රාජ්‍ය සේවා කොමිෂමෙි (PSC) ලේකම්වරියගේ සැමියාට ගොඩේ ගොඩ යන්න ගොවිජනෙන් තල්ලුවක්

හෝකන්දර ප්‍රදේශයේ අක්කර දෙකක (02) ක පමණ වන කුඹුරු ඉඩමක් හදිසියේ ගොඩ ඉඩමක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. විශාල වෙල් යායක් මධ්‍යයේ පිහිටි මෙම අක්කර 02 ක‍ කොටස මුල් අයිතිකරුවන්ගෙන් අවස්ථා දෙකකදී මිළදී ගෙන ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරියගේ සැමියායි.

මුලින්ම මිළ දී ගත් කැබලි දෙක තුළ වාර්ෂික නොවන බෝග වගා කිරීම සඳහා, ඔහු 2019 වසරේදී අවසර ඉල්ලා සිටින්නේ එම බිම් වපසරිය කුඹුරක් බව සදහන් කරමිනි. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා දැඩි කොන්දේසි යටතේ ඒ සඳහා අවසර ලබා දී ඇත.

එහෙත් වාර්ෂික බෝග වගා කරන මුවාවෙන් සිදු කරන්නේ අදාළ බිම් කොටස අනවසරයෙන් ගොඩ කිරීමයි. ප්‍රදේශයේ ගොවි සංවිධාන පමණක් නොව කඩුවෙල මහ නගර සභාව පාවා එම අනවසර ගොඩ කිරීමට විරුද්ධ වුවත් නීතිය ක්‍රියාත්මක වි  නැහැ.

2020 වසරේදී අදාළ තැනැත්තා මුල් කැබලි 02 ට ඇදෙන පරිදි තවත් බිම් කැබලි 2 ක් මිලදී ගෙන තිබෙනවා.

එම වසරේදීම ඔහු එම බිම් කැබලි හතරේ (04) විසිතුරු මත්ස්‍ය වගාවක් සඳහා අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා අනුමැතිය දී ඇත්තේ දැඩි කොන්දේසි පනවමිනි.

මුල් අවස්ථා දෙකේම තමාට අයත් බිම් කැබලි, කුඹුරු බව සදහන් කර සිටින ඉඩම් හිමියා විසින් 2021 වසරේදී අදාළ අක්කර 02 ක බිම් වපසරිය කුඹුරු ඉඩමක් නොව ගොඩ ඉඩමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස  ඉල්ලා සිටිනවා.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා එය ප්‍රතික්ෂේප කරන්නේ ක්ෂේත්‍ර අධ්‍යයනයකින්ද අනතුරුවයි.

2022 වසරේදී මෙම ඉඩම් හිමියාගේ බිරිඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ධුරයට පත්වන්නේ ඒ සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයේදී තුන් වැන්නා ලෙස ලකුණු ලබා තිබියදීයි .

ඒ අතරේ ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධුරයට අළුත් අයකු පත් වනවා. ඒ සමගම මතභේදාත්මක කුඹුරු ඉඩම, කුඹුරු ඉඩමක් නොවන එකක් ලෙස ප්‍රකාශයට පත් කරවා ගැනීම සදහා කෙරුණු ඉල්ලීම විගස අනුමත කෙරී ඇත්තේ  කිසිදු අධ්‍යයනයකින් තොරවයි.

ඒ අනුව අදාළ ඉඩමට විශාල වාණිජ වටිනාකමක් ආරෝපණය වී තිබෙනවා. මාලඹේ සිට බොරැල්ල දක්වා යෝජිත කුළුණු මතින් දිවෙන මාර්ගය මෙම ආන්දෝලනාත්මක ඉඩම හරහා දිව යන්නක්. ප්‍රදේශයේ ඉඩම් සදහා පවතින ඉහල වෙළෙදපල වටිනාකම අනුව යෝජිත මාර්ගය සදහා ඉඩම් අත්පත්කර ගැනීමේදි වන්දි ලෙස මෙම ඉඩම වෙනුවෙන් රුපියල් කෝටි තුන (03) කට වන්දියක් හිමිකර ගැනීමට මහෝපකාරී වී ඇත්තේ ගොවිජන සංවර්ධන පනතින්  අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවැරී ඇති කුඹුරු ඉඩමක්, ගොඩ ඉඩමක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලබා දී තිබෙන  අභිමත බලයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *