පතිණායකට බෙදූ අමුතුම හැන්ද කාගේද?

දැනට පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින ජේෂ්ඨතම නිළධාරියා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකය. ඔහු වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට වඩාද ජේෂ්ඨය. නමුත් ඔහුගේ  සේවා ඉතිහාසය බොහෝ කනිෂ්ඨ හා කළුය. පොලීසියට බැඳීමට පෙර ඔහු පැවිද්දෙකි.  සිවුර අත් හල ඔහු මහින්ද රාජපක්ෂගේ පුද්ගලික නිර්දේශය මත 1998 දී ආධුනික සහකාර පොලිස් අධිකාරී වරයෙක් ලෙස පොලීසියට බැඳුණි. එතැන් සිට පියවරින් පියවර ඔහු පොලිස් දෙපාර්තමේන්තුව තුල ඉදිරියට පැමිණි ඔහු ලෝකයම කම්පාවට පත්කල මිලේච්ච පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවන විට කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටියේය.

පාස්කු ප්‍රහාරය පිළිබදව තොරතුර  එවකට රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂකව සිටි නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ගෙන් ලිඛිතව සහ වාචිකව ලැබී තිබුණි. පාස්කු ප්‍රහාරයේ දී නියෝජ්‍ය පොලිස්පති වරුන් හතර දෙනෙකු යටතේ පැවති ප්‍රදේශයන්හි ප්‍රහාර එල්ල වූ අතර එය කොළඹ , බස්නාහිර දකුණ ( දෙහිවල) , බස්නාහිර උතුර ( කටුවාපිටිය) සහ මඩකලපුව වේ. මෙම ප්‍රහාරයන්හිදී වැඩිම ප්‍රහාර ප්‍රමාණයක් සිදුවූයේ සහ වැඩිම මිනිස් ජීවිත අහිමි වූයේ කොළඹ දිසාව තුලය. ඒ කොළඹ 13 කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය , කින්ස්බරි හෝටලය, ෂැංග්‍රිලා හෝටලය සහ දෙමටගොඩ ඊබ්‍රාහිම් ගේ නිවෙස යන ස්ථානයන්‍ ය. මෙම ස්ථාන හතරේදී  140 කට කට ආසන්න පිරිසක් මිය ගිය අතර 300 කට අධික පිරිසක් තුවාල ලැබීය.

මෙම මිලේච්ච ප්‍රහාරය ගැන විශේෂ විමර්ශනයක්  පැවැත්වීමට එවකට සිටි ජනාධිපතිවරයා මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කොමිෂමක් පත්කල අතර එහිදී ප්‍රහාරයන් එල්ලවූ ස්ථානයන්හි භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වරුන්ට එරෙහිව තම රාජකාරිය පැහැර හැරීම පිළිබදව චෝදනා පත්‍ර ලබාදී විදිමත් පරීක්ෂණයක් පවත්වා දඩුවම් කරන ලෙසට නිර්දේශ කරන ලදි.

එම නිර්දේශයන් ගැන එවකට සිටි ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු තුට්ටුවකට මායිම් කලේ නැත. නමුත් 2023 ජූනි මස පත්වූ වත්මන් පොලිස් කොමිෂන් සභාව එම නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට යුහුසුළු වූයේ හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න ගේ සේවා කාලය නිම වීමට ආසන්න වීමත් සමගය.

එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සහ මහජන ආරක්ෂක ඇමති ටිරාං අලස්ගේ බලපෑම මත දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා පත්‍රයක් නිකුත් කර එය පැය 24 කින් පරීක්ෂණ අවසන් කොට ඔහුව නිදොස් කොට නිදහස් කර පොලිස්පති ධූරයට පත්වීමට මාර්ග සාදා දෙනලදි.

පොලිස් කොමිෂන් සභාවට සහ දේශපාලන අධිකාරියට දෙලොව රත්වූයේ දේශබන්දු තෙන්නකෝන් ට පොලිස්පති ධූරය දැරීමට එරෙහිව පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමත් සමගය. යම් ලෙසකින් දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධූරය දැරීම වලක්වාලමින් තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කලහොත් ඊලගට වැඩබලන පොලිස්පති ලෙසට පත් කිරීමට දේශපාලන අධිකාරීයට හිතැති අයකු පත්කල යුතු බවට තීරණය කළේය. මේ වන විට පාස්කු ප්‍රහාරය පිලිබදව සියළු තොරතුරු ඉහලට ලබාදී තිබූ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව කතෝලික සභාව ප්‍රමුඛ කාදිනල් මැල්කම් රංජිත් අවි අමෝරාගෙන සිටි බැවින් තිරේ පිටුපස සිටිමින් රටේ දේශපාලනය මෙහෙයවූ රාජපක්ෂලා ගේ තේරීම වූයේ දේශබන්දු ගෙන් හිඩස්වන පොලිස්පති ධූරයට එකම සුදුස්සා ලලිත් පතිනායක බවය.

ඒ අනුව ඔහුව පොලිස්පති ධූරයට පත් කිරීමට පෙර පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශනය කල ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කර අවසන් කළ යුතුව තිබිණි.

ඒ අනුව  දේශබන්දු තෙන්නකෝන්ට මෙන්ම ලලිත් පතිනායකට එරෙහිව නිකුත් කරන ලද චෝදනා පත්‍රය පැය 24 ක් තුලදී විභාග කොට ඔහුව නොදොස්කර නිදහස් කරමින් තීන්දුවක් ලබා දීමට තරම් වත්මන් පොලිස් කොමිෂන් සභාව කාරුණික විය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වාරණයක් නිකුත් කලද ලලිත් පතිනායකව වැඩ බලන පොලිස්පති ලෙස පත් කිරීමට කාදිනල් මැල්කම් රංජිත්ට වඩා විරුද්ධ වූයේ ඇමති ටිරාං අලස්‍ ය. එම විරුද්ධ වීම කොතරම්දයත් වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් නොකර මාස 7 කට අධික කාළයක් පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන තැනට පත්විය.

අපිට ඇති ප්‍රශ්නය එය නොවේ. පාස්කු ප්‍රහාරය පිළිබදව මූලික තොරතුරු සැපයූ ජාතික බුද්ධි අංශ ප්‍රධානියා වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව නිකුත්කල චෝදනා පත්‍රය දින ගනනාවක් විභාග කොට ඔහුව සේවයෙන් පහ කිරීමට නියෝග කල එම පොලිස් කොමිෂන් සභාවම තොරතුරු ලැබී තිබියදී ඒ ගැන ක්‍රියාත්මක නොවී ජීවිත 130 කට අධික ප්‍රමාණයක් මරුතුරුලට යැවීමට කටයුතු කල ලලිත් පතිනායකට එරෙහි චෝදනා පත්‍රයත් කටුවාපිටිය දී ජීවත  110 කට අධික පිරිසක් මරණය වෙත යැවීමට කටයුතුකල දේශබන්දු තෙන්නකෝන්ටත් එරෙහිව නිකුත් කල චෝදනා පත්‍රයත් පැය 24 ක් තුල විභාග කර එයින් ඔවුන් නිදොස් කර නිදහස් කිරීමට ක්‍රියාත්මක වූ පොලිස් කොමිෂන් සභාව භාවිතා කරන නීති පොත සංගුණිත කරේ මැදමූලනද? කොල්ලුපිටියේද ? නැත්නම් බිෂොස් නිවසේද යන්නයි.

එහිදී අඩුම තරමේ තොරතුර ලබාදුන් නිලන්ත ජයවර්ධන ගෙන්වා ඔහුගෙන් සාක්ෂියක්වත් ලබා  ගැනිමට පොලිස් කොමිෂම කටයුතු නොකලේ කාගේ බලපැමටද යන්න එම කොමිෂම හෙළිකළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *