවරයාද එම බලහත්කාරයට සහාය වී තිබෙනවා. එතැන් සිට මේ දක්‌වා උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආශ්‍රිතව පරීක්ෂණයක් සිදු කෙරෙමින් තිබෙනවා.
රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් පත් කර ඇති “පංච පුද්ගල පරීක්ෂණ මඬුල්ලේ” ප්‍රධානියා වන්නේ එම අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක වරයායි.
පරීක්ෂණ වලට බාධාවක් යැයි පවසමින් ඔහුගේ නිර්දේශ මත පසුගිය (23) සිට සහකාර ප්‍රාදේශීය ලේකම්වරියව මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත මාරු කර තිබෙනවා.
උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කනිෂ්ඨ නිලධාරිනියන්ට මේ දින වල මහත් පිඩාවක් වී තිබෙන්නේ පංච පුද්ගල පරීක්ෂණ මඬුල්ලේ ප්‍රධානියාගේ ක්‍රියාකලාපයයී.
ඔහු නිලධාරිනීයන්ව පුද්ගලිකව තමන් හමුවට කැඳවා කාමරය අගුළු කොට ප්‍රාදේශීය ලේකම්වරිය, සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය හා කාර්යාලයේ තවත් නිලධාරිනියන් ආඳා ගනිමින් සම ලිංගික සබඳතා පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට උනන්දු වීමයි.
ඒ හා සම්බන්ධ ඡායාරූප හා වීඩියෝ තමන් සතු බව පවසමින් මෙම පරීක්ෂණ මණ්ඩල ප්‍රධානියා කටයුතු කරමින් සිටින්නේ පරීක්ෂණ මඬුල්ලේ සෙසු සාමාජිකයන් සිව් දෙනාටද රහසින්.
උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පසු ගිය වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ පුවත් මවන තැනක් බවට පත්ව තිබෙන්නේ එහි සාතිශය බහුතර කාර්ය මණ්ඩලය රාජකාරිය අකුරට ක්‍රියාත්මක කරන්නට වූ බැවිනුයි.
එයින් රිදුනු දේශපාලඥයන් හා නිලධාරීන් රැසක්‌ “දූස් සන්ධානගතව” විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනුයේ මෙරට රාජ්‍ය සේවය “සෝමාලියානු පන්නයේ” ත්‍රාඩ එකක් බව ලොවට ප්‍රකට කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *